මොන දේ කළත් මම මූලිකත්වය දෙන්නේ ටෙලි නාට්‍යයවලට



2018-03-08-ent-116

තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් ටෙලි නාට්‍යය නිළියන් අතරේ ශෙහානි කහඳවලට හිමිවන්නේ විශේෂ තැනකි. නිවේදිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ටෙලි නාට්‍යය බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණ තිබේ. මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘සඳ පිණි වැස්ස’ ටෙලි නාට්‍යයේ ‘මාධවි’ ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරයද ඇය දිනාගනිමින් සිටියි. මෙවර ‘තරුණයා’ තරු කතාබහ දිග හැරෙන්නේ ඇය සමගිනි.

 

ශෙහානි මේ දිනවල ටිකක් කාර්ය බහුලයි?2018-03-08-ent-120

ඔව්, ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන ‘සඳ පිණි වැස්ස’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කටයුතුවලට මේ දිනවල සහභාගි වෙනවා. ඊට අමතරව හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘සුපර් හීරෝ’ රියලිටි වැඩසටහනේ නිවේදිකාවක් විදිහට වැඩ කරමින් ඉන්නවා. ඒ වැඩත් එක්ක ඉතින් මේ දවස්වල ටිකක් විතර කාර්ය බහුලයි. දැනට ටෙලි නාට්‍යය 2ක් සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලත් තියෙනවා. කාර්ය බහුලත්වයත් එක්ක ඉතින් ඒ වැඩවලටත් ඉඩක් වෙන්කර ගන්න බලනවා.

 

කොහොමද ‘සඳ පිණි වැස්ස’ ටෙලි නාට්‍යයේ ඔබ රඟන ‘මාධවි’ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳයි. ‘මාධවි’ කියන්නේ හරිම අහිසංක කෙනෙක්. හැබැයි ඕනෑම දේයකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්. මෑත කාලයේ මා රඟපෑ චරිත ගත්තොත් ‘මාධවි’ කියන්නේ වෙනස්ම චරිතයක්. ටෙලි නාට්‍යය වුණත් වෙනස්ම කතා තේමාවක් මත තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

 

ශෙහානි ‘රියලිටි’ තරගයක නිවේදිකාවක් විදිහට වැඩ කරන ප්‍රථමවතාව මේක වෙන්න ඕන?

ඔව්, හැබැයි මීට කලින් මම ‘දෙරණ’ රූපවාහිනියේ නිවේදිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. ‘රියලිටි’ වැඩසටහනක අත්දැකීම් ලබන්නේ ප්‍රථමවතාවට. ‘හිරු සුපර් හීරෝ’ කියන්නේ ලංකාවේ පළමු වතාවට පොඩි ළමයින් වෙනුවෙන් කරපු වෙනස්ම විදිහේ ‘රියලිටි’ වැඩසටහනක්. ඉතින් මටත් මේක වෙනස්ම අත්දැකීමක් මේ හරහා ලැබෙනවා. මොකද, පොඩි අයත් එක්ක වගේම ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් එක්ක වැඩ කරන හින්දා.

 

ශෙහානි එකම චරිතයකට කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

මට ආරාධනා ලැබෙන්නෙ එකම විදිහේ චරිතනේ. මම දන්නෙ නැහැ ඒ ඇයි කියලා. චරිතයකට තෝරා ගනිද්දි බොහෝ වෙලාවට එයා ඊට කලින් කරලා තියෙන චරිතය වගේ එකකට තමයි අධ්‍යක්ෂවරු කතා කරන්නේ. එයාට වෙනත් චරිතයක් කරන්න පුළුවන්ද කියලා බලන්නේ නැහැ. ඒක නිසා ඒ තෝරාගන්න කෙනාට වෙනස් චරිතයකට යන්න අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන්. මටත් ඒක ලොකු ගැටලුවක්. මොකද, මම කැමතියි හැමවෙලාවෙම එකිනෙකට වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයන් හමුවන්න. අනික ඒ හරහා අපේ රංගන හැකියාවත් වර්ධනය වෙනවා. එකම විදිහේ චරිත කරන කොට අපිත් හැමදාම එකම තැන.

 

වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලට ඔබ නිතරම සම්බන්ධ වෙන නිසාද ටෙලි නාට්‍යයවල වැඩිපුර දකින්න නැත්තේ?

නැහැ, ටෙලි නාට්‍යය තමයි මගේ මූලිකමදේ. වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා මට හැමදාම කරන්න බැහැ. ‘මෙගා’ ටෙලි නාට්‍යයක් ගත්තොත් මාස දෙකක්, මාස පහක්, අවුරුද්දක් විතර එකදිගට යනවා. වෙළෙඳ දැන්වීමක්, ගීත රූප රචනාවක් කරන්න යන්නේ දවසයි. නැත්නම් උපරිම දවස් පහයි. ඒ වගේ දේවල් මම කරන්නේ අමතර දෙයක් විදිහට. වැඩ එන විදිහට භාර ගන්නවා. ලොකුවට තෝරා බේරා ගැනීම් නැහැ. මට කරන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම ඒ වැඩේ භාර ගන්නවා. ඒක අද ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑම කෙනෙක් කරන දෙයක්.

 

ශෙහානි කියන්නේ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත කෙනෙක්. තෘප්තිමත්ද නිළියක් විදිහට මේ ගෙවපු කාලය?

ඔව්, ගොඩක් තෘප්තිමත් වෙනවා. හැබැයි රංගන ශිල්පිනියක් විදිහට තවත් ඉගෙන ගන්න ඕන කියන මතයේ මම ඉන්නවා. ක්ෂේත්‍රයට එනකොට මම රංගනය ගැන හදාරලා ආපු කෙනෙක් නෙමෙයි. නමුත්, කිසිම හැදෑරීමකින් තොරව මම අද රංගන ශිල්පිනියක් විදිහට යම් තැනකට ඇවිත් තියෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ වගේම අදත් මා වටා ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඒ ගැනත් මා තුළ තියෙන්නේ ලොකු සතුටක්.

 

රූපය පමණක් වැදගත්ද රංගන ශිල්පිනියකට?

රූපය පමණක් වැදගත් නැහැ. ස්ක්‍රීන් එකක් ඉදිරියට ගිහිල්ලා ඩයලොග් එකක් කියාගන්න බැරිනම් වැඩක් නැහැ. රංගනය ගැන අවබෝධයක් තියෙන්නේ ඕන විශේෂයෙන්ම නිළියකට. කැමරාවක් ඉදිරියේ කොහොමද රඟපාන්නේ, නිළියක් විදිහට තැනකට ගියාහම කොහොමද හැසිරෙන්නේ කියන දේවල් අපි දැනගන්න ඕන. මම හිතන්නේ ඉතින් රූපය විතරක් තිබිලා වැඩක් නැහැ නිළියක් වෙන්න.

 

‘සුජාතා’ ටෙලි නාට්‍යයෙන් පස්සේ ශෙහානිට ‘හිට්’ වෙන චරිතයක් ලැබුණේ නැහැ නේද?

කනගාටුවක් තියෙනවා ඒ ගැන. ඉදිරියට බලමු ඉතින් එහෙම චරිතයක් මට ලැබෙවිද කියලා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - කවීත් මිලින්ද

 

2018-03-08-ent-115  2018-03-08-ent-117 2018-03-08-ent-118 2018-03-08-ent-119