සුපර් සික්ස් රඟපාන්න හේමාල් රස්සාව අතෑරියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210301Udara (2)

“ජීවිතේ උපන්දා ඉඳලාම අභියෝගයක්. ඒ නිසා අභියෝග බාරගන්න අපි බය වෙන්න ඕනෑ නැහැ. සිනමාවට අලුත් මුහුණු වගේම, අධ්‍යක්ෂවරු පවා වැඩිම ප්‍රමාණයක් බිහිකළ කෙනා මමයි.” මේ විදියට අපට පවසන්නේ මේ දිනවල තිරගත කෙරෙන ‘ආලේ කොරෝනා’ චිත්‍රපටයේ නිෂ්පාදක උදාර පල්ලියගුරුගෙ ්ය. උදාර බොහෝ දෙනා හඳුනා ගත්තේ 2010 දී තිරගත වූ ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ලෙසයි. ඉන්පසුව නිෂ්පාදනයෙන් දායක වන අතරේ, සිනමාවට අලුතින්ම තරු බිහි කිරීමට පුරෝගාමී වූ චරිතයක් වූ බව කියන්න පුළුවනි.
සුපර් සික්ස්, සාම කුමරු කතාව, පැණි මකුළුවෝ, සූස්ති, රුහිරේ (තිරගතවීමට නියමිත) සහ මේ දිනවල තිරගත වන ආලේ කොරෝනා යන නිර්මාණ උදාරගේ දායකත්වයෙන් නිර්මාණය වූ ඒවාය. බයක් සැකක් නැතුව අලුතින් ‘තරු’ සිනමාවට හඳුන්වා දුන් විදිය සහ එම චිත්‍රපට කරද්දී මතකයේ රැඳි රස මතක ගැන උදාර පල්ලියගුරු ‘සඳැල්ල’ට කීවේ මෙලෙසිනි.

හේමාල් එතකොට පුද්ගලික සමාගමක සේවය කරමින් හිටියෙ. එයා ඒ ජොබ් එක අත්හැරලා තමයි ‘සුපර් සික්ස්’ රඟපාන්න ආවේ.

මගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ ‘සුපර් සික්ස්’ තිරගත වුණේ 2010 දීයි. හේමාල් රණසිංහ නමැති අද සිනමාවේ සිහින කුමාරයා වී සිටින රංග ශිල්පියා මුලින්ම සිනමාවට හඳුන්වා දුන්නේ මගේ ‘සුපර් සික්ස්’ චිත්‍රපටයෙන්. එයා ඒ වනවිට නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කරන අතරේ පුද්ගලික සමාගමක සේවය කරමින් හිටියෙ.
‘මල්ලි උඹට පුළුවන්ද රිස්ක් එකක් ගන්න?’ කියලා මම හේමාල්ගෙන් ඇහුවා.
‘ඇයි අයියේ මොකක්ද?’ හේමාල් එහෙම ඇහුවාම, ‘උඹ ඔය කරන ජොබ් එකෙන් අයින්වෙලා ඇවිත් රඟපාන්න පුළුවන්ද?’ කියලා මම ඇහුවා. චිත්‍රපටය සහ එයාගේ රංගනය නැගලා ගියොත් හොඳයි. නැත්නම්, එයාගෙ ජොබ් එකත් ඉවරයි, රඟපෑමත් ඉවරයි. ඒත් හේමාල්ට එහෙම වුණේ නැහැ. මිනිහා ඒ අභියෝගය බාරගත්ත නිසා තමයි අද වනවිට එයාට සිනමාවේ සිහින කුමරා වෙන්න පුළුවන් වුණේ. ඊට කලින් රඟපාලා තිබුණෙ නැතත්, සුපර් සික්ස් රඟපෑවේ පළපුරුදු කෙනෙක් විදියටයි.
ආත්මාරක්ෂක සටන් ක්‍රම පොලිෂ් කරගන්න මම එයාට තවත් අභියෝගයක් දුන්නා.
ඒ විදියට රඟපෑමට ආව ‘හේමාල්’ට ආත්මාරක්ෂක සටන් ක්‍රම පුළුවන්. හැබැයි චිත්‍රපටයට අවශ්‍ය විදියට නැවත හදාරන්න තිබුණා. ඒ කියන්නෙ තවත් ටිකක් පොලිෂ් කරගන්න ඕනෑ වුණා. මම එයාට ඒ වෙනුවෙන් දුන්නෙ මාසයයි. එයා පුදුම විදියට වැඬේ හොඳට කළා. කොටින්ම කිව්වොත් එහි සටන් අධ්‍යක්ෂවරයා වූ සල්මන් ඛාන්ගෙ සහායක සටන් අධ්‍යක්ෂවරයකු වන ශිල්පියා පවා හේමාල් ගැන පුදුම වුණා.
දවසක් රාත්‍රියේ රූගත කිරීම් කරන අතරවාරයේදී මෝටර් සයිකලයේ යද්දී හේමාල් අනතුරකට පත් වුණා. ඒත් ෂූටිං පුහුණුව කල් නොදමා වේදනාව පැත්තක දාලා හේමාල් ෂූටිං කළා. මිනිහගෙ හිත හයියයි.

අරුණි රාජපක්ෂ කකුල් රිදෙනවා කියලා රණ්ඩු වෙලා.

අරුණි රාජපක්ෂ සිනමාවට ආවෙත් ‘සුපර් සික්ස’් චිත්‍රපටයෙන්. එහි නර්තන අධ්‍යක්ෂණය කළේ ‘ගයියා’ (ගයාන් ශ්‍රීමාල්). රූගත කිරීම්වලට මාස තුනකට පෙර ‘ගයියා’ යටතේ ‘අරුණි’ ඇතුළු පිරිස නර්තන පුහුණුවට ගිහින් හිටියෙ. ගයියා තමාට අවශ්‍ය දේ උපරිමයෙන් ගන්න ඕනෑ නිසා නළු නිළියන්ට පුදුම විදියට වද දීලා. දක්ෂතා ගන්න නම් එහෙම කරන්නම වෙනවා. නැත්නම් හරි දෙයක් ගන්න බැහැ. හැබැයි ගයියා අරුණිව කොච්චර මහන්සියට පත් කරලාද කිව්වොත්, අත්තිමට මගේ කකුල් රිදෙනවා, මට බැහැ කියලා රණ්ඩු කරගෙන යන්න හදලා. තව පොඞ්ඩෙන් සුපර් සික්ස් එකට අරුණිව නැතුව යනවා. ඒත් යාන්තම් ෂේප් කරගෙන වැඬේ ඉවර කළා.

රත් වූ කළුගල් උඩ ගිය හිමායා බණ්ඩාර

සාම කුමරු චිත්‍රපටය අපි කළේ 2018 දී. අංජු හිමායා බණ්ඩා සහ නාලක දළුවත්තගේ ප්‍රථම චිත්‍රපට රංගනය මේ චිත්‍රපටයයි. එහි රූගත කිරීම් බොහොමයක් කළේ දිගන, හෝර්ටන් තැන්න, පිටවලපතන වගේ ප්‍රදේශවල. එදා රත්වූ කළු ගල් උඩ යමින්, ළඳු කැලෑ අතර කටු පයේ ගැටෙමින්, හිමායාට රඟපාන්න සිදුවුණා. කොච්චර නම් දුෂ්කර වුණාද කිව්වොත්, ෂූටිං ඉවරවෙනකොට ඇයට ‘උණ’ වගෙයි කිව්වා. වන සතුන්ට බයේ ගැහි ගැහී තමයි එයා එදා රඟපෑවෙ. ළමා නළු ‘ආකාශ්’ව හඳුන්වලා දුන්නෙත් ඒ චිත්‍රපටයෙන්. නළුවෝ නිළියෝ වගේම නිශාන්ත සෙනෙවිරත්න අධ්‍යක්ෂවරයා හඳුන්වලා දුන්නෙත් ඒ චිත්‍රපටයෙන්.

පැණි මකුළුවන්ට තවත් අලුත් දෙන්නෙක්

අයිෂ් හෙවත් අයිෂරා අතුකෝරල ඒ වනවිට නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරමින් හිටියෙ. එයා එංගලන්තයේ සිට වැඩිදුර අධ්‍යාපනය හදාරලා ඇවිත් නිරූපනය කළාට, රඟපෑවෙ නැහැ. ඒත් ‘පැණි මකුළුවෝ’ එක්ක එයා ඒ අභියෝගය බාර ගත්තා. දිනෙත් ද සිල්වා රඟපෑ චිත්‍රපට අතරින් පළමුව තිරගත වුණේ ‘පැණි මකුළුවෝ’.

සූස්ති කරද්දී සමනලී අලියාගෙන් බේරුණේ අනූනමයෙන්

‘සූස්ති’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා කොළඹ සිට හලාවත, පුත්තලම, මන්නාරම, අනුරාධපුර සහ රිවර්ස්ටන් යන පළාත් යොදාගෙන තිබුණා. එක් දර්ශනයක් වෙනුවෙන් මමයි, සමනලියි, කළණ ගුණසේකරයි පුත්තලමේ සිට මන්නාරමට යමින් හිටියෙ. අපට යන්න තිබුණෙ විල්පත්තු කැලය මැද්දෙ පාරකින්. ඒ පාරේ ලොකු වළවල්. ඒ නිසා පැයට කිලෝමීටර දෙකක වේගයකින්වත් යන්න බැහැ. යන අතරේදි ‘කළණ’ යාන්තමට නින්දට වැටුණා. වාහනය පැදෙව්වෙ මම. සමනලි ඉස්සරහා එහා පැත්තෙ හිටියෙ. එක පාරටම සමනලි මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හැරිලා බලද්දි අලියෙක් හොඬවැල එයා දෙසට දමා ඇදලා ගන්න හදනවා. සමනලීගෙ කෑ ගැහිල්ලට බය වුණු මම පාරේ වළවල් අමතක කරලා වේගයෙන් වාහනය පදවන්න පටන් ගත්තා. ‘මීට වඩා හොඳයි අලියා ගහලා මළා නම්’ කියලා ඒ පාර කළණ කිව්වෙ, අපහසුතාවය වැඩිකමටයි. කොහොම වුණත් එදා අපි අලියාගෙන් බේරුණේ අනූනමයෙන්. හිතන්නකො රෑ 10ට මේ වගේ සිද්ධියකට මුහුණ දුන්නාම ඇතිවන බය කොච්චරද කියලා.

මන්නාරම් වෙරළේ වැලි පොළොංගු

කොහොමින් කොහොම හරි අලියාගෙන් බේරිලා මන්නාරම් වෙරළට ගිහින් ෂූටිං පටන් ගත්තාම එතැන හිටපු මිනිස්සු නිසා අපි වැලි පොළොංඟුන්ගෙන් බේරුණේ වාසනාවකට වගෙයි.
‘මහත්තයලා රෑට මේ වැල්ලෙ වැලි පොළොංඟු ඉන්නවා පරිස්සමින්.’ අපි කොච්චර බය වුණාද කිව්වොත් හැමෝම අතේ තියෙන ෆෝන් එකෙන් ‘ටෝච්’ එක දල්වාගෙන තමයි හිටියෙ.

මේ දිනවල ආලේ කොරෝනා

මේ දිනවල තිරගත කෙරෙන සංජය නිර්මාල්ගෙ ‘ආලේ කොරෝනා’ චිත්‍රපටයට සුපුරුදු විදියටම මම අලුත් චරිතයක් හඳුන්වලා දුන්නා. ටෙලි තිරයට එයා අලුත් නැතත්, චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන්නෙ ඩිස්නි රාජපක්ෂ ප්‍රථම වතාවටයි.

රුහිරේ කරද්දී තනි කකුලෙන් හිටපු පබෝදා

ප්‍රථම වරට පබෝදා සහ රොෂාන් රණවන පෙම්වතුන් වූ චිත්‍රපටය ‘රුහිරේ’ ඉදිරියේ තිරගතවීමට නියමිතයි. මෙහි රූගත කිරීම් කළේ පිටවලපතන, රිවර්ස්ටන්, සේරඇල්ල, නුවරඑළිය වගේ පළාත්වලදි. රාත්‍රී දර්ශන රූගත කරද්දි ‘පබෝදා’ තනි කකුලෙන් හිටියෙ. ඒකට හේතුව ඒ පළාතේ එච්චරටම කූඩැල්ලන් ඉන්න නිසයි. කකුල් දෙක බිම තබාගෙන ටික වෙලාවක් හිටියොත් කූඩැල්ලන් සීයක් විතර එල්ලෙනවා. මේ නිසා දර්ශනයට රෙඩි වෙලා ‘ඇක්ෂන’් කියනකල් පබෝදා වගේම රොෂානුත් තනි කකුලෙන් හිටියෙ.
‘රුහිරේ’ රාත්‍රී දර්ශන එච්චර අසීරු වුණා. පහුවදා දර්ශන රූගත කිරීම් පටන් ගත්තෙ උදේ 6ට විතර. ගීතයක ජවනිකාවක් නිසා පබෝදා අඩි උස පාවහන් පැළඳ හිටියෙ. එයාට බැලන්ස් නැති වෙලා පහළ හෙලකට වැටෙන්න ගිහින් එයාගේ ජීවිතය බේරා ගත්තෙ රොෂාන්.

චිත්‍රපට 6න් පහකම ෂූටිං වෙනුවෙන් එකම ප්‍රදේශ තෝරා ගැනීමේ රහස

මගේ චිත්‍රපට 6න් පහක්ම නිෂ්පාදනය කළේ මම. ‘සුපර් සික්ස්’ විතරයි අධ්‍යක්ෂණය කළේ. මේ චිත්‍රපට 6න් 5ක රූගත කිරීම් වෙනුවෙන් පිටවලපතන, රිවර්ස්ටන්, නුවරඑළිය තෝරා ගත්තෙ වෙන හේතුවක් නිසා නෙවෙයි. එච්චරටම ඒ පළාත්වලට මම ආස නිසයි. දැන් මට ඒ පළාත් මගේම ගම වගේ වෙලා. කොච්චර නම් ලස්සන පළාත්ද කිව්වොත් මම ඉඩමක් පවා ගත්තා. ලංකාවේ ලස්සනම පළාත් මොනවද ඇහුවොත් මම කියන්නෙ ඒ පළාත්වල නම්.

සඳුන් ගමගේ

20210301Udara (1) 20210301Udara (2) 20210301Udara (3)