දැන් ගොඩක් ලොකු සල්ලිකාරයෝ අපිව ගණන්ගන්නේ නෑනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මම අපේ කට්ටියේ ආරම්භක සාමාජිකයෙක්. අපේ කට්ටිය සුගතපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයේන තමයි පටන්ගත්තේ. 1959 තමයි මූලික සාකච්ඡව තිබුණේ. අපේ කට්ටිය ආරම්භක සාමාජිකයන්ගෙන් දැනට ජීවතුන් අතර ඉන්නේ මමයි ධර්මසිරි වික්‍රමරත්නයි විතරයි. මම මුලින්ම රගපෑවේ වේදිකා නාට්‍යයක. අපේ කට්ටියේ පළමු නාට්‍ය බෝඩිංකාරයෝ. දෙවැනි නාට්‍ය නිෂ්පාදනය කළේ ධර්මසිරි වික්‍රමරත්න. එකේ නම තමයි රන්තෝඩු. අනුලා කරුණාතිලකට වයස දාසයයි මාත් එක්ක රගපානකොට.

මම වේදිකාවේ ඒ තරම් වැඩකළේ නෑ. මොකද මට ඊළගට ලැබුණ රැකියාවක් එක්ක ලංකාව පුරා යන්න සිද්ධවුණා. මම සෞඛ්‍ය පරීක්‍ෂක විභාගයෙන් පාස්වුණා.
අපේ මාමා කෙනෙක් හිටියා අයි. පී. සිරිවර්ධන කියලා. එයා තමයි මට ගොඩක් උදව් කළේ. නමුත් පොලීසියට යන්න ගිවිසුම අත්සන් කරන්න එයා ළගට ගියහම එයත් එක්ක මම පුංචි අමනාපයක් ඇතිවුණා.

*ඒ මොකක්ද?

අපේ මාමාට හිටියේ දුවලා තුන්දෙනෙක්. ඉතිං එයා ගේ දෙවැනි දුව මට වෙසක් කාඞ් එකක් වෙලා ඕක ලියුම් ගණුදෙනුවකට හුවමාරු වුණා. මම පොලිස් පරීක්‍ෂක තනතුරට දාන්න ගිවිසුම අත්සන් කරන්න මාමාගේ ගෙදරට ගියා. මම මෙලෝ හසරක් දන්නේ නෑ. ගෙට පඩි තුනක් තියෙනවා. දෙවැනි පඩියට අඩිය තිබ්බා විතරයි මෙයා දොර ඇරගෙන ඇවිත් කණ හරහා පාරක් දුන්නා විසිවෙලා වැටෙන්න. මම නැගිටලා ඇහැව්වා මොකද මාමේ වුණේ කියලා. මෙහාට වරෙන් කියලා එයාගේ සාක්කුවේ තියලා ඇදලා ගත්තා මම යවපු ලියුමක්. මේ වැඩ කරන්නද උඹට මම උදව් කරන්නේ කියලා මට නොසෑහෙන බැන්නා. පස්සේ මාමාගේ ගේ ඇතුළේඉඳගෙන කෑගහනවා අයියා මට වෙසක් කාඞ් එකක් එව්වා ඒකට උත්තර ලියලා තමයි ඔය ගුටිකන්නේ කියලා. මම දැනගත්තා මිනිහා මේ එන්නේ මට ආපහු ගහන්න කියලා. මම අර පේපර්ස් ටික කීතු කීතු ඉරලා දාලා මාමාගේ රස්සාව එපා කියලා ගෙදරින් දොට්ට බැස්සා.

*එතැනින් පස්සේ මොකද වුණේ ?

ඒ ඇවිත් මම හැම විභාගයකටම ලිව්වා. පළමු පත්වීම ආවේ ලිපිකාර සේවයේ. ඒකේ පත්වීම මම අවුරුද්දක් කල්දාගත්තා. ඊට පස්සේ ලියපු විභාගවලින් පී. එච්. අයි. ප්‍රතිඵල ආවා. ලංකාවෙන්ම පළවෙනියා කියලා. මේකට අදින්න ඕනෑ පොලිස් නිල ඇඳුම වගේ එකක්නේ. මට හිතුණා මාමාට පේන්නත් එක්ක පී. එච්. අයි. රස්සාවට යන්න ඕනෑ කියලා. 1961 දී මම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවෙරයෙකු හැටියට පුහුණුවට ගියා. ඒකෙන් පත්වීම් හම්බවෙලා අනුරාධපුරය කහටගස්දිගිලිය වගේ රටපුරා යන්න සිද්ධවුණා. ඒකෙන් මට වේදිකාව මගහැරුණා.

1950 බොරලැස්ගමුවේ එගොඩවත්තේ ඉස්කෝලෙට යන කාලේ තමයි තිස්ස අබේසේකර මට මුණගැසුණේ. ඒ කාලේ ඉඳන් ඔහු මගේ අතිජාත මිත්‍රයෙක්. තිස්සගේ ආශ්‍රය හින්දමයි මම ගොඩක් කලාවට නැඹුරුවුණේ. තිස්ස ලියපු පිටපතක්නේ වැලිකතර.

*ඔබ වැලිකතර චිත්‍රපටයේ රඟපෑවා ?

මම රඟපෑවේ ගාමිණී ෆොන්සේකා එක්ක. ජෝ අබේවික්‍රමගේ ගෝලයෙකු විදිහට තමයි රඟපෑවේ. හැබැයි ඒකේ ජෝ එක්ක වචනයක්වත් කතා කරන්න තිබුණේ නෑ. ගෝරිං මුදලාලිගේ ගෝලයෙක් හැටියට හිටියේ. නමුත් මගේ දෙවැනි චිත්‍රපටයේ මම ජෝ අයියා එක්ක ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒ මණික් චන්ද්‍රදාසගේ කළුදිය දහර චිත්‍රපටයේ. ඊට පස්සේ විරාගය කරුමක්කාරයෝ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ගම්පෙරළිය වගේ නිර්මාණ රැසට රඟපෑවා. මේ වෙනකොට මම චිත්‍රපට හැට එකක රඟපාලා තියෙනවා.

*ඒ කාලේ ඔබ රඟපාන්න කැමැති නළු නිළියයන් එහෙම හිටියාද?

හැම කෙනෙක්ම එකයි. මට එක්කෙනෙක් කියලා නෑ. මම නම් කියන්න කැමැති නෑ. මට අල්ලන්නේ නැති අයත් හිටියා. අද වාගේම එදත් අතරිත් පතර හිටියා ඔටුණු දාගත්ත අය. නමුත් ඒ අයත් ඒකක මට ලොකු සම්බන්ධතා නෑ. චිත්‍රපටයක වැඩකරන්න ලැබුණෙත් වැඩ කරනවා. මට හම්බවුණ විශිෂ්ඨතම පුද්ගලයා තමයි ගාමිණී ෆොන්සේකා. ඒ තරම් නිහතමානී පුද්ගලයෙක් මට මේ ක්‍ෂේත්‍රයෙන් හමුවෙලා නෑ. මට දැන් අවුරුදු අසූවට ලැබුවා.

*දැන් ටික ටික වැඩ හම්බවුණ හින්දා අර පී. එච් අයි . රස්සාවෙන් අයින්වුණා. එහෙමද?

මම වයස පනස්පහ වෙන්න කලින් මෙඩිකල් දාලා අයින් වුණා. එතකොට මට ටෙලිනාට්‍ය වැඩිවුණා. චිත්‍රපටිත් ටිකක් ගලාගෙන ආපු හින්දා පී. එච්. අයි. රස්සාවෙන් ඉවත්වුණා.

*ගාමිණී ෆොන්සේකා ජෝ අබේවික්‍රම වගේ දැවැන්තයෝ සමග වැඩකරපු කාලය ගැන කතා කළොත් ?

මම නම් හිතන්නේ නෑ ගැමි චරිතයකට ජෝට ගහන්න කෙනෙක් ආවේ නෑ කියලයි. ජෝගේ තත්ත්වයට ආපු කෙනෙක් නෑ. මමත් ගැමියෙක් තමයි. මගේ තාත්තා පාරම්පරික ගොවියෙක්. ජෝ අයියා සබරගමුවේ. අපි බස්නාහිර. ජෝ අයියා ගේ බස්වහර ඉතා අගනේ. මොකද මම සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් විදිහට සබරගමුවේ වැඩකළා. මගේ පළමු පත්වීම
ඇහැලියගොඩ. ඊට පස්සේ ගැටගැහැත්ත හිදුරංගල විකිලිය බලංගොඩ ඉන්නකොට මට නිතරම වගේ ජෝ අයියාව හම්බවෙලා තියෙනවා. පැල්මඩුල්ල පහුකරගෙන නේ බලංගොඩ යන්නේ. ජෝ අයියා වැඩිපුර ඉන්නේ මල්ලිගේ කඬේ. ඒ කඬේ තාමත් තියෙනවා. මම බලංගොඩ යනවා නම් මට වෑන් එක නතර කරලා ජෝ අයියා එක්ක ටිකක් කතා කරලා යන්නේ. ජෝ අයියා මගේ හොඳ මිත්‍රයෙක්.

*ජී. ආර්. පෙරේරා කියන රංගධරයාත් හොඳ ගොවියෙක් කියලා තමයි අපිට ආරංචිය?

දැන් රඟපාන අය ගොවිකමේ හරය දන්නේ නෑ. මම රඟපාන ගමන් වැඩි හරියක් කරලා තියෙන්නේ සීසාන එකයි කුඹුරු කොටන එකයි. මමත් හොඳ ගොවියෙක්. දැන් මට ටිකක් අසනීප හින්දා ගොවිතැන් වැඩකරන්නේ නෑ. මම බොරලැස්ගමුව වෙල්යායේ තමයි කුඹුරු කෙටුවේ.

*ඒ කාලේ ඔබත් සමග කරට කර රඟපාන්න කවුද හිටියේ ?

ජෝ අයියා තමයි හිටියේ. මගේ පෙනුමයි වයසයි අනුව ජෝ අයියාට ලැබුණ වගේ චරිත ලැබිලත් තියෙනවා.

*ඔබ ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙක්. ප්‍රවීණයෙක් වර්තමානයේ ඔබලා වගේ අයට ලැබෙන තක්සේරුව මදි කියලා හිතෙන්නේ නැතිද?

ඇත්තම කියනවා නම් මට ලංකාවේ කොතැනට ගියත් පැරදුරයි කොට්ටෙයි වතුර වීදුරුවයි කන්න ටිකයි වරදින්නේ නෑ. නමුත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ කීයෙන් කීදෙනාටද ඔබ ගැම්ම තියෙන්නේ. ඔය පිළිගැනීම හැමෝටම නෑ.

*ඇයි ඒ ?

අපේ මිනිස්සුන්ගේ හැදියාව පිළිබඳ හැගීමක් මනුස්සයෙකුට තියෙන්න එපායැ. දැන් රගපෑවා කියලා ඔටුන්නක් දාගත්තොත් මිනිස්සු පිළිගන්නේ නෑ. මිනිහෙක් දැක්කොත් හිතාවෙන්න ඕනෑ. කතාබහ කරන්න ඕනෑ. දැන්නම් මේ සෙල්ෆි හින්දා මහවදයක්. කතා කරපු ගමන් සෙල්ෆි ගහන්න පටන්ගන්නවානේ.

*අලූත් පරපුර ගැන යමක් කිව්වොත් ?

මම හිතන්නේ නෑ අපි ඉස්කෝලේ ගිය කාලේ වගේ යමක් ඉගෙන ගන්න උත්සාහ කරනවා කියලා. මේ සෙල්ෆෝන් එකයි තාක්‍ෂණයයි හින්දා සියල්ල විනාශවෙලා. ඒක එක්තරා ඛේදවාචකයක්.

* ගොඩක් නවකයෝ කියන්නේ මට රඟපාන්න ආවේ ආසාවට කියලා හරියට කරන්න වැඩක් නැතිව වගේ. මේ වගේ දේවල් ඇහෙද්දී ඔබලාට මොකද හිතෙන්නේ ?

මේක උපන්දිනයට ජොලියට අඩියක් ගහන්න යනවා වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔක්කොටම ඉස්සරවෙලා ජනතාවගේ හදවත හඳුනාගන්න ඕනෑ. දැන් ගොඩක් ලොකු සල්ලිකාරයෝ අපිව ගණන්ගන්නේ නෑනේ. සමහරු එහෙම නෑ. තව සමහරු කියන්නේ ඔය අර නළුවානේ. ඒකට ඇවිත් තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ වරදින්. තමන් ගේ පෞර්ෂය ගොඩනගාගන්න ඕනෑ. සම්මාන අරගෙනවත් ඉහළ මිනිස්සු ආශ්‍රය කරලාවත් නෙමෙයි. පොදු ජනතාව අතරට යන්න ඕනෑ.

* ක්‍ෂේත්‍රය ගැන ආපහු හැරී බැලූවොත් ?

විශාල හිත්වේදනාවක් එනවා. මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. අපි හිතලා නෙමෙයි. නමුත් අපේ චර්යාවන් තුළින් නළුකමට රංගනයට යම්කිසි තැනක් ලබාගත්තා. ඒක මේ ආසාසයෙන් ලබාගත්ත එකක් නෙමෙයි. ඉබේම ආපුදෙයක්. ඉතිං ඒක අවබෝධ කරගන්නේ නැතිව රඟපානවා කියලා ලක්‍ෂ ගණන් මල්ලි ගත්තත් වැඩක් නෑ. සල්ලි නෙමෙයි වටින්නේ කොහේ හරි ගියොත් වතුරවීදුරුවක්. කෑම ටිකක් ලැබෙන එකයි මට නම් වටින්නේ. ඒක තරුපහේ හෝටලයකින් කෑවට වැඩිය වටිනවා. මන්දා මට නම් එහෙමයි. ඔය ටික තේරුම් ගන්නේ නෑනේ.

හැමතැනම මොකක් හරි සංගමයක් අටවාගන්නවා. ඔන්න අපේ එවුන් එකාට එකා බෙදෙනවා. එක්කෝ දේශපාලන පක්‍ෂයක් පස්සේ යනවා. ඒක වැරදියි.

*කලාකරුවෝ දේශපාලන වාසි කතා එක එක සංගම්වලට බෙදිලා. ඒ නිසා නේද කලාවට මේ විනාශය ඇතිවෙලා තියෙන්නේ ?

නෑ. ඒක කලාකරුවන්ට කරගන්න විනාශයක්. කලාවට ඒකෙන් හානියක් වෙන්නේ නෑ. කලාකරුවෝ එහෙම කරන්නේ මල්ල කරේ තියාගන්න කියලා මිනිස්සු දන්නවා.

*ජී. ආර්. පෙරේරා කියන රංගධරයා නවකතාකරුවෙක්. තිරපිටපත් රචකයෙක්. එහෙම නේද?

නවකතාවවක් ලිව්වා .ඒක තවම පළකළේ නෑ. තව එකක් මේ දවස්වල ලියාගෙන යනවා. කොහොම හරි පළ කරගන්න ඕනෑ. තිරපිටපත් නම් තුනක් ලිව්වා. දෙකක් නිෂ්පාදනය කළා. මේ සියල්ල සත්‍ය කතා.

*කලා ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත් ?

කලා ජීවිතය හරියට අවබෝධ කරගත්තොත් මේ වගේ සුන්දර ජීවිතයක් නෑ. මානසිකව වැටෙන්නේ නැතිව මේ වැඬේ කරගෙන යන්න ඕනෑ.

*කලා ජීවිතයේ පසුතැවීම් තියෙනවාද?

මට නම් පසුතැවීම් මොනවාත් නෑ. පසුතැවීම තියෙන්නේ මම මේකට සියයට සියයක් උරදුන්නේ නැති එක ගැනයි.

*අලූත් පරපුර එක්ක වැඩකරද්දී මොකද හිතන්නේ ?

අලූත් පරපුර නම් ඛේදවාචකයක්. හැමෝම නෙමෙයි.

*ඔය හැමෝම නෙමෙයි කියන කතාව කෝකටත් තෛලය වගේ භාවිතා කරනවා ?

නෑ. නැ. තාරුණ්‍යය කියන්නේ කඩඉමක්. ඒක බැරියර් එකක්. ඉතිං ඔන්න ඔය කඩඉම කඩාගෙන යථාර්ථය තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට මේක අපායක් වෙන්න පුළුවන්. නමුත් නියම යථාර්ථය තේරුම්ගන්න පුළුවන් මිනිස්සුන්ට මේක ස්වර්ගයක්. මානසික පීඩනයට හොදම ඖෂධය තමයි රගපෑම. හැබැයි රගපෑම හරියට කරන්න ඕනෑ.

දිනේෂ් විතාන

20210112Perera-1