මම තාරකා විද්‍යාඥවරියක් වෙන්න කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210222nethuki-03

නෙතුකි කියන්නේ දක්ෂ ළමා රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ළමා නිවේදිකාවක් සහ හඬ කැවීම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. මේ දිනවල විකාශය වන මහපොළොව නාට්‍යයටද නෙතුකි රංගනයෙන් දායක වෙනවා. ඉතින් සාරවිට මේ කතාබහ පුංචි නෙතුකි සමගයි.

නෙතුකිව හඳුන්වා දුන්නොත්?

මගේ නම නෙතුකි නෙතුම්ලි. මම ඉගෙනගන්නේ බෞද්ධ බාලිකා විද්‍යාලයේ. අට ශ්‍රේණියේ තමයි මම ඉන්නේ.

නෙතුකි රඟපාපු නිර්මාණ මොනවාද?

මම මුලින්ම රංගනයෙන් දායක වුණේ අයි.ටී.එන් එකේ ගිය B - report කියන ටෙලි නාට්‍යයට‍. එතකොට මේ දිනවල අයි.ටී.එන් එකේ විකාශය වන මහපොළව ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. දැන් මගේ කොටස් ඉවරයි. එතකොට කෝපි කඩේ නාට්‍යයේ මම රඟපානවා. කඳුලු මල් කියලා කෙටි චිත්‍රපටයකටත් මම රංගනයෙන් දායක වුණා. තව බෞද්ධයා නාලිකාවේ අවුරුදු නාට්‍යයකට සම්බන්ධ වුණා.

රංගනයට වගේ හඬකැවීම්වලටත් නෙතුකි දක්ෂයි නේද?

ඔව්. මම ජාතික රූපවාහිනිය, අයි.ටී.එන් එකේ, හිරු එකේ මම හඬ කැවීම් කරනවා. ඊට අමතරව එෆ්. එම්. දෙරණේ විකාශය වන 'පුංචි තරුත් එක්ක ආයුබෝවන්' වැඩසටහනේ නිවේදනය කරනවා. තව ගුවන්විදුලි සංස්ථාවේ සරස්වතී මණ්ඩපයෙත් මම නිවේදනය කරනවා.

පාසැල් වැඩත් එක්ක කලා කටයුතු කරන්නේ කොහොමද?

ඉස්කෝලේ වැඩ මග හැරෙන්නේ නැහැ. ඉස්කෝලේ යාළුවෝ, ටීචර්ස්ලා මට උදව් කරනවා. එතකොට අම්මාත් ගොඩක් උදව් කරනවා. එතකොට රඟපාන එක ඉස්කෝලේ වැඩවලට බාධාවක් වෙන්නේ නැහැ.

නෙතුකි ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?

මම තාරකා විද්‍යාඥවරියක් වෙන්න කැමතියි. ඒ එක්කම රඟපෑම, නිවේදනය, හඬ කැවීම්වලිනුත් දිගටම ඉස්සරහට යනවා.

මේ වෙනකල් රඟපාපු චරිත වලින් ඔබ කැමතිම චරිතය මොකද්ද?

මම කැමතිම චරිතය තමයි මහපොළොව නාට්‍යයේ සිංගිගේ චරිතයට.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා තමයි ගොඩක්ම උදව් කරන්නේ. එතකොට තාත්තයි, අයියයි අක්කයිත් උදව් කරනවා.

ඔයාව ටී.වී එකේ දැක්කා කියලා ඉස්කොලේ යාළුවෝ එහෙම ඇවිත් කතා කරනවාද?

ඔව්. යාළුවෝ කතා කරනවා. එයාලාත් කියනවා මම රඟපානවා හොඳයි කියලාත්.

රඟපානවාට අමතරව තව මොනවාටද නෙතුකි දක්ෂ?

මට සින්දු කියන්න, නටන්න පුළුවන්. ක්‍රීඩාවක් විදිහට පොඩි කාලේ ඉඳලා ටේබල් ටෙනිස් ගැහුවා.

රංගනයට සම්මාන හෝ ඇගයීම් ලැබිලා තියෙනවාද?

රඟපෑමෙන් නම් තවම එහෙම දේවල් ලැබිලා නැහැ. එතකොට ඉස්කෝලේ තරඟවලින්, ක්‍රීඩාවලින් සහතික ඇගයීම් ලැබිලා තියෙනවා.

මුලින්ම කැමරාව ඉස්සරහට යද්දි මොකද හිතුණේ?

මුලින්ම කැමරාවක් ඉස්සරහට ගියේ මම පහ වසරේදීයි. ශිෂ්‍යත්ව විභාගය දවසේ තමයි පලවෙනි ෂූට් එක තිබුණේ. විභාගය ලියලා ඉවර වෙලා මම ෂූට් එකට ගියා. චුට්ටක් විතර බය හිතුණා.

නෙතුකිගේ ඉස්සරහට එන්න තියෙන වැඩ මොනවාද?

සුදත්ත තිලකසිරි මාමාගේ ටෙලි නාට්‍යකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒක ඉදිරියේදී විකාශය වෙයි. එතකොට තව චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා.

උදව් කරන අය කවුද?

මුලින්ම මතක් කරන්න ඕනේ අම්මාව, තාත්තාව සහ මගේ පවුලේ අයව. ඊටපස්සේ ජයනි ඇන්ටි, ප්‍රභාත් දුෂ්‍යන්ත මාමා, සුමිත් රත්නායක මාමා, සංජීව බෝතොටවත්ත මාමා, ඉඳුනිල් ජයවර්ධන මාමාවත් ආදරයෙන් මතක් කරනවා. එතකොට මගේ යාළුවෝ සහ උදව් කරපු හැමෝමවත් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20210222nethuki-05 20210222nethuki-04 20210222nethuki-01 20210222nethuki-02