ඇත්තටම ලෝ බජට් එකකින් හොඳ ට්‍රැක් එකක් කරන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210222kanishka-1

ගායකයෙක් සහ සංගීත නිර්මාපකයෙක් ලෙස නව රැල්ලෙන් මිදී වෙනස් ගමනක යෙදෙන කනිෂ්කව සාරවිට කතාබහකට කැඳවාගන්නට අප සිතුවා. මේ වනවිට ගීත කිහිපයක්ම ගායනා කරන ඔහුගේ නවතම විස්තර අප සමග පැවසුවේ මේ අයුරින්.  

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම කනිෂ්ක කවිරත්න. මගේ ගම මාතලේ. හැබැයි දැන් අවුරුදු පහක හයක ඉඳලා කොළඹ ඉන්නේ. මම ගායකයෙක්, සංගීතඥයෙක් සහ සංගීත නිර්මාණකරුවෙක් විදිහට දැන් වැඩ කරනවා. ඊට කලින් මම මූල්‍ය ක්ෂේත්‍රයේ මූල්‍ය උපදේශකවරයෙක් විදිහට වැඩ කළා.

සංගීත ගමන ආරම්භ වන්නේ කොහොමද?

මියුසික් කියන දේ පොඩි කාලේ ඉඳලා අපේ පවුලේම තිබුණ දෙයක්. මගේ අප්පච්චි හොඳ ඩ්‍රමර් කෙනෙක් වගේම හොඳ ගායකයෙක්. අම්මා හොඳ ගී පද රචිකාවියක්. ඒ දේවල් එක්කම තමයි මම මියුසික්වලට එන්නේ. මගේ බොහෝ ඔරිජිනල්වල පද රචනය, තනුව, සංගීතයේදී පියානෝ කොටස්, ගිටාර්, ඩ්‍රම්ස් ටික මමම තමයි කරන්නේ.

පාසැලේදිත් ඉගෙනගත්තේ සංගීතයද?

නැහැ. ඇත්තටම මගේ අප්පච්චි කැමති වුණේ නැහැ මම වෘත්තීමය වශයෙන් සංගීතය හදාරනවාට. මොකද එයාට ඕනෑ වෙලා තිබුණේ මාව වෙන පැත්තකින් ඉස්සරහට යවන්න. ඒ නිසා ගොඩක් වෙලාවට මම හොරෙන් තමයි මියුසික් ඉගෙනගත්තේ. ඒත් පාසැලේ සංගීත කණ්ඩායමේත් දිගටම වගේ හිටියා. පාසැල් කාලයේදීත් අපේ යාළුවන්ගේ රොක් බෑන්ඩ්වල ප්ලේ කරා. එතකොට දුෂ්‍යන්ත් වීරමන් සමග ප්ලේ කරලා තියෙනවා. බෑන්ඩ කිහිපයකම ඩ්‍රම් සහ ලීඩ් ගිටාර් වාදකයෙක් විදිහට වැඩ කරලා තියෙනවා.

20210222kanishka-3

මියුසික් ප්‍රඩක්ෂන්වලට එන්නේ?

මම බෑන්ඩ් වල සෙල්ලම් කරද්දි මට ප්ලේ කරන්න වෙන්නේ එක සංගීත භාණ්ඩයයි. හැබැයි මගේ හැකියාව ඊට වඩා වැඩියි. ඒ නිසා මම මියුසික් ප්‍රඩක්ෂන්වලට එනවා. එතකොට මට හැම එකක්ම ප්ලේ කරන්න පුළුවන්. මගේ ඔළුවේ මැවෙන දේ එක්කනේ ඊටපස්සේ වැඩ කරන්නේ. මට හමුවෙනවා නිසල් ගංගොඩගේ අයියාව. එයා තමයි මගේ සින්දු ටික ප්‍රඩියුස් කරේ. එතනදි නිසල් අයියා මට මියුසික් ප්‍රඩක්ෂන් කියලා දෙනවා. අදටත් මට මොකක් හරි ප්‍රශ්නයක් ආවාම මම කතා කරන්නේ නිසල් අයියාට.

එතකොට දැන් බෑන්ඩ්වල ප්ලේ කරන්නේ නැද්ද?

නැහැ. දැන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා.

ඔබේ ගීත නිර්මාණ ගැන කියමුද?

දැනට මගේම ගීත හතරක් එළිදක්වලා තිබෙනවා. මම කරපු පළවෙනිම ගීතය තමයි %අභිනික්මන% ගීතය. ඒක කරේ 2019දි. ගිය අවුරුද්දේ මා නෙත්, සීත මීදුම්, අම්මා කියන ගීත තුන නිකුත් කළා. එතකොට ලබන මාසේදි %හීනයක්% කියලා අළුත් ගීතය නිකුත් කරන්න බලාගෙන ඉන්නවා.

නවකයෙක් විදිහට වර්තමාන සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔබ දරණ මතය මොකද්ද?

ඇත්තටම නවකයෙක්ට මේ ෆීල්ඩ් එකේ උඩට එන්න ටිකක් අමාරුයි. ටිකක් දඟලන්න ඕනේ. හැබැයි මම දකින දෙයක් තමයි ටක් ගාලා කරන බාල ගණයේ නිර්මාණ අද එළියට එනවා වැඩියි. එකම සාම්පල් ටික පාවිච්චි කරනවා. මම හිතන්නේ ප්‍රඩක්ෂන් එකක් කරද්දි වචන ටිකේ ඉඳලා මියුසික් ටික, එතකොට විෂුවල් එක මේ හැමදෙයක් ගැනම හොඳට හිතන්න ඕනේ. මම හිතනවා ඊට වඩා ගුණාත්මක දේවල් මියුසික් ඉන්ඩ්‍රස්ටි එක ඇතුළේ කරන්න පුළුවන් කියලා.

ඔබ කියන ආකාරයේ බාල ගණයේ නිර්මාණ බිහිවීමට ප්‍රධාන හේතුව මූල්‍යමය ගැටළු නේද?

එතන ගැටළුව බජට් එක විතරක්ම නෙවෙයි. ලොකු බජට්වලින් කරපු සමහර නිර්මාණ ගුණාත්මක නැහැ. ඒ වගේම ලෝ බජට් එකකින් ලොකු වැඩ කරපු ප්‍රඩක්ෂනුත් තියෙනවා. නිර්මාණයකට මියුසිකලි වටිනාකමක් තියෙනවාද නැද්ද කියන එකයි ප්‍රශ්නේ. ඇත්තටම ලෝ බජට් එකකින් හොඳ ට්‍රැක් එකක් කරන්න පුළුවන්. අපේ භාෂාව ලස්සනට ගීතවලට පාවිච්චි කරන්න පුළුවන්. අපේ පැරණි ගීත දිහා බලන්නකෝ. මම කියන්නේ බජට් එක ගැන හිතන්නේ නැතුව කරන වැඩේ ගුණාත්මක විදිහට කරලා ඒකට හොඳ වටිනාකමක් දෙන්න ඕනේ කියලා.

ඔබ වැඩියෙන්ම කැමති මොන ශානරයේ ගීත හදන්නද?

ඇත්තටම මම රොක් සංගීත ශිල්පියෙක්. හැබැයි මම මියුසික් ප්‍රඩක්ෂන් කරද්දි රොක්වලටම සීමා වෙන්නේ නැහැ. ඒක මගේ පර්සනල් එකක්නේ. මගේ අභිනික්මන සින්දුව ගත්තාම ඒකේ රොක් සහ ක්ලැසික් දෙකම මික්ස් වෙලා තියෙනවා. මා නෙත් ගීතයේ පොප් සංගීතය එකතු කරලා තියෙනවා.

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

දැනට මම අළුත් ගීතයක් කරගෙන යනවා. මේ දවස්වල ඒකේ රූප රචනාව රූ ගත කරනවා. ඊළඟ මාසයේදී ඒක රිලීස් වෙයි. ඒත් එක්කම තව ගීත දෙකකම වැඩ කරගෙන යනවා.

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

ඇත්තටම මගේ පවුලේ අය. එයාලා මාත් එක්ක එක දිගටම හිටියා. එතකොට නිසල් ගංගොඩගේ අයියා, තරිඳු සාරංග සහ මගේ හොඳම යාළුවා මාධව ඇතුළු උදව් කරපු හැම දෙනාවම මම ආදරයෙන් මතක් කරනවා.

 කැළුම් දේවින්ද

20210222kanishka-420210222kanishka-2