සමලිංගිකයි.... බූට් කාලා... එහෙම චෝදනා මට ආවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද  තනිකඩයා හැඩ කරන්නේ ප්‍රතිභාපූර්ණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකාවක්, තිර කතා රචිකාවියක්, සිනමා නිෂ්පාදන සැලසුම් ශිල්පිනියක් වගේම මාධ්‍යවේදිනියක් වන මනෝහාරී හේවාවසම්.

කාන්තාවකට විවාහයක් අත්‍යවශ්‍යමයි කියලද ඔබ හිතන්නෙ?

ඉස්සර සමාජය නම් එහෙම තමයි හිතුවෙ. අවුරුදු දහයෙන් දහය වගේ කාලයක් ඇතුළත ඕනෑම දෙයක් වෙනස් වෙනවනෙ. ඒ කාලය තුළ කාන්තාවකට විවාහය අත්‍යවශ්‍ය වුණා, අධ්‍යාපනය, රැකියා විරහිතභාවය, සංස්කෘතික, සම්ප්‍රදායික කාරණාත් එක්ක. කාන්තාවන්ට තනියෙන් ජීවත් වෙන්න බැහැ කියන සංකල්පයත්, ආකල්පයත් එදා සමාජගත කරලා තිබුණා. නමුත් කාලයත් එක්ක දේවල් වෙනස් වෙමින් එනකොට, කාන්තාවෝ අධ්‍යාපනය ලබලා, ආර්ථික ස්වාධීනත්වය ලබලා, සමාජයත් එක්ක එකතුවෙලා වැඩ කරන්න ගත්තට පස්සෙ ඒ තිබිච්ච මතය වෙනස් වෙන්න පටන් ගත්තා. එතැන් සිට කාන්තාවෝ බොහෝ වෙලාවට හිතන්න පටන් ගත්තා, කැමති කෙනාට විවාහ නොවී ඉන්නත්, කැමති කෙනාට විවාහ වෙන්නත්.
දැඩි සම්ප්‍රදායක් තිබුණු අතීතයෙත් අවිවාහකව ජීවත් වෙච්ච කාන්තාවෝ ඕනතරම් ඉන්නවා. මේ කාලෙ බොහෝ කාන්තාවෝ ප්‍රතිශතයක් හැටියට ගත්තම විවාහ නොවී ඉන්නවා. ස්වාධීනව හිතන කාන්තාවන්ට එහෙම ජීවත් වෙන්න පුළුවන් තම තමන්ගෙ කැමැත්ත මත.

• අවිවාහකව ඉන්න ඔබට බලපෑ ප්‍රධානම සාධකය මොකක්ද?

අවංකව කිව්වොත් මම විවාහ නොවී ඉන්න තීරණය කළේ මට අවුරුදු 35දී විතර. මගේ වටාපිටාවෙ, මගේ බාහිර සමාජය තුළ බොහෝ කාන්තාවන් පවුල් සංස්ථාව තුළ අතිශයින් වේදනා විඳිමින්, ප්‍රශ්නකාරී ජීවිතවලට මුහුණ දීපු හැටි මම දැකලා තිබුණා. අහලා තිබුණා පොඩි කාලේ ඉඳලා. මම ඒ කාලේ ඉඳලම සමාජයත් එක්ක ගැටිලා ඇතිදැඩිවුණු කෙනෙක්. තරුණ කාලෙත් මට විවාහයක් ගැන ලොකු සංකල්පයක් තිබුණෙ නැහැ. ඒ වගේ චිත්‍ර, හීන මගේ හිතේ තිබුණෙම නැහැ.
ඉගෙන ගන්න කාලෙත් ලොකු වුණාම කවුරු වෙනවද කියලා මට ලොකු අරමුණක් තිබුණෙ නැහැ. හැබැයි එක තැනකදී මට ලියන්න පුළුවන් වෙනකොට මම යන්නෙ කොහෙටද කියලා මම අවබෝධ කර ගත්තා. අපේ අම්මගෙ මඟුල් ෆොටෝ එක දැක්කම මම අහන්නෙ ඇයි ඔයා මේ පැත්තෙ හිටගෙන ඉන්නෙ කියලා. මම දැකලා තියෙනවා හැම මඟුල් පින්තූරයකම කාන්තාවො පිරිමියාගෙ එකම පැත්තෙ ඉන්නෙ. මං අහන්නෙ ඇයි ගෑනියෙකුට අනිත් පැත්තෙ ඉන්න බැරි?
මට ගෙදරින් යෝජනා ආවා. මට ප්‍රේම සම්බන්ධකම් තිබුණා. ඒවා ඇතුළෙ වුණත් මට විවාහවෙන ඉලක්කයක් තිබුණෙ නැහැ. ඒ නිසා මම ප්‍රේමයෙන් පැරදිලාවත්, බූට් එකක් කාලාවත් නෙවෙයි අවිවාහකව ඉන්න තීරණය කළේ.

• අවිවාහක කාන්තාවක් ජීවිතේ ඇත්තටම තනිවෙලා ඉන්න කෙනෙක්ද?

නැහැ. අවිවාහක කාන්තාවක් හෝ පිරිමියෙක් වුණත් තනිවෙලා නැහැ. මම එහෙම නැති නිසා මට එහෙම හිතෙනවා. අවිවාහකව ඉන්න අපේ හිතමිත්‍රයො ජීවිතේ තනිවෙලා නැහැනෙ. හැබැයි සමහරුන්ට තනිකම ගැන බයක් තියෙනවා. අන්තිම කාලෙ අපිට කවුරුත් නැතිවෙයි, වැඩිහිටි නිවාසෙකට යන්න වෙයි වගේ බයක්. හැබැයි කසාද බැඳපු අයටත් ඔය දේවල් වෙන්න පුළුවන්නෙ.
අවිවාහක අයට තනිකම ගැන බයවෙන්න දෙයක් නැහැ. තමන් අවට සමාජයෙක් ඉන්නවා, තමන් ඇසුරු කරන පිරිසක් ඉන්නවා, ඇබ්බැහි වෙච්ච විනෝදාංශ තියෙනවා. ඒවා ඔස්සේ කාලය ගත කරන්න, විඳින්න පුවවන් නිසා තනිකමක් දැනෙන්නෙ නැහැ. මටත් තනිකම ගැන. හුදෙකලාව ගැන බයක් නැහැ. මට ලෙඩක් වුණොත් මට ඉන්නෙ මගේ වටේ ඉන්න මගේ යාළුවො. ඒ යාළුවොත් මට ජීළුිත කාලෙටම ඉඳීද නැද්ද කියන්න මම දන්නෙ නැහැ.
භෞතික වශයෙන් හා අාධ්‍යාත්මික වශයෙන් ජීවිතේ එකතු කරලා තියෙන දේවල් එක්ක මම හෙට දවසට මුහුණ දෙනවා.

• තනිකඩ ජීවිතය ගැන ඔබ පසුතැවුණු අවස්ථා තියෙනවද?

ජීවිතේ මම කවදාවත් එහෙම පසුතැවිලා නැහැ. ගැහැනියක් තනියෙන් ජීවත් වෙනකොට, පිරිමියෙක් තනියෙන් ජීවත් වෙනවට වඩා වෙනස්. ඒකට හේතුව තමයි ගෙදරක මොනවා හරි දෙයක් කැඩුනම හදන්න, කඩේ යන්න, ගෑස් එක ගේන්න අපිට ශාරීරික ශක්තිය යොදවන්න වෙනවනෙ. සමහර වෙලාවට හිතෙන්න පුළුවන්නෙ අනේ කවුරු හරි හිටියනම් හොඳයිනෙ කියලා. මට එහෙමවත් හිතෙන්නෙ නැහැ. මට මානසික හයියක් තියෙන නිසා මට ඒ හැමදේම කරන්න පුළුවන් වෙලා තියෙනවා. උයන්න දර ඕන වෙලා තිබුණ නම් මට දර පලන්නත් පුළුවන්. පොඩි කාලෙ ඉඳලා මම හදාගත්ත කායික මානසික ශක්තියක් මට තියෙනවා. මම නිදහසේ බොහොම සතුටින් ජීවත් වෙනවා මේ ජීවිතේ.

• තනිකඩ කාන්තාවකට අපේ සමාජයේ තිබෙන ආරක්ෂාව ගැන ඔබ මොනවද හිතන්නෙ?

තනිකඩව, අවිවාහකව ජීවත්වෙන කාන්තාව මුල ඉඳලම එයාගෙ ඔළුව හදලා ඉවරයිනෙ. කොහොමත් තනියෙන් ජීවත් වෙනකොට තියෙන ආරක්ෂාව තරමක් අනාරක්ෂිතයි. විවාහවෙලා දික්කසාද වෙච්ච කාන්තාවකට ඒක විශේෂයෙන් බලපානවා. ඒකට හේතුව මිනිස්සුන්ගෙ මානසික තත්ත්වයම තමයි. මගේ පැත්තෙන් බැලුවොත් මම හිතන්නෙ අපේ ආරක්ෂාව සලසගන්න ඕනෙ අපිමයි. මම හැම තිස්සෙම මගේ ආරක්ෂාව ගැන විමසිලිමත්. තනියෙන් ජීවත් වෙනකොට ඒක අපිට ලොකු අභියෝගයක්. 

ලංකාව වගේ හරියට නීතියක් ක්‍රියාත්මක නොවන රටක, තනියෙන් ජීවත් වෙන කාන්තාවකට හෝ පිරිමියෙකුට සමාජ රැකවරණය, පවුලක තියෙන රුකවරණය කොහොමද දෙන්න ඕනෙ කියන එක මේ සංස්කෘතිය ඇතුළෙ නැතිකොට, අපි හැමෝටම ජීවත්වෙන්න වෙන්නෙ අනාරක්ෂිතව තමයි. එතැනදි විවාහකද අවිවාහකද කියන කාරණය අදාළ වෙන්නෙ නැහැ. තනිකඩව ජීවත් වෙන අයට ඒ අනාරක්ෂිත බව තියෙනවා.

සමාජය තුළ මම අනිත් අය එක්ක ගනුදෙනු කරන විදිහ අනුව තමයි අපිට ආරක්ෂිත බව ලැබෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ. මගේ අවට පරිසරයේද, වටාපිටාවෙද, මම ඉන්නෙ මගේ ඔළුව කෙළින් තියාගෙන. අපේ හිතේ චකිතයක් නැහැ, බයක් නැහැ කියලා අපේ මූණ දැක්කම අනිත් අයත් අපිට අවශ්‍ය ආරක්ෂාව දෙනවා. මට ඒ අනාරක්ෂිත බව දැනිලා නැහැ. අනාරක්ෂිත අවස්ථා තිබුණෙ නැතුව නොවෙයි, හැබැයි මම ඒ අවස්ථාවට මුහුණ දෙන හැටි ඉගෙන ගෙන තිබුණා.

• අවිවාහක කෙනෙකුගෙ අනාගතය සුරක්ෂිත වෙන්න නම් ඔහු හෝ ඇය තුළ තිබිය යුතු ප්‍රධාන ගුණාංග මොනවද?

දැනුවත්භාවය, අවබෝධය, අධ්‍යාපනය, සමාජය පිළිබඳ දැනුම, හිත ශක්තිමත් බව වගේම ආර්ථික ස්ථාවරත්වය. ඔය කියන කාරණා තමයි ප්‍රධාන වෙන්නෙ.
මම පිරිමින්ට කවදාවත් වෛර කරන්නෙ නැහැ. අදටත් මට ඉන්නවා ප්‍රේමණීය මිත්‍රයෝ. මැරෙනකම්ම ඉඳී කියලා හිතන යාළුවොත් ඉන්නවා. මගේ වැඩිපුර මිත්‍රකම් තියෙන්නෙ පිරිමි පාර්ශ්වයත් එක්ක. ඒක ලිංගික ප්‍රශ්නයක් නොවෙයි.
කාන්තාවෝ තනියෙන් ජීවත් වෙනකොට සමහරු හිතනවා එක්කො සමලිංගිකයි, එක්කො පිරිමියෙක්ගෙන් බූට් එකක් කාලා කියලා. කාන්තාවක් විවාහ නොවී ඉන්නෙ තමන්ගේ තීරණය මත. හැබැයි සමාජය ඇඟිලි දික්කරනවා මෙයා මෙහෙම කෙනෙක් නිසා තමයි විවාහ නොවී ඉන්නෙ කියලා. මට එහෙම චෝදනා කරලා තියෙනවා මිනිස්සු. ඒත් මම ඒවා අදාළ කරගෙන නැහැ. මම හිතන විදිහට මිනිස්සු විසින්ම මිනිසුන් අටවගන්න ලොකුම උගුල තමයි විවාහය කියලා කියන්නෙ.

රමේෂ් උවයිස්

20210112Manohari-1