කෑමෙන් බීමෙන් පරෙස්සම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210301Thilina-1

පංච කල්‍යාණියක් ලෙසින් මෙලොව උපත ලැබීම කාන්තාවකට ආභරණයක් බව මා අමුතුවෙන් සටහන් තැබිය යුතු නැත. ඒ වාසනාවට උරුම කම් කියූ ඇය චවි කල්‍යාණියක් ලෙසින් බොහෝ වර සම්මානයට ද පාත්‍ර වී ඇත. තම රූපයේ සුන්දරත්වය නිසාම රඟපෑමේ භාග්‍යය කුඩා අවදියේම හිමි කර ගත් ඇය අද වන විට නව පරපුරේ දක්ෂ නිළියක් මෙන්ම නිරූපන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වී ඇත. ලස්සන රහස් පිටුව අද බැබලෙන්නේ ඇයගෙනි. ඇය නමින් තිළිණි පෙරේරාය.

චවි කල්‍යාණිය වුණා වගේම තව මොනවද සුන්දරත්වය නිසාම ලැබිලා තියෙන්නේ.

වසර කිහිපයක්ම BMICH තිබුණ මනාලියන් නිරූපන තරගාවලියෙදි නිකැලැල් සම හිමි මනාලිය පැහැපත්ම මනාලියට හිමි සම්මානය ආදිය ලැබී තිබෙනවා. 

මේ තරම් ලස්සන වෙලා උපදින්න ඔබ පෙර ආත්මේ මොනවා කරන්න ඇද්ද?

මම කතෝලික ආගමේ කෙනෙක්. ඒත් මම හිතනවා මීට පෙර ආත්මෙක මම ඉපදිලා හිටියා නම් ඒ ආත්මෙදී මම ගොඩාක් හොඳ විදිහට කාටවත් දුකක් දෙන්නේ නැතුව හිත රිදවන්නේ නැතුව ජීවත් වුණ නිසා මේ ආත්මෙදී මෙච්චර ලස්සනට ඉපදෙන්න ඇති කියලා.

පුංචි කාලෙදිත් ගොඩක් ලස්සනට ඉන්න ඇති නේද?

​ඔව්. මාව ඉපදුන වෙලාවෙදිත් නර්ස්ලා අම්මාට ඇවිත් කියලා තියෙනවා ඔයාට ලස්සනම ලස්සන සුද්දියක් ලැබිලා කියලා. ඇත්තටම පුංචි කාලේ ඉඳලාම මගේ හම හරිම පැහැපත්. රන්වන් පාටයි. පුංචි කාලේ ඉඳලා මේ වනකම්ම මගේ කනට නිතරම ඇහුනේ ලස්සනයි ලස්සන කෙනෙක් කියන වචන. දකින හැමෝගෙම කටින් එහෙම වචනයක් අහන්න මම ගොඩාක් වාසනාවන්තයි කියලා හිතනවා. 

කණ්ණාඩිය ඉස්සරහට ගියාම මොනව ද දැනෙන්නේ.

මට මගේ ගැනම ලොකු ආත්ම විශ්වාසයක් ආත්ම තෘප්තියක් ලැබෙනවා. ඇත්තටම ලස්සන කියන්නේ ආභරණයක්. ඒ ආභරණය කාන්තාවකගේ සුන්දර බව ඔප දමනවා. මා පෞද්ගලිකව හිතනවා ඒ ආභරණයට මා හිමිකම් කියනවා කියලා.

ලස්සන කියන්නේ ආඩම්බර විය යුතු දෙයක් කියලා දැනෙන්නේ නැද්ද?

කාන්තාවක් විදිහට පුංචි ආඩම්බරයකුත් නැතුවාම නොවේ. නමුත් මම හිතනවා ලස්සන කියන්නේ සමාජයේ කැපී පෙනෙන්න භාවිත නොකළ යුතු මෙවලමක් කියලා.

ලස්සන හැමෝටම ජීවිතය ජය ගත හැකි ද?

බැහැ නේද? සුන්දරත්වය නිසාම ජීවිතය වරද්දවා ගන්න ඕනෑ තරම් අය ඉන්නවා. ඒ නිසා අප සතු සුන්දරත්වයට වටිනා විදිහට භාවිත කරන්න නම් අපි බුද්ධිමත් විය යුතුයි. ඒ වගේම දැනුමෙන් උගත්කමෙන් හැදියාවෙන් පෞරුෂත්වය කියන මේ හැමදෙයකින්ම අපි අපේ ජීවිතයට වටිනාකමක් එක් කර නොගතහොත් සුන්දරත්වය පුහු දෙයක් වෙන්නත් පුළුවනි.

සුන්දරත්වය නිසාම කෙනෙක් ඔබව තෝරා ගන්නවාට ඔබ කැමති ද?

කිසිසේත්ම නැහැ. සුන්දරත්වය කියන දේ අද තිබුණා හෙට නැති වී යා හැකියි. නමුත් හදවතින්ම බැදුණු කෙනෙකුට රූපය කියන්නේ එක් අංශුමාත්‍රයක දෙයක්.

උපතින් ලැබුණු සුන්දරත්වය ආරක්ෂා කර ගන්න ඔබ මොනව ද කරන්නේ.

වතුර ගොඩාක් බොනවා. වතුර තරම් අපේ හම ලස්සන කරන්න මේ ලෝකයේ දෙයක් නැති තරම්. ඊට අමතරව හැමදාම වගේ ආමන්ඩ් ඇටයි ඔලිව් ගෙඩියි කනවා. පුංචි කාලේ ඉඳලාම උෂ්ණ කෑම අම්මා අපිට කන්න දුන්නේ නැහැ. අදටත් එහෙමයි. තක්කාලි ගෙඩියක්වත් ව්‍යාංජනයකට වත් දාන්නෑ. පුළුවන් හැම වෙලාවෙම පළා වර්ග එළවළු සලාද කොළ කැඳ වර්ග කුරක්කන් කැඳ කුරක්කන් රොටි වගේ දේවල් ආහාරයට එක් කර ගන්නවා. කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා නම් සුන්දරත්වය ආරක්ෂා කර ගන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

ව්‍යායාමත් කරනවාද?

නිතරම නැති වුණත් නිවසේ ඉන්න දවසට යු ටියුබ් එකෙන් බලන් ශරීරයේ හැඩය ලස්සනට තියා ගන්න අවශ්‍ය ව්‍යායාම ටිකක් කරනවා.

සොඳුරු බව ආරක්ෂා කර ගන්න නිවසේ දී මොනවද කරන්නේ?

කුනු දූවිලි දහඩිය නොරැඳෙන්න නිතරම මුහුණ ඇඟ පිරිසිදු තියා ගන්නවා. ඊට අමතරව කොහොඹ කොළ කොටලා ඉස්ම ගාලා ටික වේලාවකින් සෝදනවා. හමේ පුංචි හරි පැල්ලමක් තියෙනවා නම් කඩල පිටි පැක් එකක් විදිහට හදලා ගානවා. කුරුලෑ වගේ තත්ත්ව වලදී කැරට් යුෂවලට ලෙමන් යුෂ ටිකක් දාලා මුහුණේ ආලේප කරලා විනාඩි 20 වගේ සෝදා හරිනවා. තක්කාලි ඉස්මට සුදු හඳුන් කුඩුයි දෙහි බිංදු කිහිපයකුයි කළවම් කරලා පැල්ලම් තියන තැන් වල විතරක් ගන්නත් පුරුදු වෙලා ඉන්නවා.
අව්වට හම පිළිස්සුන විට හෝ සම මැරී ඇති අවස්ථාවල දී දෙහි ඉස්මයි, රෝස වතුරයි කලවම් කරලා ගානවා. මේ වගේ පුංචි පුංචි සත්කාර ගෙදරම කර ගන්නවා. මගේ අයිබ්‍රෝස් පවා හදා ගන්නේ මම නිසා මම සැලෝන් එකකට යන්නේ පාටියකට යනකොට මේකප් එකක් දා ගන්න හරි කොණ්ඩ සකස් කර ගන්න විතරයි.

කොණ්ඩය ආරක්ෂා කර ගන්න මොනවාද කරන්නේ?

පුළුවන් වෙලාවට ඔලිව් තෙල් වලට විටමින් E කරලක් දාලා ඩබල් බොයිල් කරලා හිසේ ගල්වනවා. එම සත්කාරය කොණ්ඩයට ඉතාම හිතකරයි.

බොහෝ කාන්තාවන් තවත් ලස්සන වෙන්න කරන දේවල් කියන්න කැමැති නෑ නේද?

ඔව්. ලස්සන අය සියයකගෙන් ඇහැව්වොත් ඔය ප්‍රශ්නේ ඒකෙන් සියයට 98 ක්ම කියන්නේ මොකුත් කරන්නේ නෑ කියලා. එහෙම කියලා රටේම නැති දේවල් කරනවා. ලස්සන වෙන්නම. ඒත් මට අවංකවම කියන්න පුළුවන් මම එහෙම කෙනෙක් නොවේ. මම හරි ආසයි මගෙන් ඒ ප්‍රශ්නය අහනවට. මම හරිම ආසයි මගේ වටේ ඉන්න අය ලස්සනට ඉන්නවට. අපි හැමෝම ලස්සනට පිළිවෙළට පිරිසුදුවට ඉන්නවා කියන්නේ ඒක මොනතරම් සුන්දර දෙයක්ද මම හිතන්නේ ලස්සනට ඉන්න හැටි වෙනත් කෙනෙකුට ලෝභ නැතුව දුන්නොත් අපි තවත් ලස්සන වෙනවා කියලා.

කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් කියලා ඔබ විශ්වාස කරනවා ද?

ඔව්. කාන්තාවකට ලස්සන නිසා වටිනාකමක් එකතු වෙනවා. ඒත් එක්කම මම තව දෙයක් හිතනවා. පෙනුම වගේම වෛරය ඊර්ෂ්‍යාව නැති කරන් හදවතින්ම ලස්සනට ඉන්න පුළුවන්නම් කාන්තාව තවත් ලස්සනයි කියලා.

විලාසිතා කිරීමේ දී සැලකිලිමත් ද? 

ඔව්. අපි කරන විලාසිතා අනුව තමයි බොහෝ දෙනෙක් අපිව මනින්නේ. ඒ නිසා මම හිතනවා මොනතරම් ලස්සන ඇඳුමක් වුණත් ඒක තමන්ගේ ඇඟට හැඩයට ගැලපෙන්නේ නැතිනම් අඳින්න එපා කියලයි. ගොඩක් මහත කෙනකුට ඇඟට ඇලුණු ඇදෙන රෙද්දකින් ඇඳුමක් ඇන්දාම පෙනෙන්නේ අවලස්සනට නේද? ඒ නිසා කුමන තැනකට යන්න විලාසිතා කළත් ඒ ගැන ඉතාම සැලකිලිමත් විය යුතුයි. සරල බව චාම් බවටත් මම ගොඩක් ආසයි.

ඔබ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?

බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර ඩයනා කුමාරියට රෝසි සේනානායකට ​ඓශ්චර්යා රායිට මම ගොඩක් ආසයි. ඔවුන් සියලු දෙනාගේම අමුතුම ලස්සනක් සුන්දරත්වයක් මම දකිනවා.

සුන්දරත්වය නිසාම කෙනෙකුට යම් වෘත්තියක රැඳිය හැකිද?

බැහැ. මම හිතන්නේ එහෙම වුණොත් පැවැත්මක් නෑ. රඟපෑම වුණත් හැමෝටම කරන්න බෑ. එයට හැකියාව දක්ෂතාව තිබිය යුතුමයි. ඒ අතර කැපවීම හැදෑරීම කියන දේත් තිබිය යුතුයි. එසේ නොමැතිව සුන්දරත්වය තිබු පමණින්ම කිසිම රැකියාවක් කරන්න බැරි බවයි මගෙ නම් අදහස.

අද සෑම කාන්තාවක්ම වාගේ ලස්සනට ඉන්න උත්සාහ කරනවා. එම ප්‍රවනතාව ඔබ දකින්නේ කෙසේද?

එය ඉතාම හොඳ තත්ත්වයක්. අපි හැමෝම ආසයිනේ අපි වටා ඉන්න අය ලස්සනට සුන්දරව ඉන්නවාට. මම හිතනවා එම පෙරළිය මුළු ලෝකයටම ඉතාම සුබවාදිය කියලා.

අසුන්තා එදිරිසූරිය

20210301Thilina-2