සුදු නංගි අවුරුද්දට බුලත් දෙන්න ඇවිත්



 2018-04-11-ent-84

‘‘බිලේෂා විජේරත්න’’ නමැති මේ තරුණියගේ රූපය ඔබට මතකද? බිලේෂා නමින් හඳුන්වනවාට වඩා කූඹියෝ ‘‘සුුදු නංගී’’ ලෙස හැඳින්වීම වඩා හොඳය. මතකනෙ ප‍්‍රියන්ත මහඋල්පතගම බලාපොරොත්තු තියාගෙන හිටියෙ මේ සුදු නංගිටයි. එම චරිත ඉතා කෙටි චරිතයක් වුවද මේ සුදු නංගි ලෙස රඟපෑ බිලේෂා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජනප‍්‍රිය නිළිය අතර වූ චරිත අතරටද නිර්දේශ වුණා. එහි දී ජනප‍්‍රිය නිළිය ලෙස සම්මාන ලැබුවේ දෙවැනි ඉනිමේ නයනතරා වික‍්‍රමාරච්චිය. නමුත් මෙලෙසින් කූඹියෝ සමග කරළියට ආ මේ සුදු නංගි කවුද?

 

බිලේෂා? එහි තේරුම කිව්වොත්2018-04-11-ent-85

අපේ හාමුදුරුවන් තමයි මට ඒ නම දාලා තියෙන්නෙ. මම දැනගන්න විදිහට එහි තේරුම ‘‘ශක්තිමත්’’ යන්නයි.

 

සම්පූර්ණ නම?

වලාකුළු ආරච්චිගේ බිලේෂා චන්ද්‍රමාලි විජේරත්න. හැමෝම දන්නෙ බිලේෂා කියලයි.

 

ගම?

රත්නපුර පැල්මඩුල්ල

 

රත්නපුරේ නිසා මැණික් එහෙමත් ඇති නේද?

රත්නපුරේ එහෙම වුණාට අපට එහෙම නැහැ. අපි සල්ලි ගොඩක් තියෙන අය නොවෙයි.

 

අම්මා තාත්තා මොනවද කරන්නෙ.

අම්මා ගෘහණියක්. තාත්තා පුංචියට මැණික් ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා.

 

දැන් වයස එහෙම?

අවුරුදු 25 යි.

 

දැන් කල වයසත් හරි වගේ?

එහෙම තමයි කියන්නෙ.

 

මහඋල්පතගමින් මංගල ආරාධනයක් එහෙම ඇවිත් නැද්ද?

තවම ආවෙ නැහැ.

 

බිලේෂා මොනවද කරන්නෙ?

කොළඹ සරසවියේ නාට්‍ය හා රංග කලා උපාධිය ඉවරයි. ගිය වසරේ ඉවර කළේ. තවම රැුකියාවක් කරන්නෙ නැහැ.

 

මොන වගේ රැුකියාවක් ද හොයන්නෙ.

ටීචර් කෙනෙක් වෙන්න ආසයි. එතකොට ආයෙත් පාසල් යන්න ලැබෙනවානෙ.

 

බිලේෂා කොහොම ද කලා ක්ෂේත‍්‍රයට ආවේ.

පාසලේ දී හය වසරේ සිට නාට්‍යවලට සහ කලා අංශයේ වැඩවලට දායක වුණා. වේදිකාව තමයි මගේ ආරම්භය. රත්නපුර සුමන බාලිකාවට ගියේ. වෙස්සන්තර නූර්තියෙන් රංගන ගමන පටන් ගත්තේ. පසුව සා/පෙළ සහ උසස් පෙළ නාට්‍ය හා රංග කලාව කළා. සෞන්දර්ය සරසවියට තේරුණාම තමයි ප‍්‍රසිද්ධ වේදිකාවේ නාට්‍යයට සම්බන්ධ වුණේ.

 

ඔබ ගැන කතා කරන්න පටන් ගත්තෙ?

‘‘කූඹියෝ’’ සුදු නංගි නිසා තමයි.

 

කොහොමද ඒ චරිතය ඔබට ලැබුණෙ.

පුංචි සරසවියෙ තුසිත අයියා නිසයි. එයා අපට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්ව සිටියෙ. මම එතකොට දෙවන වසරේ සිසුවියක වුණා. මේක හොඳ වැඩක්. මේකට සම්බන්ධ වෙන්න කිව්වා. දර්ශන තලයට යන කම් මේ වගේ වැඩක් කියලා දැනගෙන හිටියේ නැහැ. ගෙදරින් අවසර අරගෙන මගේ යාළුවොත් එක්ක තමයි ගියේ. රූගත කිරීම් තිබුණෙ හොරණ ප‍්‍රදේශයේ. ඒක ඉතින් හොඳ වැඩක් වුණා.

 

එයින් පසුව?

තවම ටෙලි නාට්‍යවලට නම් ගියේ නැහැ. වේදිකාවේ නම් ‘‘මායා බන්ධන’’ නාට්‍යයේ රඟපෑවා. මේ අපේ‍්‍රල් මාසයේ දී සරසවියේ අක්කා කෙනෙක් නිෂ්්පාදනය කරන ‘‘බර්නාඩාගේ සිපිරිගෙය’’ නාට්‍යයේ රඟපෑමට සූදානමින් සිටින්නෙ.

 

වඩා කැමති වේදිකාවට වගෙයි?

ඇත්තෙන්ම ඔව්. එතැනින් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවනි.

 

අවුරුදු කාලවලදී වෙච්ච සිදුවීම් එහෙම තියෙනවද?

මම පවුලේ බාලයා නිසා ඔක්කෝගෙන්ම ලැබෙන තෑගි වැඩියි. අයියා සහ අක්කා මගේ අනෙක් සහෝදරයින් සරසවියේදි අවුරුදු සමරද්දි ඒකට අපි හරි ආසයි. ගිය අවුරුද්දෙ කඹ අදින්න ගිහින් මම වැටුණෙ. දණහිස් දෙකම තුවාල වුණා. ඒ නිසා කාලයත් යනකල් පත්තුත් බැන්දා.

 

අවුරුදු සමයේ දී වෙන මොනවද කරන්නෙ?

ගෙදර දොර අස්පස් කරන්න උදව් දීලා ගෙදර අය එක්ක නෑ ගම් යනවා.

 

බිලේෂාගෙ පෙම්වතා මොනවද කියන්නෙ? එයත් තෑගි දෙනවා ඇති?

තෑගි දෙන්න එහෙම කෙනෙක් තවම නැහැ.

 

ආදරේ ඉල්ලන තරුණයින් නැද්ද?

ඕනෑ තරම්

 

ඒ අතරින් ඔබගෙ හිත ගිය?

මැවිච්ච රූපයක් තියෙනවා. අනේ මන්දා. ජීවිතේ මට පොඩි දේටත් ඉක්මණට දුක හිතෙන කෙනෙක්. ඒත් ඒක අනෙක් අයට පෙන්වන්නෙ නැහැ.

 

බිලේෂා කොහොම කෙනෙක්ද?

චුට්ටක් විතර නපුරු, ගොඩක් හොඳ කෙනෙක්.

 

සටහන/ඡායාරූප සඳුන් ගමගේ

 

2018-04-11-ent-83