ඇඟේ හැඩයට සමේ පැහැයට ලෝකෙ ඔක්කොම වශී වෙනවා


මෝස්තර නිරූපිකාවක් ලෙස ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන යෑමට මහඟු දායකත්වයක් ලබා දුන් ඇය Miss Srilanka for Miss universe (1995) ලෙසත් Mrs Sirlanka (1999) ලෙසත් හිස කිරුළු පැලඳූ සුන්දර යුවතියකි. 1999- 2000 වසරවලදී රටවල් 48ක් නියෝජනය කළ Mrs World තරගාවලියේ හතර වන ස්ථානය හිමිකර ගැනීමට තරම් වාසනාව ලැබූ ඇය, ශිවානී වාසගම් වේදනායකයි. සුන්දර ඇය සමඟ කළ කතා බහක් ඇසුරෙන් අද ලස්සන රහස් පිටුව සැකසේ.

• ලස්සන කෙනෙක් විදිහට මේ ලෝකයට ඉපදීම ගැන මොකද හිතෙන්නේ.

මට හිතෙන්නේ ඒක වාසනාවක්. කෙනෙකුගේ ලස්සනට පරම්පරාවෙන් ලැබෙන ජානත් බලපානවා. මගේ ආච්චි එහෙම හරිම ලස්සන කෙනෙක්.

• සුන්දරත්වය නිසාම රටවල් ගණනාවකට ගිය ඔබට ශ්‍රී ලාංකික කාන්තාවගේ සුන්දරත්වය ගැන මොකද හිතෙන්නේ.

ශ්‍රී ලාංකික අපේ සුන්දරත්වයට ලෝකයේ බොහෝ රටවල ඉහළ පිළිගැනීමක් තියෙනවා. අපේ ශරීරයේ හැඩයට, සමේ පාටට, පිටරටවල අය වශී වෙනවා. නමුත් අවාසනාවකට අපේ රටේ අයට ඒ සුන්දරත්වය නොදැනෙන විදියක් පේන්න තියෙනවා. සුදු ලස්සන කියල හිතන මානසිකත්වයේ බොහෝ අය උපතින් ගෙනාපු සුන්දරත්වයත් නැතිකර ගන්න හැඩක් තමයි පේන්න තියෙන්නේ.

• කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් කියලා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. සෑම කාන්තාවකටම උපතින් ලැබුණු ආවේණික සුන්දරත්වයක් තියෙනවා. ඒ සුන්දරත්වය ආරක්‍ෂා කරගෙන, තමන්ගේ වයසට ගැලපෙන විදිහට පිළිවෙලට, පිරිසිදුව ඉන්න එක හරිම වැදගත්. අපි හැම වෙලාවෙම වෙන කෙනෙක් වෙන්න උත්සාහ නොගෙන, අපිම වෙන්න උත්සාහ කළොත්, මම හිතනවා අනවශ්‍ය විදිහට වෙහෙස නොවී. අපේ සුන්දරත්වය අපිටම ආරක්‍ෂා කර ගන්න පුළුවන් කියලා. 

• ඔබ ඔබේ සුන්දරත්වය රැක ගන්න මොකද කරන්නේ.

හැමදාම නිරෝගීව ඉන්න වගේම ලස්සනට ඉන්න ඕන නිසා පුරුද්දක් විදිහට වතුර ගොඩක් බොනවා. ඊට අමතරව නැවුම් එළවළු, පළතුරු නිතරම ආහාරයට ගන්නවා. මුහුදු ආහාරත් ලස්සන රැක ගැනීම වෙනුවෙන් ගන්න ප්‍රධානම ආහාරයක්.
ඊට අමතරව මම මස් වර්ග, තෙල් යෙදූ ආහාර ගන්නේම නැති තරම්. මම හරිම කැමැත්තෙන් කරන දෙයක් තමයි ව්‍යායාම කරන එක. ව්‍යායාම වලින් අපි හිතන්නේ නැති ප්‍රතිලාභ ගොඩක් ශරීරයට ලැබෙනවා. ඇඟ හැඩට තියා ගන්න වගේම හම ලස්සනට තියා ගන්නත් ව්‍යායාම, කෑම පාලනය, වතුර ගොඩක් බොන එක වැදගත් වෙනවා. තව මම කරන දෙයක් තමයි දිනකට දෙවරක් ග්‍රීන් ටී බොන එක. ෆැට් එක බර්න් වෙලා ඇග ලස්සනට තියා ගන්න එයින් ලොකු පිටුවහලක් වෙනවා.

• ස්වභාවිකම ඔබේ සුන්දරත්වය වැඩිකර ගන්න මොනවාද පාවිච්චි කරන්නේ.

කෝමාරිකා ජෙල් එක ගානවා. ඒ වගේම ඔලිව් තෙල් ශරීරයේ ගැල්වීමටත් පුරුදු වෙලා ඉන්නවා.

• හිසකෙස් සඳහා.

හිසකෙස්වලට මම පාවිච්චි කරන්නේ ආගන් ඔයිල්. ඒක හිස කෙස්වලට හරිම හිතකරයි. ඊට අමතරව මම මාස 6කට සැරයක් කොණ්ඩේ කපලා. පුංචි වෙනසක් කර ගන්න උත්සාහ කරනවා. රූප සුන්දරී තරඟ කිහිපයක් නියෝජනය කළ අයෙකු විදිහට මම දැක්ක දෙයක් තමයි, ලෝකයේ බොහෝ කාන්තාවන් තමන්ගේ ඒකාකාරී බවෙන් මිදෙන්න, සුන්දරත්වයට වෙනසක් ඇති කර ගන්න කරන දෙයක් තමයි. හිසකෙස් විලාසිතාව වෙනස් කරලා මුහුණට නව හැඩයක් දෙන්න උත්සාහ කරන එක.

• කාන්තාවක් තමාගේ සුන්දරත්වය ගැන සිතිය යුතුද?

ඔව් අනිවාර් යයෙන්ම. ඉන්දියාව, වගේම ලෝකයේ බොහෝ ලස්සන කාන්තාවන් ඉන්න රටවල ඔවුන් We are women ‘‘අපි කාන්තාවන්’’ කියලා විශාල ආඩම්බරයකින් ඉන්නවා. ඔවුන්ගේ සුන්දරත්වය ගැන සැබෑවටම ඔවුන් ආඩම්බරයි. ඔවුන් ඔවුන්ගේ සම ලස්සනට තියා ගන්න, ඇගේ හැඩය හැඩට තියා ගන්න වගේම හිසකෙස් ලස්සනට තියා ගන්න තරුණ අවධියේ ඉඳලාම වෙහෙසනව. නමුත් අපේ රටවල බොහෝ සුන්දර තරුණියන් පවා ඔවුන්ගේ සැබෑම සුන්දරත්වය රැක ගන්න උත්සාහ කරන්නේ වයසට යනකොට. 

• කාන්තාවක් හදවතින්ම ලස්සන විය යුතුයි නේද?

ඔව් ඇත්තටම කාන්තාවගේ සැබෑම සුන්දරත්වය මතුවන්නේ ඇය හදවතින්ම සුන්දර වුණොත් පමණයි. මම පෞද්ගලිකව හිතනවා හිතට නිදහසක් දැනෙන විදිහට මොන ප්‍රශ්න තිබුණත් හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ.

• විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද?

තැනට ගැලපෙන විදිහට විලාසිතා කරන්න එදා වගේම අදත් මම හරිම කැමතියි. නිරූපණ ශිල්පිනියක් ලෙසට ලෝකයේ රටවල් ඉදිරියේ අපේ රට නියෝජනය කරද්දී මම පුරුද්දක් විදිහට දේශීය රෙදි වර්ග, බතික් මොස්තර, හෑන්ඩ්ලූම් රෙදි වලින් ඔසරි ඇඳගෙන විලාසිතා ඉදිරිපත් කර තිබෙනවා. සැබෑවටම විලාසිතාවකින් රටක අනන්‍යතාව, සංස්කෘතිය, අපේකම වගේ බොහෝ ගුණ ධර්ම ඉස්මතු කරගත හැකියි කියා මම විශ්වාස කරනවා. උත්සවවලට එහෙම සාරියක් ඇන්දාම ලොකු වටිනාකමක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා.

• කාන්තාවකට සුන්දරත්වය පමණක් වැදගත්ද?

නැහැ. සුන්දරත්වය අගයන තරගාවලියකදී පවා බාහිර පෙනුම පමණක්ම නොවේ සලකා බලන්නේ. සුන්දර කාන්තාවගේ සුන්දරත්වය වැඩි කරන්න තවත් උපකාරී වෙන දෙයක් තමයි ඇය සතු දැනුම, සමාජය ගැන තිබෙන අවබෝධය, කතා කරන විලාසය, හැසිරෙන විලාසය කියන මේ හැම දේකම එකතුවකි. 

• මොනතරම් සුන්දර කාන්තාවකට වුණත් විවාහය, දරුවන් ලැබීම, අවිවේකී බව කියන කරුණු නිසා සුන්දරත්වය ගැන සිතන්න වෙලාවක් නෑ. එවැනි කාන්තාවන් වෙනුවෙන් ඔබට මොනවාද කියන්න තියෙන්නේ.

මොන රාජකාරි තිබුණත්, මොන තරාතිරමක හිටියත් මම හිතනවා කාන්තා අපි අපි ගැන හිතන්න දිනකට පැය බාගයක් අනිවාර් යයෙන්ම වෙන්කර ගත යුතුයි කියලා. එසේ නොවුණහොත් අපි වයසට යන්න යන්න අපේ හිතට මහා දුකක්, කලකිරීමක් දැනෙයි. අපි අප ගැන හිතුවේ නෑ කියලා. ඇත්තටම අපි අප ගැන හිතන්න ඕනේ අසනීප වුණාම නොවේ. නිරෝගීව ඉන්න විටයි අපි අප ගැන හිතන්න ඕනේ. එතකොට අපිට හැමදාම සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්.

අසුන්තා එදිරිසූරිය

20210407Shriwani (1) 20210407Shriwani (2) 20210407Shriwani (3) 20210407Shriwani (4) 20210407Shriwani (5)