මට දැන් ඕනෑ සුවබර නින්දක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘අනේ පුතේ මාව මතක් වුණාට ගොඩක් ස්තුතියි.. අනේ..මට හරි සතුටුයි. මොකද ගොඩක් කාලෙකින් පත්තරේකට කතා කළේම නැහැ. ඉතින් එන්නකෝ අපේ ගෙදරට ඉක්මණින්ම එන්න... මම බලා ඉන්නවා පුතේ.’’ සහතික ලෙසම ඇය හමුවට එන බව මම පැවසුවෙමි. කලක් පිළිකා රෝගය සමඟ ජීවිතය වෙනුවෙන් සටන් කරමින් සිටි ඇයගෙන් අසනීප තත්ත්වය ගැන එවිට දුරකථනයෙන් විමසන්නට සිත් නොවීය.
එහෙත්...
අප හමුවන්නට පෙරම ඇය නික්ම ගොසින්ය. මා පමණක් නොව සියල්ලන්ගෙන්ම ඇයගේ මියුරු සිනහව, ඇයගේ සෙනෙහෙබර මතකය ඉතිරි කර සමුගන්නා බව නොකියාම ඇය සමුගෙනය.
දුරකථනයෙන් අප හමුවීමට වෙන්කර ගත් දිනය දා උදෑසනම ඇය මා ඇමතීය.
‘‘පුතේ, අද මම මහරගම අපේක්‍ෂා රෝහලට යනවා. ප්‍රතිකාරවලට මම ගෙදර ආවම පස්සෙ දවසක අනිවාර්යයෙන්ම එන්නකෝ...’’ කිවූ ඇය දින කිහිපයකට පසු නැවත මට දුරකථනයෙන් ඇමතීය.
‘‘මම ජීවිතේ ගොඩක් වේදනා වින්දා, ඉන්න අකමැතිම තැන මේ රෝහල පුතේ. මේ බෙහෙත්, සෙලයින් කටු දකිද්දී රෝගයේ වේදනාවට වඩා හිතේ වේදනාව වැඩිවෙනවා. මම ඉන්න ආසම තැන මගේ ගෙදර, මගේ දරුවෝ එක්ක. අනේ ඒත්.. මට තව ටික දවසක් මෙහෙම ඉන්න වෙනවලු. 
එතැන් පටන් ඇය දුරකථනයෙන් බොහෝ දෑ කතා කළාය. එහෙත් ඒ පිළිසඳර ඇයගේ දෑස් පියවෙන්නට පෙර ලිවීමට නොහැකි වීම ගැන මා තුළ ඇත්තේ මහත් වේදනාවකි. සිනමාව, වේදිකාව, පුංචි තිරය තුළ වසර 55කට අධික කාලයක් සිය රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්‍ෂකාගාරය ඒකාලෝක කළ මියුරි සමරසිංහ නම් ඒ විශිෂ්ඨ රංගනවේදිනිය මේ සටහන ලියන මොහොතේ අප අතර නැත. ඇය දිවිසැරියට සමුදෙනවිට 82 වියේ පසුවීය.
රළු පරළු ලෑලි වේදිකාව මත රංගන ජීවිතයට අත්පොත් තබමින්, රළු බොරළු මාවතේ වැටි වැටී නැගිට සිය රංගන කෞෂල්‍යයෙන් වේදිකාව, පුංචි තිරය, සිනමාව විචිත්‍ර කරමින් රංගන පූර්වාදර්ශයක් ලබා දුන් මියුරි සමරසිංහ කලා ලෝකයට ගොඩවන්නේ 1986 වසරේදීය. අලුත් දවසක් වේදිකා නාට්‍යයෙන් වේදිකාවට ගොඩවන ඇය එතැන් පටන් හිතහොඳ අම්මණ්ඩි, රංකද, දේශපාලුවා, බ්‍රාහ්මණයෝ, උමතුසන් වර්ෂාව, නැට්ටුක්කාරයෝ වැනි වේදිකා නාට්‍ය 300කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දුනි. මාඩොල්දූව, සරා, යස ඉසුරු, විරාගය යහළු යෙහෙළි, යුගාන්තය, විරාගය, පත්තිනි, ඝරසරප, භවදුක, අන්තිම රැය, සාගර ජලය, සත්‍යදේවි යන චිත්‍රපට ඇයගේ රංගන දිවියේ විශිෂ්ඨ කුසලතාවයන් ඉස්මතු කළ මං සලකුණුය. එතැනින් පසු ඇයට රූප පෙට්ටිය ද ආක්‍රමණය කරන්නට ගත වූයේ ඉතා කෙටි කලකි. බන්දු විතානගේ ‘එරබදු මල්’’ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට ප්‍රවිශ්ට වූ ඇය දූදරුවෝ, නෑදෑයෝ, ගිරය, යර්ස් බොස්, සුදෝ සුදු, අසල්වැසියෝ, ගමන, චාරුලතා වැනි රූපවාහිනි ටෙලි නාට්‍ය 500කට අධික සංඛ්‍යාවකට දායක වූ අතර වැඩිම ටෙලි නාට්‍ය ගණනක රඟපෑ නිළිය ලෙසට ද ඇයට සම්මානයක් හිමිවීම කලා දිවියේ අද ලත් තවත් භාග්‍යයකි. එමෙන්ම ‘‘කෙම්මුර’’ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් 2002 වසරේ හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මාන ලැබූ ඇය තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලැබීය. නාටය නිෂ්පාදිකාවක් ලෙස ද, චරිතාංග නිලියක් ලෙස ද ඇය කලාව වෙනුවෙන් කළ මෙහෙය විශිෂ්ඨය. වසර 55ක කලා දිවිය තුළ මෙන්ම පෞද්ගලික ජීවිතය තුළ ද නිහතමානීව ගැහැණියක, මවක ලෙස ජීවිතය ජයගත් ඇය මෙරට​ කලාව පෝෂණය කිරීමෙහිලා ඇයගේ ශක්තිය උපරිමයෙන්ම කැප කළාය.
නොසිතූ ලෙස පිළිකා රෝගයට ගොදුරු වෙමින් ඉතාමත් වේදනාවෙන් පීඩා විඳිමින් මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මෙලොව හැර යන්නට සති දෙකකට ඉහත දී අවසන් වරට දුරකථනයෙන් අප සමඟ සිය ජීවිතය පිළිබඳ කතා කලේ මෙසේය, මේ 

ඇය අවසන් වරට කළ පිළිසඳරයි. ඉතින් දැන් කොහොමද අසනීප තත්ත්වය ?

අනේ බලන්නකෝ රැජිණක් වගේ හිටපු මට වෙච්ච දෙයක්. දැන් බෙහෙත්වල පිහිටෙන් ජීවිතේ ගැටගහගෙන ඉන්නවා. ලොකු සුවයක් නැහැ. මේ අපේක්ෂා රෝහල මට නිතරම පේන්නේ වදකාගාරයක් වගේ. වෙලාවකට මට හිතෙනවා ප්‍රතිකාර නොකර ඕන දෙයක් වෙන්න කියලා ගෙදරට වෙලා ඉන්න. මගේ හිතේ සතුට තියෙන්නේ ගෙදර.

මුලින්ම අසනීප තත්ත්වය ඇති වුණේ කොයි කාලෙද?

පුංචි පුංචි අසනීපකම් ටිකක් තිබුණා. ඒවා මම එච්චර ගණන් ගත්තේ නැහැ. මම ටෙලි නිර්මාණයකට දායක වෙලා ඉද්දි දවසක් මගේ ඇඟට පොඩි වෙනසක් දැනුණා.
ඇඟට පණ නැති ගතියක් වගේ තමයි මුලින්ම දැනුණේ. ඒකත් මම ඒ තරම් ගණන් ගත්තේ නැහැ. පස්සේ මට කලන්ත ගතියක් ආවා. කලන්ත ගතිය ආපු නිසා මම ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් වෙත යොමු වුණා. එතන දී කළ පරීක්‍ෂණ වලින් තමයි මට ගැබ්ගෙල පිළිකාවක් කියලා දැනගත්තේ. එතැන ඉඳල මහරගම අපේක්‍ෂා රෝහලට යොමු වුණා. ප්‍රතිකාර වලට. මගේ ශරීරය ටිකෙන් ටික අප්‍රාණික වුණා. මම හරියට වේදනා වින්දා. සමහර දවසට පොළවේ පය ගහලා ඉන්නම බෑ. ඒ තරමට වේදනාවයි. ඊට පස්සේ ප්‍රතිකාර කරන අතරතුර මම රෝහලෙන් නැවත ගෙදර ගියා. ඒ වෙන කොට මට පොඩි සුවයක් තිබුණා. ගෙදර ගියාට පස්සේ මට ටෙලි නාට්‍යයක වැඩ කරන්නත් ගියා. අන්තිමටම පසුගිය දෙසැම්බර් 22 වසන්ති චතුරානි එක්ක ටෙලි නාට්‍යයක ෂූටින් ගියා. ඒ තමයි මම අන්තිමට ෂූටින් ගිය දවස. ඊට පස්සේ 24, 25 දවස් වෙනකොට කතා කරන්න බැරි අපහසුතා, හිසේ වේදනා, උදරයේ වේදනා තදින්ම ආවා. 26 වෙනිදා ගොඩක්ම අමාරු වුණා. 26 ඉඳලා මාසෙකට වැඩි කාලයක් මහරගම අපේක්‍ෂා රෝහලේ මම මේ ප්‍රතිකාර ලබනවා. මගේ ශරීරයට විෂබීජයක් ඇතුල්වෙලා කියලා තමයි දැන් ප්‍රතිකාර කරන්නේ. සමහර වෙලාවට මගේ හිස ඇතුළෙන් පුපුරලා යන තරමට මහා වේදනාවක් එනවා. ඒ වේදනාව එන වෙලාවට මට මැරෙන්න හිතුණ වාර අනන්තයි. මේවා පෙර කරපු අකුසල් වෙන්න ඇති කියලා මට වෙලාවකට හිතෙනවා.
මම අපේක්‍ෂා රෝහලේ ඉඳලා කලින් ගෙදර ගිය වෙලාවේ ජීවිතේ ගැන මට බලාපොරොත්තුවක් ඇති වුණා. අනේ මට ආයෙම වැඩ කරන්න පුළුවන් කියලා. ආයෙම රඟපාන්න යන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ. ඒත් වරින් වර එන මේ වේදනාවට එක්ක දැන් මගේ එකම ප්‍රාර්ථනය මරණය පමණයි.

කලා ජීවිතේ පිළිබඳව වසර 55ක් ආපසු සැරිලා බැලුවොත් ඔබතුමියට සතුටු වෙන්න පුළුවන් ද?

මගේ කලා ජීවිතේ ගැනවත්, පෞද්ගලික ජීවිතේ ගැනවත් දුක් වෙන්න මට කිසිම කාරණයක් නැහැ. මම මැරුණත් මිනිසුන්ට මාව මතකයෙන් අයින් නොවන තරමට මම කලා නිර්මාණ කරලා තියෙනවා. කලාව කියන එක මම උපතින්ම ගෙනාපු දෙයක්. චූටි කාලේ ඉඳලා ඉගෙන ගන්නවට වඩා මගේ ලෝකේ තිබුණේ නැටුම්, ගැයුම් වගේ බාහිර දේවල්. ගුවන් විදුලියේ ‘‘මාසික රැඟුම’’ සංගීත ප්‍රසංගයේ රැඟුම් දක්වලා තමයි​ වේදිකාව එන්න මට අවස්ථාව ලැබුණේ. හැබැයි රඟපාන්න ආසාවක් තිබුණේ නැහැ. මට ඕන වුණේ නර්ථන ගුරුවරියක් වෙන්න. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ගුරු අභ්‍යාස විද්‍යාලයට මම ඇතුළත් වුණා. ඒ වුණාට කලා හැකියාවන් යටපත් කරගන්නේ නැහැ. ඉස්සර පිංකම්වල බණ මඩුවේ මම විරිඳුත් කියලා තියෙනවා. ඒ කාලේ රේඛාව චිත්‍රපටයේ හිටියා, ළමා නිලියක් මර්ටල් ප්‍රනාන්දු කියලා. මගේ හොඳම යෙහෙළිය ඇය. ඇය රේඛාව චිත්‍රපටයෙයි, පුදුම ලේලි චිත්‍රපටයෙයි රඟපෑවා. මාත් ගියා අපේ අම්මා එක්ක ඒ චිත්‍රපට දෙක බලන්න. එදා මටත් රඟපාන්න ආසාවක් ඇති වුණා. වෙන මොකටවත් නෙමෙයි මර්ටල්ගේ රඟපෑම දැකලා. අනේ එයා ඉස්කෝලේ කාලේම පිළිකා රෝගයක් හැඳිලා නැතිවුණා. මම එදා හරියට ඇඬුවා. කොහොම හරි ගුවන් විදුලියේ මාසික රැඟුම ප්‍රසංගයෙන් පස්සෙ මටත් රඟපාන්න ලැබුණා. ඇත්තටම මම වෘත්තිය මට්ටමේ නිළියක් වුණේ මගේ ආදරණීය සැමියා නිසා. ඒත් ඔහුගේ හදිසි වියෝව මගේ ජීවිතේ නොහිතපු විදිහට කඩා වැට්ටුවා. සැමියා නැති වෙනකොට මම අවුරුදු 33යි. දරුවෝ හතර දෙනාම පාසල් යනවා. තාත්තත් නැතුව මගේ දරුවන්ට උගන්වන්න මම ගොඩක් දුක් වින්දා. අදටත් මම වේදිකාවට ගොඩ වෙනකොට මම මගේ ආදරණීය සැමියා පියල් සමරසිංහට නිවන් ප්‍රාර්ථනා කරලා තමයි වේදිකාවට ගොඩ වෙන්නේ.
අලුත් දවසක් වේදිකා නාට්‍යයෙන් ඇරඹුණු මගේ කලාව ජීවිතේ එදා ඉඳන් අද වෙනකම් කරපු හැම චරිතයක්ම මම කැපවීමෙන් කළා. ඒවා ඇගයීමට  පත්වුණා. හීනයක් තිබුණා. නාට්‍ය අධ්‍යාපනය සහ නිෂ්පාදනය කරන්න. ඒ හීනයත් මම සැබෑ කරගන්තා. ජීවිතේ ගැන මට කිසිම දුකක් නැහැ. අද මගේ දරුවෝ මාව තියලා, තියෙන්නේ, බලාගන්නේ රැජිනක් වගේ. මගේ දරුවෝ සතර දෙනාම අද හොඳ තැන්වල ඉන්නවා. ඒ සතුටම ඇති මට නිදහසේ ඇස් පියාගන්න. 
ඇයට සමුදෙන්නට මත්තෙන් මම ද නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළෙමි.
‘‘අනේ රත්තරනේ මට දීර්ඝායුෂ නම් ප්‍රාර්ථනා කරන්න එපා. මේ මම විඳින වේඳනාව සතුරෙකුටවත් සිද්ධ වෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. මට දැන් ඕනෑ සුවබර නින්දක්...

නදීශා අතුකෝරළ
ඡායාරූප: දයාන් විතාරණ

20210302Miyuri-1