ගීතය අහද්දී හැම දුවකගේම හද ගැස්ම දැනෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ධර්මය හැරුණුවිට මිනිසුන්ට ජීවිතය ආදරය හා ලෝකය කියා දෙන අනිත් ආගම කලාව යැයි මම විශ්වාස කරමි. සත්‍ය වශයෙන්ම වූ ආධ්‍යාත්මික බැඳීමකින් කලාවට පෙම් කරන උන් සොඳුරු මිනිසුන් ලෙස මම විශ්වාස කරමි. ඇය වරෙක ගී ගයන ගායිකාවකි. තවත් වරෙක දරුවන්ට සංගීතය උගන්වන දයාබර ගුරුතුමියකි. එමෙන්ම රටක් සනසන ශ්‍රී ලාංකික අනන්‍යතාවක් වූ අමරසිරි පීරිස් නම් අපූරු ගායකයාගේ දියණියක ලෙස උපදින්නට තරම් පෙර කුසලයක් කළ තැනැත්තියකි. ඇය ජනනි ඉන්දිරා පීරිස්ය.

අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන්නී.. ඇයයි.
ජනනි.. ගීතයට ආදරය කරන්න, ගීතයට ළං වෙන්න, ගීතයත් ජීවිතයේම කොටසක් කර ගන්න පෙළඹවීමක් ඔබට ඇතිවුණේ කොහොමද කියලා දැනගන්න මම ආසයි.
පුංචි දවස්වල ඉඳන්ම ගීත අහන, ඒ ගීත රසවිඳින ඇබ්බැහිවීමක් මට මගේ ජීවිතයේ තිබුණා. මුලින්ම මම ගීතයක් රසවින්ඳේ ඒ ගීතයේ සංගීතයත් එක්ක. ඒ ගීතයේ රිද්මය හා අනුගත වෙමින්. ඒත් කාලයත් සමඟ මුහුකුරා යද්දි ගීතයක පද හා බැඳුණු රස අර්ථ මම හෙමි හෙමින් පිරික්සන්න පටන් ගත්තා. එසේ ගීතයේ පද සංයෝජනය විනිවිද ගීතයේ අර්ථ රස ගැඹුරින් හදවතට ඒත්තු යන්න යන්න ඒ ගීතය වඩාත් හදවතට හා ජීවිතයට දැනෙන්න පටන් ගත්තා.

ගීතයත් එක්ක එහෙම යා වුණු අතීතයේ ඉඳන් අද දක්වා කාලයේදී හුඟාක් ගීත ළඟ ඔබේ හිත නවතින්න ඇති. ඒ නැවතුණු තැන් අතර ඔබ ඔබේම යැයි අයිති කරගත් ගීතයක් තියෙනවද ඔබට?

නන්දා මාලනීගේ ගීතවලට මම හුඟාක් ප්‍රිය කරනවා. ඒකට එක හේතුවක් තමා ඇය ගැයූ හුඟාක් ගීතවල දේශීයත්වය පිළිබඳ විවිධ ඇගයීම් සෞන්දර්යාත්මකව හා යථාර්ථවාදීව ගලාගෙන ගියා. ඇය ගයන දේශීය ජන නාද ඇසුරින් නිර්මාණය වුණු රැක්අත්තන මල මුදුනේ වැනි ගීතයන්ටත් මම හරිම ආසයි. සැඳෑ කළුවර කියන ගීතයත් නන්දා මාලනීගේ මම කැමතිම ගීයක් වුණා. හැබැයි මේ සියලු රුචිකත්වයන් අතරේ ඈ ගයන මා කැමතිම ගීතය ලෙස අංක එකට එන්නේ පිපුණු මලේ රුව එ මල දනීදෝ කියන ගීතයයි.

ජනනි.. කැමැත්තෙනුත් කැමැත්ත ඒ ගීතය බවට පත්වීමට විශේෂ හේතුවක් හෝ හේතු කිහිපයක් ඇති ඔබට?

මමත් දියණියකගේ මවක්. ඇය දැන් සිටින්නේ භෞතිකව මගෙන් දුරස් වී වුණත් ආධ්‍යාත්මිකව මගේ ලෝකයේ දැල්වෙන එක පහනක් තමයි ඇය. මගේ දුව අමා දැන් ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. මගේ දියණිය හා මා අතර ගෙවූ සහ ගෙවන ජීවිතයේ අත්දැකීමක් සමඟ මේ ගීතය යා නොවුණත් දියණියක සිටින සැබෑ මව්වත් ගුණ ඇති අම්මා කෙනෙක්ගේ හැඟීම් මම හොඳින් හඳුනනවා. ඇයට අවශ්‍ය සියලු සැප සම්පත්, ආදරය, රැකවරණය, ආරක්ෂාව ලබන්න ඇය වාසනාවන්ත වුණත් මට හිතෙනවා ඒ කිසිවක්ම කිසිම ලෙසකින් නොලබන දරුවන් කොච්චර මේ ලෝකයේ ඉන්නවද කියලා. දාරක ස්නේහය සත්‍ය වශයෙන්ම හඳුනන කිසිවෙක් මේ මගේ ලෙයින් සහ කිරෙන් උපන් දරුවෙක් නොවේය යන හැඟීමෙන් කිසිම දරුවෙක් දිහා බලන්නේ නෑ කියන හැඟීම තමයි මම විශ්වාස කරන්නේ. මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරියක් ලෙස රුකියාව කරන්නේ. මගේ ජීවිතයේ සැලකිය යුතු කාලයක් ගෙවන්නේ දේවි දියණියන් එක්ක. 

මගේ ළය ලෙය කිරි කර හැදූ මගේ දුව ගැන මට තියෙන ස්නේහය, දයාබරත්වය, කැක්කුම, බැඳීම සහ ඒ දියණියන් ගැන මට ඇති ඒ හැඟීම් අතරේ ඉරක් ගහලා වෙන්කරලා පෙන්වන්න පුළුවන් වෙනසක් පරතරයක් නැහැ. මට හිතෙන දෙයක් තමා හුඟාක් දුප්පත් පවුලක දියණියකගේ ලෝකය සරසන්න ඇයට ඇවැසි දේවල් දෙන්න නැති දුප්පත් අම්මා කෙනෙක්ට දැනෙන හිතුවිලි කොච්චර වේදනාත්මක ඇත්ද කියලා. දුප්පත් පොහොසත් මොන පවුල් පසුබිමක ඉපදුණත් දියණියකට දැනෙන අවශ්‍යතාව, ඇගේ සිතැඟියාවන් එක හා සමාන වෙන තැන් නැතුව නෙවෙයිනේ. සැබෑ මව්වත් ගුණ ඇති මොන අම්මාගේත් බලාපොරොත්තුව දියණියකගේ කන කර ලස්සනට සරසලා ඇයට යහගුණදම් උගන්වලා ඇයව පුංචි රැජිනක් වගේ තියන්න නේද කියලා මට හිතෙනවා. ඒත් ඒ හීනයට දුප්පත්කම හරස් වෙද්දී අම්මා කෙනෙකුගේ හිතේ මොන තරම් වේදනාවක් උපදිනවා ඇත්ද, ඒ වේදනාව නේද මේ ගීතයෙන් හරිම හෘද සංවේදී භාවමය කම්පනයකින් චිත්‍රණය කරන්නේ. මේ ගීතය කෙරේ මා මෙතරම් බැඳෙන්න හේතුවත් ඒ සහකම්පනයයි.

ජනනි.. මේ ගීතය අහද්දි ඔබේ හිත වඩාත් සහකම්පනයට ලක් කළ පද මොනවද කියලා මට කියනවද?

පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ..
නොතලන් සිත මා ආදර දියණියනේ..
මගේ ඇහැට සීතලම කඳුළ එකතු කළ පද තමයි ඒ.

ඒ පද අහද්දි ඔබට දැනිච්ච හැඟීම කොහොමද ඔබ නිර්වචනය කරන්නේ?

වේදනාව උතුරලා යන තැනක ඊළඟට ජනිත වෙන හැඟීම කලකිරීම කියලා මට දැනෙනවා.. දුප්පත්කම ළඟ හීන බොඳවෙන්න පුළුවන්. ඒත් දුප්පත්කමට හීන අතුගාන්න දෙන්න එපා කියලා මම මගේ නොවන ඒත් මම මගේම කියලා හිතන හැම දරුවෙකුටම කියන්නේ. දුප්පත්කම තුළ උත්පත්තිය ලැබීම වරදක් නොවුණට දුප්පත්කමත් එක්ක ජීවිතය ගෙවන්න ඉඩ හරින එක වරදක්. ශක්තිමත් සිතක් කියන්නේ අරමුණු ඔස්සේ යා හැකි මාර්ගයක් තනා ගැනීමේ කේන්ද්‍රස්ථානය. දියණියකගේ ජීවිතයේ හිස්තැන් දිහා බලමින් තැවෙන හූල්ලන අම්මා කෙනෙක් මේ ගීය ඇතුළේ හුස්ම ගන්නවා. දුවේ.. මේ නැතිබැරිකම් මැද්දෙන් ජීවිතය දිනපන් කියන ධෛර්යවන්ත අම්මා කෙනෙක් සහ ගැහැනියක් මේ ගීතය ඇතුළේ ජීවත් වෙනවා. ඒ ගැහැනිය හරිම සංවේදීත්වයකින් තමන්ගේ දුවට කියනවා දුවේ.. නුඹේ කනට අරුංගල් දෙකක් දාන්න ගෙලට මාල පොටක් බඳින්න උඹේ කන කර සරසන්න විදිහක් නෑ මට.. කණ්ණාඩියෙන් උඹ උඹ දිහා බලද්දි උඹේ හිතට කටු අනින්නෙ උඹේ ඒ දුප්පත්කම ගැන හැඟීම්. ඒ හැඟීම් ඒ හිස්තැන් උඹේ හිත පාරනවට, රිදවනවට මම කැමති නෑ... ඒ හින්දයි උඹට උඹව පෙනෙන කැඩපත මම බිම දාලා කුඩු කළේ..

දුවේ උ‍ඹේ නැතිබැරිකම් ළඟ ළතැවෙන, විඳවන මේ අම්මගේ හිත තලන්න එපා.. උඹ මේ දුක්ගැහැට මැද ජීවිතය හොයපන්.. මව් ගුණ හඳුනන අම්මා කෙනෙක් පපුව කැකෑරෙන වේදනාවකින් ඒ ගයන ඒ ප්‍රකාශනය ළඟ මම පුදුම විදිහට සංවේදීයි.. 
ගීතයක් කියන්නේ පද, සංගීතය, කටහඬ යන ත්‍රි මූර්තියේ සංයෝජනයක්. ඒත් කෙනෙක් ගීතයක නවතින්නේ පද රචනය ළඟ වෙන්න පුළුවන්. තව කෙනෙක්

සංගීතය හෝ කටහඬ ළඟ වෙන්න පුළුවන්. මේ ගීතයේ ඔබ නැවතුණු තැන කොතනද?

ගී පද, සංගීතය සහ හැඟුම්බර ගැඹුරු කටහඬ කියන තැන් තුනේම මම නැවතුණා කීවොත් ඒ තමා නිවැරදි උත්තරය. ලූෂන් බුලත්සිංහල ලියූ ඩන්ස්ටන් ද සිල්වා සංගීතවත් කර නන්දා මාලනී ගැයූ මේ ගීතය කියන්නේ ගීතයක් සතු විය යුතු හැම ගුණයකින්ම පෝෂණය වූ ගීතයක්. මේ ගීය සිත සහෘදත්වයෙන් ප්‍රකම්පනය කරන ප්‍රබල ගීතයක් ලෙස මම දකින්නේ. මේ ගීතය පුරාම විසිර ඇති ශෝකී රසය ළඟ මම හරිම සංවේදීයි.

ඔබ ගුරුවරියක් ලෙස දරුවන්ගේ රසඥතාවයේ වපසරිය දකින්නේ කොහොමද?

අද විද්‍යුත් මාධ්‍ය මගින් දරුවන්ට සුභාවිත ගීත ශ්‍රවණය කිරීම උදෙසා ලබා දී ඇති ඉඩහසර ඉතා අල්පයි. අර්ථ රස හීන ගීත සංස්කෘතියක් තමා අද නිර්මාණය වෙමින් තියෙන්නේ. සංස්කෘතිය හෝ සම්ප්‍රදාය අතික්‍රමණය කිරීම සුන්දරයි සංස්කෘතියට හෝ සම්ප්‍රදායට එරෙහි වන විරෝධියෙක් නොවී. එහෙත් අද ඒ සුන්දර අතික්‍රමණිකයන් දකින්න නැහැ විරෝධීන් මිසක්. මෙය ඉතා අශුභවාදී විපරීත ප්‍රවණතාවක් ලෙසයි මා දකින්නේ. ගුරුවරු විදිහට මෙතනදි අපේ කාර්ය සුවිශාලයි. දරුවන්ගේ රසඥතාව වඩවාලීමේ මාර්ගය අප සොයා දිය යුතුයි. හරවත් සංගීත, සාහිත්‍ය ශ්‍රවණයට දරුවා යොමු කළ යුතුයි. සමාජ යථාර්ථය පිළිබිඹු කරන නිර්මාණ තුළින් ජීවිතය දකින්න, මනුෂ්‍ය මනෝභාවයන්ට වටිනාකම් දෙන්න, දරුවන්ගේ හදවත් මත අපි පෙළඹවීමක් ඇති කළ යුතුයි. 

වේග රිද්ම ගීතවල පවා හොඳ පදමාලා තිබිය හැකියි. වේග රිද්මය ප්‍රශ්නයක් නෙවෙයි. දරුවන්ගේ රසවින්දන පරාසයේ නිම් වළලු පුළුල් විය යුතුයි කියන තැන මම ඉන්නේ.

ඔබ විශ්වාස කරනවද ගීතයක් තුළින් ජීවිතය කියවිය හැකි තැනට එන්න හැකි, ගීතය තුළින් යථාර්ථවාදී සන්නිවේදනයක් ඇතිකළ හැකි සමාජයක් අපේ ඇස් ඉස්සරහ තියෙනවා කියලා.
දරුවෙක් ගත්තොත් අපට ගුරුවරු විදිහට පමණක් දරුවා උසස් රසඥතාවකට යොමු කරන්න බැහැ. නිවසේ පසුබිමත් ඊට ප්‍රබල සාධකයක් ලෙස බලපානවා. මොන හීන ලෝකවල පය ගහගෙන හිටියත් අවසානයේ අපි ලෝක ධර්මතාවයන්ට, යථාර්ථයන්ට සත්‍ය ලෙස මුහුණ දිය යුතුයි. ඒ යථාර්ථයන් දකින්න, දරාගන්න, විඳගන්න පුළුවන් විදිහට ආධ්‍යාත්මය පෝෂණය කර ගන්න මාර්ග දෙකයි තියෙන්නේ. එකක් ධර්මය. අනිත් එක ගැඹුරු යථාර්ථවාදී කලාව. කලාවත් එනයින් ආගමක්. හදවත් මේ ධර්මයෙන් හා ආගමෙන් පෝෂණය කරගන්න කියලා තමා මම කියන්නේ.

වෛද්‍ය අසේල විජේසුන්දර

20210221Janani-1