කොරෝනා කාලේ හමුවූ ප්‍රේමයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නූතන ශ්‍රී ලාංකීය සංගීත කලාවෙ ‘සුබ’ ලකුණ ඔහුම යැයි අතිශයෝක්තියකින් තොරව නම් කළ හැකිය. ‘දිනේෂ් සුබසිංහ’ නමැති සුමියුරු ගී තනු උපද්දවන මේ අපූරු සංගීත අදියුරුවරයා - සංගීතය අධ්‍යක්ෂණය කළ මේ දිනවල විකාශය කෙරෙන සුනිල් කොස්තා ප්‍රවීනයාගේ ‘Can you hear me’ නාට්‍යය ගැන බොහෝදෙනා කතා කරන අවස්ථාවකි මේ.
‘‘හෙමින් සැරේ දැනුණා. නුඹෙ සුවඳ හදේ දැනුණා 
හෙමින් සැරේ හමනා නුඹෙ සුසුම් පවනෙ වැටුණා
ඇසුනද, ඇසුනද ඔබට ඇසුනද මා 
හ්ම්ම්..ම්ම්...ම්..ම්ම්..ම්... 
ඇහුණද.. ඔබට ඇසුනද මා’’
‘කැන් යූ හියර් මී’ නාට්‍යයේ තේමා ගීතයක් ලෙස නිර්මාණය වූ ඒ ගීතය හරිම ආදරණීය මෙන්ම, නාට්‍යයේ සංගීතයද අතිශය නිර්මාණාත්මක බව කිව හැකිය. දිනේෂ් සුබසිංහ සංගීත නිර්මාණකරුවාගේ සංගීතයෙන් මෙලෙසින් හැඩවූ නිර්මාණ බොහොමයක් ගෙවී ගිය කාලයේදී අපට රසවිඳ ගත හැකිවිය. ස්වකීය නිර්මාණකරණය වෙතින් මේ දක්වා නිර්මාණය වූ ඔහුගේ නිර්මාණ ජාත්‍යන්තරව අගැයීමට පවා ලක්ව තිබේ. රාවණාහත්ත එලෙසින් ජාත්‍යන්තරය අගැයූ සුවිශේෂී නිර්මාණ කර්තව්‍යයකි. සංගීතයට නගන ලද ආගමික සංකලනය යන කුසලතා අගය මෑතකදී ඇමෙරිකාවේ ඇරිසෝනා සරසවිය දිනේෂ්ගේ සංගීත භාවිතය, අධ්‍යයන කටයුතු වලට යොදා ගැනීමද විශේෂත්වයකි. දිනේෂ් සුබසිංහ නමැති නිර්මාණ කුසලතාවයෙන් පොහොසත් තුරුණු සංගීතඥයා ගැන මෙලෙසින් අපට කීමට ඇති දේ බොහෝය. නමුත් අද අප තවදුරටත් කතා කිරීමට සූදානම් වන්නේ ඔහුගේ සංගීත භාවිතයෙන් නිර්මාණ කලාව ගැන නම් නොවෙයි.
දිනේෂ් ඔයා ඇත්තටම කසාද බඳින්නෙ කවදද? කියලා යාළුවෝ පසුගිය කාලයේදී නිරන්තරයෙන්ම ඔහුගෙන් ඇසූ දෙයකි. ආවාට ගියාට විවාහයක් කර ගන්නත් බැහැනෙ. ඒකට හරි කෙනා ජීවිතයට ලැබෙන්නත් ඕනෑ. දිනේෂ්ගේ හෘද ස්පන්දනයේ මියුරු රිද්මය හඳුනාගත් තැනැත්තියක අද ඔහුගේ ජීවිතය සමග බැඳී වෙලී සිටින වග කියන්න පුළුවනි. එය සැබැවින්ම කොරෝනා කාලයේ ඇතිවූ ආදරයකි. මෙලෙසින් කොරෝනා කාලයේදී දිනේෂ්ට පෙම් බැඳි ඇය කවුද?

• දිනේෂ් කොහොමද ජීවිතේ?

ජීවිතේ ගැන කතා කළොත්, ප්‍රධානම කාරණා දෙකක් මුල්කරගෙන කතා කරන්න පුළුවනි. එකක් මගේ ජීවිතය වටා බැඳී සිටින මගේ මව්පියන් හිතමිත්‍රාදීන් වගේම විශේෂිතව ලැබෙන ආදරය මූලිකයි. ඊළඟට මගේ වෘත්තිය අංශය සහ තත්ත්වය ගැන කතා කරන්නත් වෙනවා. වෘත්තීය අංශය ගත්තොත් ලෝකයේ පවතින තත්ත්වය එක්ක අපි හැමෝටම ප්‍රශ්න ආවා. හැබැයි එදා ඉඳලාම මම ජීවිතයේ හැඩ ගැසුණු විදියක් තිබෙනවා. ප්‍රසංග වේදිකාවේ වගේම තිරය පිටුපස සිට නිරන්තරයෙන් වැඩ කරන කෙනෙක්. ගීත නිර්මාණ කිරීම, මාධ්‍ය නාලිකාවලට විවිධ දේ නිර්මාණය කිරීම, ටෙලිනාට්‍ය නිර්මාණකරණයට එක්වීම ආදී බොහෝ දේට දායක වීම නිසා සුපුරුදු විදියටම කාර්ය බහුල වුණා. ඒ නිසා මා වටා සිටින මගේ අනෙකුත් ශිල්පී පිරිසට ශක්තියක් වෙන්න පුළුවන් වීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්. කොවිඩ් කියන වසංගතය ඇතුළෙදි ස්වභාවධර්මය විසින් අපිව නවතාලනු ලැබුවා. ඒ නිසාම හිතමිත්‍රාදීන්ට කතා කරන්නට මගහැරුණු යාළුවන්ට කතා කරන්න ආදී බොහෝ දේ ස්වභාවයෙන් අපට ඇති කළා. මව්පියන් ගැන සොයා බලන්න, කතා කරන්න වැඩිපුර කාලය ගත කළා. ඒ වගේම මට මගේ ආදරවන්තිය මුණ ගැහුණෙත් මේ කෝවිඩ් සමයේදීයි.

• කොහොමද ඇයව මුණ ගැහුණෙ?

මේ කෝවිඩ් වසංගතය නිසා පසුගිය මාර්තුවෙ රට ලොක්ඩවුන් කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී තමයි මට ඇය හමුවුණේ. ඒ නිසා ජීවිතය සුන්දරයි කියලා කියන්න පුළුවනි.

• අපි ඒ ආදරය ගැන කතා කරමු?

මේ ආදරය හමුවෙන්න මට කපුකම කළ දෙපාර්ශ්වයක් හිටියා. එයින් ‘මේරියන්ස්’ නලීන් පෙරේරා අයියා තමයි ප්‍රධානියා. අනෙක් කෙනා කැළුම් ශ්‍රීමාල් අයියා. මේරියන්ස් කණ්ඩායම ‘වොලීබැස්ටියන්’ ප්‍රසංග මාලාව කරද්දි, එයාලා මාවත් ඊට දායක කරවා ගත්තා. එහි ප්‍රථම ප්‍රසංගය පටන්ගත්තෙ BMICH එකේදියි. නලින් අයියා එක්ක මගේ ජීවිතයේ ලොකු බැඳීමක් තියෙන කෙනෙක්. ජීවිතේ ජයග්‍රහණ වගේම බොහෝ දේ ගැන එයා මා එක්ක කතා කරලා තියෙනවා. ඒ බැඳීම එක්ක එයා මේ ප්‍රසංග මාලාව පටන්ගන්න කොටම මට කිව්වෙ, මේ වැඩේ ඉවරවෙනකොට මම තෝව බන්ඳලා තමයි පස්ස බලන්නෙ කියලයි. ඔන්න ඉතින් ඒ ප්‍රසංග මාලාව දිගටම කරගෙන යද්දි, කැළුම් ශ්‍රීමාල් වගේම නලිනුත් ප්‍රසංගය අතරතුරේදී, දිනේෂ් කියන්නෙ හැබෑ දක්ෂයෙක්, හැබැයි තනිකඩයි තවම එහෙම කියලා ප්‍රේක්ෂකාගාරය වෙත කියූ අවස්ථා තිබුණා. ඔන්න ඔය විදිහට යද්දී මීගමුවෙ ප්‍රසංගයක් පැවැත්වුණා. වොලී බැස්ටියන් සහ සී.ටී. ප්‍රනාන්දු, ප්‍රවීනයින්ගේ ගී ඇතුළත් වූ ඒ ප්‍රසංගයට අතිරේක ශිල්පියකු ලෙස මාව සහභාගී කරවාගෙන තිබුණෙ. ඒ ප්‍රසංගයේදීත් පෙර විදිහටම නලීන් අයියා මා ගැන වර්ණනාවක් කළා. කැලුම්ශ්‍රීමාල් අයියා තව ටිකක් ඒක හැඩ කරලා මංගල යෝජනාව ප්‍රසංගය හරහාම ප්‍රකාශ කළා කිව්වොත් හරි. ඒ ප්‍රසංගයෙන් මාසයකට විතර පසුව මේරියන්ස්ලා එක්ක මම නවසීලන්තයේ ප්‍රසංග මාලාවකට දායකවෙලා සිටියදී, ෆේස්බුක් හරහා මට මැසේජ් එකක් ආවා.
‘එදා මම මීගමුවෙ ප්‍රසංගය නරඹන්න ඇවිත් හිටියා. ඔයාගේ වාදනය හරි ලස්සනයි, ඔයා හරිම දක්ෂයි.’
ඇය එවූ මැසේජ් එකේ සඳහන් වෙලා තිබුණෙ ඒ විදියටයි.
මාත් ඉතින් බොහොම ස්තුතියි කියලා ඒකට රිප්ලයි කළා. දෛවයේ මොන හේතුවකටද මන්දා, එයින් පසුව අපි දෙන්නා අතර සංවාදය දිගින් දිගටම පවතින්න පටන්ගත්තා. පළමු මැසේජ් එක හරියටම මට ලැබුණෙ 2020 මාර්තු 1 වෙනිදා. ඉන් පසුව දිගටම අපි දෙන්නා මැසෙන්ජර් හරහා අදහස් ප්‍රකාශ කරගත්තා. සංචාරය නිමවා නැවත මම ලංකාවට ආවා. ඇවිත් රට ලොක්ඩවුන් කරන්නට පෙර කොහොම හරි එයාව හමුවුණා.

• ඒ කියන්නෙ, මේක කොරෝනා කාලයේ සැබෑ ආදරයක්?

ඇත්තෙන්ම ඔව්.

• ඇය ගැන විස්තර සඳහන් කරමු?

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වසර 15 ක පමණ සේවා අත්දැකීම් ඇති කෙනෙක්. එහි ජ්‍යෙෂ්ඨ සුපර්වයිසර්වරියක ලෙස කටයුතු කරනවා. ඇයගෙ ගම මීගමුව බෝලවලාන. මේ බෝලවලාන ගම මගේ ජීවිතයට තරමක් සමීප ගමක්. ඊට පෙර ප්‍රේම සබඳතා කීපයක්ම මට තිබුණා. ඒ පෙම්වතියත් සිටියෙත් බෝලවලානෙ. අන්තිමට විවාහය සඳහා තීන්දුවූ ජීවන සහකාරිය ලෙස හමුවූ ඇයගෙ ගම බෝලවලාන. මට මගේ ජීවිතයේ බොරු ප්‍රතිරූප නිර්මාණය කිරීමට අවශ්‍ය නැහැ. හංගන්න දේවල් නැහැ. ඒ නිසා ඇය මා ගැන හොඳින් දන්නවා. ඇයගෙ මව්පිය දෙදෙනාම ටෙලිකොම් එකේ සේවය කළේ දැන් විශ්‍රාමිකයි. ඇයට සිටින්නෙ එක් සහෝදරයෙක් විතරයි. ඔහුත් සේවය කරන්නෙ ශ්‍රීලංකන් සමාගමේ.

• ඔබ මේ වර්ණනා කරන, ඔබගේ ජීවන සහකාරියගේ නම මොකක්ද?

ඇය දුලානි, දුලානි පෙරේරා.

• ඇයි දුලානිට හිත ගියේ?

මම හිතන්නෙ නම් සංසාරගත බැඳීමකට වෙන්න ඇති. අපි හමුවුණේ අහම්බයෙන් දාගත්ත දිනයකදීයි. අපි නිකන් මුණගැහෙමු කියලා තමයි ගියේ. ඒ හමුවෙදි, මට ඇයගෙ අතීතයවත්, ඇයට මගේ අතීතයවත් හොයන්න බලන්න කතා කරන්න ඕනෑ වුණේ නැහැ. අතීතයේ වැරදුණ තැන් තියෙන්න පුළුවන්. ප්‍රශ්න තිබූ තැන් තියෙන්න පුළුවන්. හැබැයි මම කිසිවිටෙකත් මිනිසෙකුගේ යටගියාව හොයන කෙනෙක් නෙවෙයි. ඇයත් එහෙමයි. මම හිතන්නෙ අපි දෙන්නව මුණගැස්සුවේ දෛවයට අනුවමයි. ඒ වගේම පෙර ආත්මයක සිට එන බැඳීමක් කියලයි අද මට හිතෙන්නෙ. අවුරුදු 40 කට ආසන්න වෙමින් තිබෙන මගේ ජීවිතය විවාහයකට නොගියේ, සබඳතා තිබූ අය මගේ වෘත්තිය තේරුම් ගත්තෙ නැහැ. එක්කෝ මාව තේරුම් ගත්තෙ නැහැ. මොකද දුරකථනය ඔස්සේ පැය ගණන්, වරු ගණන් මට රැඳී ඉන්න කාලයක් තිබුණෙ නැහැ. ඒක මට කරන්න බැරි දෙයක්. ඒ විදියට මගේ මනසට අහිතකර කිසි දෙයක් දුලානිගෙන් සිද්ධවුණේ නැහැ. මම මෙහෙමයි, මගේ වැඩ මෙහෙමයි කියලා එයාට අමුතුවෙන් කියන්න ඕනෑ වුණෙත් නැහැ. ඒ අවබෝධය ගැලපීම ඇයට තියෙනවා. නමුත් අඩුපාඩු ඇති අසම්පූර්ණ අය කියලා හිතාගෙන, ඒවා හරිගස්සාගෙන ජීවත්වෙන්න හිතන දෙන්නෙක්. මේ ගැලපීම වඩාත් හරිගියේ ඒ නිසයි. හමුවී කෙටි කාලයකදී අපි අතර ඇතිවූ බැඳීම ඇත්තෙන්ම හරි අරුත්බරයි. මාර්තු 17 හමුවුණා. 18 රට වැහුවා. පසුව දින කීපයකට රට විවෘත කළ පසු අපි හමුවුණා. ආයෙත් රට වැහුවා. මේ සියල්ල අතරේ අපි දෙන්නගෙ ආදරය ශක්තිමත් වුණා. ජීවිතයේ තනිකඩව ඉන්නවා කියන මතය වෙනස් කළේ දුලානි. මගේ කලාව එක්ක, මට පුරුදු විදියට ජීවත්වීම හැර නොගැලපෙන විවාහයක් ගැන මම හිතුවෙ නැහැ. නමුත් තනිකඩව ඉඳලා අපි කොහේට යාවිද කියන එක එක්තරා අවස්ථාවක මට තේරුම් ගියේ රන්ජන් රාමනායක අයියගෙ ජීවිතය දිහා බලද්දියි. එතුමා ජීවිතයේ විවිධ පැතිකඩ ඔස්සේ බොහෝ දේ සාර්ථකව සමාජයට ඉටුකර තිබුණත්, තනිකඩ වීම නිසා එක්තරා විදියක අවාසි ඔහුට සිදුව ඇති බවත් මට වැටහුණු දෙයක්. මේ වගේ දේ දිහා බලද්දි තනිකඩවීම එච්චර සුබ දෙයක් නොවේය යන හැඟීම මට ඇතිවුණා. ඒත් එක්කම අදහස් ගැලපෙන කෙනෙක් හමුවීම නිසා තනිකඩව සිටිමි යන අදහස වෙනස්වූ බව කියන්න පුළුවනි. මේ ජීවිතය වෙනස් කළේ නැත්නම්, මට සහකාරියක හොයලා දෙන්න මුල්වූ නලින් පෙරේරා සහ කැලුම් ශ්‍රීමාල් අයියටත් මගේ ගෞරවය පුදන්නට ඕනෑ.

සඳුන් ගමගේ

20210123Dinesh-1 20210123Dinesh-2 20210123Dinesh-3 20210123Dinesh-4