'චූටි මැණිකේ' වූ ශලනි



2017-12-05-ent-43

ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ලෙස වර්තමානයේ ‘දෙරණ’ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන, සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන ‘දෙවෙනි ඉනිම’ හැඳින්විය හැක. එහි ‘චූටි මැණිකේ’ ලෙස චරිත මවමින් ඔබේ ආදරය දිනාගත් ශලනි ප්‍රනාන්දු සිය කලා තොරතුරු අපිට මෙලෙස පැවසුවාය.

 

ශලනි ‘චූටි මැණිකේ’ වුණේ කොහොමද?

මේ වසරේ ‘දෙරණ’ අවුරුදු කුමරිය වුණේ මම. අවුරුදු කුමරා හා කුමරිය තරගයේ ප්‍රථම ස්ථාන තුන අතරට තේරුණා. හය දෙනාට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණා. ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් මාසෙකට පස්සේ ‘දෙරණ’ නාළිකාවේ චරිත් කොතලාවල මහත්මයා මට කතා කරලා කිව්වා මෙහෙම ටෙලි නාට්‍යය චරිතයකට මාව තෝරගෙන තියෙනවා ඇවිත් ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා. ඔය විදිහට තමයි ‘දෙවෙනි ඉනිම’ නාට්‍යයේ ‘චූටි මැණිකේ’ වුණේ. ඇත්තටම මම ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යය පටන් ගත්ත කාලේ ඉඳලා ඒක නරඹපු කෙනෙක්. අද වෙනකම් මම එක කොටසක්වත් මගාරන්නෙ නැතුව නරඹලා තියෙනවා. සමහර අවස්ථාවවල මග හැරුණොත් යූටියුබ් හරි ගිහින් ඒ මඟ හැරුණ කොටස් නරඹනවා. ඉතින් මම ආසාවෙන් නරඹපු ටෙලි නාට්‍යයකට මාව තෝර ගත්තා කිව්වාම, මට පුදුම හිතුණා.

 

නිළියක් වෙන හීනයක් ඔබට තිබුණාද?

නැහැ, රඟපාන්න මගේ හීනයක්, ආසාවක් තිබුණෙ නැහැ. දෙරණ ‘අවුරුදු කුමරිය’ වුණාට පස්සේ මම බ්‍රයිඩ්ල් ෆොටෝ ෂූට්වලට නිතරම වගේ දායක වුණා. ‘දෙරණ’ අවුරුදු කුමරිය වෙලා මාසයකට වඩා වැඩි කාලයක් මම එක දිගට බ්‍රයිඩ්ල් ෆොටෝ ෂූට්වලට පෙනී හිටියා. ඒ ඉන්න කොට මගේ කැමැත්ත වැඩිපුර යොමු වුණේ ඒ පැත්තට. නමුත්, ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමත් එක්ක ලැබෙන රසික ප්‍රතිචාරත් නිසා දැන්නම් නිළියක් වුණ එක ගැන ගොඩක්ම සතුටු වෙනවා.

 

අධ්‍යාපන කටයුතු අතරේ රඟපාන්න වෙලාව කොහොමද වෙන්කර ගන්නේ?

ලබන වසරේ මැයි මාසයේ තමයි මම අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී ඉන්නේ. අමතර පංති එක්ක තමයි ඉතින් වැඩිපුරම කාලය ගෙවෙන්නේ. හරි අමාරු වැඩක් තමයි ඉතින්, රූපගත කිරීම් අතරතුර ඉගෙනීම් කටයුතුවලට කාලයක් හොයාගන්න එක. මට උගන්වන බොහෝ දෙනෙක් මට උදව් කරනවා. මඟහැරෙන පාඩම් වැඩ කටයුතු අමතර වෙලාවක් යොදාගෙන ඒ අය මට උගන්වනවා. සතියේ දවස් පහක් ගත්තොත් ඒකෙන් හතරකම රූපගත කිරීම් එක්ක තමයි ඉන්නේ. මට බොහෝ අය ආදරේයි. ඒ හින්දා ඒ හැම කෙනෙක්ම තමන්ට පුළුවන් උපරිමයෙන් මට උදව් කරනවා. මට උගන්වන ගුරුවරුන් වගේම, ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසත් මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට කාලය වෙන් කරලා දෙනවා.

 

‘චූටි මැණිකේ’ චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?

‘චූටි මැණිකේ’ චරිතයට මුලින් නම් බොහෝ දෙනෙක් අකමැති වුණා. දැන්නම් ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ අය මට කැමති වෙලා තියෙනවා. මුලින් අකමැති වුණ අය වෙන්නත් ඇති සමහරක් විට. කට්ටිය දැන්නම් මාව දැක්කහම කියනවා ‘අඬන්න එපා, කැමරාවට පොඩ්ඩක් හිනා වෙන්නකෝ, මූණ බලලා කතා කරන්න. තරහින් වගේ ඉන්න එපා හැම වෙලාවෙම’ කියලා. ඔය විදිහට තමයි ඉතින් මේ දවස්වල මට තියෙන රසික ප්‍රතිචාර.

 

‘චූටි මැණිකේ’ හා ශලනිගේ සැබෑ ජීවිතේ ගත්තොත් එක සමානද?

කොහෙත්ම නැහැ, සම්පූර්ණම වෙනස්. මම ගොඩක් කටකාරයි. සමහරක් විට මගේ වයසත් එක්ක වෙන්න ඇති කියලා අම්මා නම් කියනවා. අහිසංකකම නම් ඉතින් ඕන ගැනු ළමයෙකුගේ තියෙනවා නේ. හැබැයි ඇත්තටම කිව්වොත් මම ‘චූටි මැණිකේ’ තරම් නම් අහිසංක නැහැ. ‘චූටි මැණිකේ’ හා මම අතර වෙනස ගත්තොත් මට කියන්න තියෙන්නේ මම ගොඩක්ම කටකාර කෙනෙක් කියලා.

 

ශලනිගේ පළමු රංගන අත්දැකීම මේකද?

ඇත්තටම මේක මගේ පළමු රංගනය. ඒ නිසා ගොඩක් දෙනා මට උදව් කරනවා. ඒ කියන්නේ අපිට සීන් එකක් හම්බ වුණාහම සීන් එකට ඉන්න අපි කට්ටිය එකතු වෙලා කතා වෙලා තමයි රූපගත කරන්න කලින් පොඩි රිහසල් එකක් කරනවා. මට මොකක් හරි අමාරු දෙබසක් තියෙනවා නම් සීන් එකට ඉන්න අනිත් අය එයාලාගේ දෙබස් ටිකක් එහා මෙහා කරලා මට පහසුවෙන දෙබසක් කියන්න හදලා දෙනවා. ඇත්තටම ඒ වගේ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මම ගොඩක් වාසනාවන්තයි කියලා මට හිතෙනවා.

 

 

2017-12-05-ent-48

 

රංගනය පැත්තෙන් ඉදිරියට යන්නද කැමතිද?

මගේ ලොකුම කැමැත්ත තියෙන්නේ ඇඳුම් නිර්මාණකරුවෙකු වෙන්න. එහෙම කියලා මම රංගනය අත්හරින්න සූදානමකුත් නැහැ. ලැබෙන කාලවෙලාව අනුව මේ හැමදෙයක්ම කරගෙන ඉදිරියට යන්න තමයි මගේ අදහස. තවත් කාරණයක් තමයි නිළියක් විදිහට මම කැමති නැහැ හැම තිස්සෙම පෙනී ඉන්න. ඒ හින්දා ලැබෙන නිර්මාණ මට ගැළපෙනවද කියලා හොඳට තෝරගෙන තමයි නිළියක් විදිහට මම ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ.

 

අධ්‍යාපන කටයුතු අතරේ නිළියක් විදිහට වැඩ කරනවාට පවුලේ අය කැමතිද?

මගේ තාත්තා නැහැ.මට අවුරුදු 5ක් වෙද්දි මගේ තාත්තා නැතිවුණා. මගේ පවුලේ ඉන්නේ මගෙ අම්මයි, අයියයි විතරයි. අයියා නම් මේ පැත්තට යොමු වෙනවට මුල ඉඳලම ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. දැනුත් ඉඳලා හිටලා අවවාද දෙනවා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට වැඩ කරන්න කියලා. අම්මා නම් කැමතියි මම කලාව පැත්තට සම්බන්ධ වුණාට. මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ පුංචිව. එයා තමයි මගේ ඡායාරූපයක් මටත් නොදන්වා ‘දෙරණ අවුරුදු කුමරිය’ තරගයට යොමු කළේ. ඒ වගේම ‘දෙවෙනි ඉනිම’ අධ්‍යක්ෂණය කරන සාරංග අයියට. සමන් එදිරිමුණි අයියා ඇතුළු ‘දෙවෙනි ඉනිමේ’ හැම කෙනෙක්ම මේ වෙලාවේ මතක් කරනවා. ඒ එක්කම විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙනුවන් අයියාව. එයා තමයි ගොඩක් වෙලාවට රංගනය ගැන මට කියලා දෙන්නේ.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - මිහිර බණ්ඩාර

හැඩගැන්වීම- ෂෙනාලි කෞශල්‍යා

සැලොන් ‘OREHID’ මීගමුව

 

2017-12-05-ent-40 2017-12-05-ent-41 2017-12-05-ent-42  2017-12-05-ent-44 2017-12-05-ent-45 2017-12-05-ent-46 2017-12-05-ent-47