ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දැම්ම පලියට එයාලා නිරූපිකාවෝ නෙවෙයි



2018-02-07-ent-14

උසස් අධ්‍යාපනයේ නිරතව සිටින ඇය කලා ක්ෂේත‍්‍රයේ විවිධ අංශවල දායකත්වය දක්වන්නීය. විටෙක නිවේදිකාවක ලෙසද ඇය නමින් නේත්‍රා වීරසිංහය. මේ වසරේ මැද භාගයේදී අන්තර්ජාතික නිරූපණ තරගයක් සඳහාද ඇය සූදානමින් පසුවන්නේය. වර්තමානයේ ජනප්‍රිය බොහෝ මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් වලින් නිතර හමුවන ඇය මෙවර ‘සාරවිට’ කතා බහට මෙලෙස එක් වූවාය.

 

නේත්‍රා ඔබ ගැන හැඳින්වීමක් කළොත්?2018-02-07-ent-17

මම රජයේ රැකියා කරන මා පිය යුවළකගේ දියණියක්. මම පවුලේ වැඩිමලා. නංගි පාසල් අධ්‍යාපනය ලබනවා. මල්ලි සරසවි සිසුවෙක්. මම ඉගෙන ගත්තේ අම්පාරේ ඩී.එස්. සේනානායක ජාතික පාසලේ. දැන් උසස් අධ්‍යාපනය හදාරනවා. පශ්චාත් උපාධිය ලබා ගැනීමයි මගේ අරමුණ. ගිණුම්කරණය මගේ විෂයපථයයි.

 

නේත්‍රා මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල ඉතින් පුරුදු විදියටම වැඩ කරගෙන යනවා. මියුසික් වීඩියෝ, ෆොටෝ ෂූට්, බ්‍රයිඩල්, වෙළෙඳ දැන්වීම් ඒ දේවල්වල වෙනදා වගේම ඉන්නවා. ඊට අමතරව මම නිවේදනය පිළිබඳව හදාරනවා.

 

මියුසික් වීඩියෝවල විතරක් පේන්න ඉන්නේ ඇයි? ටෙලිනාට්‍ය හෝ සිනමාවට කැමති නැද්ද?

කැමැත්තක් තියෙනවා. මම සිනමාවට තමයි වැඩිපුර කැමැතියි. මට ආරාධනා ලැබිලත් තියෙනවා. නමුත් මට ගැළපෙන හොඳ චරිතයක් තවම ලැබුණේ නැහැ. එහෙම චරිතයක් ලැබෙනකල් බලාගෙන ඉන්නවා.

 

කලාව කියන ක්ෂේත්‍රයට යොමු වෙන්න හිතුණේ ඇයි?

මම කලාවටම ආපු කෙනෙක් නෙවෙයි. මොඩ්ලින් කරන්න පටන් ගත්තේ මම යුනිවර්සිටි හිටපු කාලෙමයි. මම යුනිවර්සිටි එකේ තිබුණු ෆැෂන් ෂෝ එකකට සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි ගොඩක් අය මට වැඩවලට ආරාධනා කළේ. මගේ උපාධිය මම කළේ N.S.B.M එකේ එකවුන්ටින් ෆයිනෑන්ස්. ඒත් තවම මට ඒ ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජන ගන්න බැරි වුණා. මම උපාධිධාරිනියක් වුණේ 2016 දී. ඉතින් ඒ වුණාට මට තවම ඒ පැත්තට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉදිරියේදී ඒ පැත්තට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ රැකියාව විදියට ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කලාවට එකතු වුණේ විනෝදාංශයක විදියට. ඒත් දැන් ඒක මගේ වෘත්තිය වෙලා.

 

ගෙදරින් බලපෑම් ආවෙ නැද්ද ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා?

ගෙදරින් තවමත් බලපෑම් තියෙනවා. මම මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ පළමු වසරේදී. ඒත් ගෙදරින් එපා කියපු නිසා ආයෙත් සම්බන්ධ වුණේ අවසාන වසරේදියි. මම හරියටම වැඩ කරන්න ගත්තේ මගේ උපාධිය අවසන් වුණාම. ඒත් තවමත් ගෙදරින් කියනවා ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න කියලා.

 

පහුගිය අවුරුද්දේ තිබුණු පැජන්ට් එකකින් ජයග්‍රහණය කරනවා නේද? ඒ ගැන ටිකක් කියමු?

ඔව්. ගිය අවුරුද්දේ සිලෝන් මැජස්ටික් කියලා පැජන්ට් එකක් තිබුණා. ඒකේ ප්‍රධාන කිරුළු 07ක් තිබුණා. ඒකෙන් මිස් ඕෂන් කියන ක්‍රවුන් එක මට ලැබුණා. ඒ ක්‍රවුන් එකට අමතරව බෙස්ට් ඩාන්සර් කියන ටයිට්ල් එකත් ලැබුණා.

 

නේත්‍රා දැනට තරග කීයකට සහභාගි වෙලා තියෙනවාද?

මිස් ශ්‍රී ලංකා තරග 02කට සහභාගී වෙලා තියෙනවා. ඊට අමතරව මිස් ස්කූබා සහ සිලෝන් මැජස්ටික් එකට සහභාගි වුණා. මිස් ස්කූබා එකෙන් මට 02 වන ස්ථානය ලැබුණා. මේ අවුරුද්දේ මැද වෙද්දි තවත් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

නේත්‍රා දායක වුණු වෙළෙඳ දැන්වීම් ගැන ටිකක් කිව්වොත්?

මම ළඟදි කළා 'ඕෆ් මාක්ස්' එක. ඇලරීස් ආයතනයෙන් කරපු දැන්වීමක්. ඒක මේ දිනවල විකාශය වෙනවා. ඊට අමතරව කරා N.D.B එක, එතකොට මොබිටෙල්, සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස්, ආෂ්මා ජුවලර්ස් තව ගොඩක් ඒවා තියෙනවා.

 

මියුසික් වීඩියෝ එකකට දායක වෙද්දී නිර්මාණ තෝරා බේරා ගන්නවාද?

ඔව් අනිවාර්යෙන්ම. මම අනිවාර්යෙන්ම සින්දුව ගැන බලනවා. එතකොට පිටපත මොකක්ද කියලා හොයල බලනවා. ඒක ඩිරෙක්ට් කරන්නේ කවුද කියලා බලනවා. ඒ දේවල් ගැන බලලා තමයි මම තීරණය කරන්නේ මම ඒක කරනවද නැද්ද කියලා. මම අනිවාර්යෙන්ම පිටපත ගැන නම් හොයලා බලනවා.

 

වර්තමානයේ ඔබ නියැළෙන ක්ෂේත්‍රය ගැන මිනිස්සු විවිධ කතා කියනවා. මේ දේවල්වලින් ඔබේ දෙමව්පියන්ට හා ඔබට ගැටලු මතුවෙන්නේ නැද්ද?

එහෙම කටකතා හැදෙන අවස්ථා නැත්තෙම නැහැ. නමුත් මම කරන දේවල් හොඳ සහ තෝරාගෙන කරන නිසා කවුරුත් මට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මම මගේ ගමන මගේ පාඩුවේ යන නිසා මට එහෙම චෝදනා කරන්නේ නැහැ. අම්මයි තාත්තයි මට උපදෙස් දෙනවා. අලුතෙන් එන සමහර දේවල් කරන්න එපා කියලා. ඒ නිසා මම ඒ දේවල්වලින් ඈත්වෙලා ඉන්නවා.

 

නේත්‍රා අද මේ ක්ෂේත්‍රය ගැන තෘප්තිමත් වෙනවාද? නැත්නම් මේ පවතින දේවල් මීට වඩා වෙනස් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද?

මෙහෙමයි. අපේ රටේ සංස්කෘතියට ගැළපෙන දේවල් සහ නොගැළපෙන දේවල් තියෙනවා. අපි රටක් වශයෙන් ඉදිරියට යන්න ඕන. ඒත් මම කියන්නේ අපේ රටේ සංස්කෘතියට හානි නොවෙන විදියට වැඩ කරන්න කියලා.

 

අද සමාජ මාධ්‍ය තුළින් නිරූපිකාවෝ ගොඩක් බිහිවෙනවා. ඒ තත්ත්වය හොඳයිද?

මෙහෙමයි. අද වෙද්දි ෆේස්බුක්වල ෆෝටෝ ෂූට් එකක් කරලා නිරූපිකාවන් කියලා කියනවා. ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දැම්ම පලියට එයාලා නිරූපිකාවෝ නෙවෙයි. නිරූපණය ගැන හදාරන්න ඕන. හදාරන්න විධි තියෙනවා. තමන්ට ඉගෙන ගන්නත් පුළුවන්. ඇත්තටම අද සෝෂල් මීඩියා ගොඩක් බලවත්. ඒක තමයි ඇත්ත කතාව. තමන්ට වුණත් අද අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් කාගෙන් හරි ඉගෙනගන්න පුළුවන්. ඉගෙනගෙන මෙතනට එන එක තමයි වැදගත් වෙන්නේ. දෙයක් නොදැන මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න අමාරුයි.

 

ඉදිරි කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕන. දැන් මේ කරන දේවල් තවත් හොඳ විදියට කරන්නත්, මේ ක්ෂේත්‍රයෙන් හොඳ තැනකට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මගේ පැජන්ට් එකත් මේ අවුරුද්දේ මැදදි තියෙනවා. ඒක ජාත්‍යන්තර තරගාවලියක්. ඒකෙන් ජයග්‍රහණය කරලා ජාත්‍යන්තරයට යන්නත් බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2018-02-07-ent-11 2018-02-07-ent-12 2018-02-07-ent-13  2018-02-07-ent-15 2018-02-07-ent-16