රූප රචනාවල දැකපු නයෝමි සිනමාවට



2017-03-16-ent-86

වේදිකාව තුළින් රංගනයට පිවිසි නයෝමි තක්ෂිලා මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් හරහා දකින්නට ලැබේ. ගීත රූප රචනා බොහොමයක් සඳහා දැනට දායක වී ඇති නයෝමි, වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේද ගීත රූප රචනා හරහාය.

ඉදිරියේදී සිනමාවටද එක්වීමේ සූදානමින් සිටින ඇය ‘සාරවිට’ අප සමගින් මෙලෙස අදහස් දැක්වුයෙමු.

 

මේ දිනවල නයෝමිව අපි දකින්නේ?

2017-03-16-ent-88මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ රාත්‍රී 8.30ට විකාශය වෙන ‘නෙතූ’ ටෙලි නාට්‍යයේ හිරු රූපවාහිනි නාළිකාවේ රාත්‍රී 8.00ට විකාශය වෙන ‘ඔක්කොම හොඳටයි’ ටෙලි නාට්‍යය තුළ මා පෙනී සිටිනවා. ඊට අමතරව මා දායක වුණ ගීත රූප රචනා බොහෝ ප්‍රමාණයක්ද වර්තමානයේ විකාශය වෙනවා.

 

පසුගිය කාලේ නම් ඔබ දැක්කේ රූප රචනාවල පමණයි?

ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලා නම් ගොඩක් ආරාධනා ලැබුණා. නමුත්, මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ නිර්මාණවලට කාලයක සොයාගැනීමේ අපහසුතාව නිසාවෙන් ඒවා භාරගත්තෙ නැහැ. දැනටත් මම විවෘත විශ්වවිද්‍යාලය රංග හා නාට්‍ය කලාව උපාධිය හදාරනවා.

 

කොහොම වුණත් ගීත රූප රචනා හරහා ඔබ තරුණ පිරිස අතර ජනප්‍රිය චරිතයක් වුණා නේද?

ඔව්, පාර තොටේදී වුණත් කවුරු හරි මාව හඳුනගත්තොත් ඇවිත් කතා කරනවා. තරුණ පිරිස නම් හමුවුණොත් අහන්නේ ‘ඇයි අක්කේ ඔයා ඔච්චර බුට් කන්නේ’ කියලා. ඉතින් ලැබෙන රසික ප්‍රතිචාර දැකලා මට ගොඩක් සතුටුයි.

 

ඔබව ජනප්‍රිය කළ ගීත රූප රචනා මොනවද?

මම මුලින්ම පෙනී හිටියෙ ජූඩ් රොගැන්ස්ගේ ‘දුක නෙතේ’ කියන ගීත රූප රචනාවෙන්. ඒ ගීතය වගේම එහි රූප රචනාවත් ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ මාව රසික පිරිස් අතර ජනප්‍රිය වුණේ රොෂාන් ප්‍රනාන්දුගේ ‘මෙතුවක් දුර ගෙවලා’ හා නෙයෙල් රාජ්ගේ ‘කඳුළු දවා’ කියන ගීත තුළින්. සිරස සුපර් ස්ටාර් ගයාන් අරෝෂ හා ‘වායෝ’ සංගීත කණ්ඩායමේ කෞශාන් ගායනා කරන ගීත තුළින් මාව ඉදිරියේදී දැකගන්න පුළුවන්.

 

මෑත කාලයේ ඔබ සිනමාවටත් සම්බන්ධ වුණා නේද?

ඔව්, ඩී.එස්.සේනානායක මැතිතුමාගේ ජීවත කතාව අලළා නිර්මාණය වුණ ‘නිදහසේ පියා’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. එහි මා ‘දොන් ෆ්‍රේද්‍රිස්ගේ බිරිඳ’ විදිහට රංගනයෙන් දායක වෙනවා. මේ දිනවල එහි අවසන් රූපගත කිරීම් කටයුතු සිදුවෙනවා. බොහෝ විට එය ඉතා ඉක්මනින් ප්‍රදර්ශනය වේවි කියලා මම හිතනවා.

 

ක්ෂේත්‍රයට ආවේ නම් ඔබ වේදිකාවෙන්?

තාමත් මම මුල්තැන දෙන්නේ වේදිකාවට. රාජ්‍ය නාට්‍යය උලෙළට ඉදිරිපත් කළ විජිත් නුවන්ගේ ‘සිල්ගත් බිල්ලෝ’ කියන වේදිකා නාට්‍යයේ මා රඟපෑවා. ඒ වගේම තවත් වේදිකා නාට්‍යය කිහිපයකටම දායක වෙන්න අවස්ථාවක් මේ වනවිට මට ලැබිලා තියෙනවා. 2015 වසරේදී පැවැති යොවුන් නාට්‍යය සම්මාන උලෙළේදී වසරේ හොඳම නිළිය විදිහට තමයි සම්මාන ලැබුණේ. මා දායක වුණේ ‘හිනා වෙලා මිනිත්තුවක්’ කියන ටෙලි නාට්‍යයට.

 

2017-03-16-ent-85  2017-03-16-ent-87