'හත් ඉලව්ව' ගීතයට පාදක වුණේ ගැමියෙකුට වුණු සත්‍ය සිදුවීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210406dmd-1

ගායකයෙක්, පද රචකයෙක් සේම වෘත්තීයෙන් අංග රචනා ශිල්පියෙක් ලෙස කටයුතු කරන ඩී.එම්.ඩී දිසානායක ඔහුගේ නවතම ගීතය වන 'හත් ඉලව්ව' ගීතය පසුගිය දා නිකුත් කළා. ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වුණු ගැමියෙකුට සිදුවුණු සත්‍ය සිදුවීමක් ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී තිබෙනවා. මේ කතාබහ හත් ඉලව්ව ගීතයේ රචක සහ ගායක ඩී.එම්.ඩී දිසානායක සමගයි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ඩී.එම්.ඩී දිසානායක. මම වසර පහළොවක ඉඳලා අංගරචනා ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම මම සංගීත ක්ෂේත්‍රයෙත් විවිධ පැති නියෝජනය කරනවා.

සංගීත ගමන ආරම්භ වන්නේ කොහොමද?

පාසැල් කාලේ ඉඳලා සාරංගා කියලා මගේ සංගීත කණ්ඩායමක් තිබුණා. මම ඒ කාලේදි බේස් ගිටාර් ප්ලේ කළේ. කණ්ඩායමේ නිත්‍ය ගායකයා විදිහට කටයුතු කළා. පාසැලෙන් අස් වුණාට පස්සේ කණ්ඩායමේ කට්ටිය විසිරුණා. ආයේ සංගීත කණ්ඩායමක් පටන්ගත්තේ නැහැ. මට සංගීත කණ්ඩායම් කිහිපයකිනුත් ආරාධනා ලැබුණා. නමුත් මම අංගරචනා ශිල්පියෙක් විදිහට වැඩ කරද්දි නැවත සංගීත කණ්ඩායමක් සමග වැඩ කරන්න බැහැ.

ඔබ මේ වනවිට වෘත්තීමය අංගරචනා ශිල්පියෙක්?

ඔව්. 2009දි වගේම මම රූපවාහිනි ආයතනයක අංගරචනා ශිල්පියෙක් විදිහට සේවයට පැමිණියා. නිමල් සුබසිංහ මහතා තමයි මාව ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ.

ඔබේ නිර්මාණ ගැන කිව්වොත්?

මේ වනවිට මගේ ගීත නිර්මාණ රැසක් තිබෙනවා. ඒ අතුරින් වඩාත් ජනප්‍රිය වුණා  2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට නිර්මාණය කළ 'සිංහ පැටවුනේ' ගීතය. තීක්ෂණ අනුරාධ, ගයාන් අරෝෂ, වරදත්ත අරවින්ද ඇතුළු ගායකයින් දහදෙනෙක් ගායනයෙන් සම්බන්ධ වුණා. ඒ ගීතයේ පදරචනය මගේ. ඒ වගේම මියුසික් වීඩියෝව කළෙත් මමයි. මම කළා දෙවුලියේ කියලා ගීතයක්. ඒ ගීතය සංගීතවත් කළේ කෙන් ලැපන්. දැනට ලංකාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහනකින් එළියට එන ගායන තරු රැසකට මම ගීත නිර්මාණය කරලා දීලා තියෙනවා. ඊට අමතරව මම නිර්මාණය කළ අළුත්ම ගීතය තමයි 'හත් ඉලව්ව' කියන්නේ.

'හත් ඉලව්ව' ගීතය ගැන කියමුද?

'හත් ඉලව්ව' ගීතය නිර්මාණය වන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරින්. අපි වැඩවලට ගමින් ගමට යනවනේ. එහෙම ගියාම එක ගමක හිටපු මනුස්සයෙක් ඒ ගමේ කෙනෙක්ට වෙච්ච දෙයක් තමයි 'හත් ඉලව්ව' ගීතයට පාදක වුණේ. ගීතයේ පද රචනය, තනුව සහ ගායනය මගෙයි. Mixing & Mastering කළේ කුෂාන් ජයලත්.  

වැඩියෙන්ම කැමති ගායකයාටද, පද රචකයාටද?

කොහොමත් මම තනියම සංගීත ගමනක් යන්නත් බලාපොරොත්තුවෙන් හිටියේ. ගායකයෙක් විදිහට වඩා මම පද රචකයෙක් විදිහට ක්ෂේත්‍රයේ විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා.

කැළුම් දේවින්ද

20210406dmd-2 20210406dmd-3