අපි මේවා කරන්නේ විනෝදයටයි



67

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Musical.ly කියන ඇප්ලිකේෂන් එක ඔස්සේ ජනප්‍රිය වුණු දෙන්නෙක් තමයි කැළුම් දේවනාරායන සහ ලෝචනා ජයකොඩි කියන්නේ. මේ ඇප් එක හරහා මේ දෙන්නා තරම් වෙන කවුරුත් ජනප්‍රිය වෙලා නැතිව ඇති. මේ දිනවල තරුණ තරුණියන්ගේ උන්මාදයක් හැටියට තමයි මේ දෙන්නාව හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අපි ‘සාරවිට’ කතාබහට කැළුම්ව සහ ලෝචනාව සම්බන්ධ කරගත්තා.

 

කැළුම්, ලෝචනා දෙන්නා මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ හරියට ජනප්‍රියයි නේද? 4

මෙහෙමයි. මේක එකපාරට වුණු දෙයක්. අපි ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන කරපු වීඩියෝස් නෙවෙයි. නමුත් එකපාරටම අපේ වීඩියෝස් ජනප්‍රිය වෙන්න ගත්තා. දැන් ඉතින් අපි මේක දිගටම කරගෙන යනවා.

 

මේ වීඩියෝස් කරන්නේ ලාභ - ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන්ද?

නැහැ. කිසිම ලාභ - ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි කරන්නේ. මේක අපි විනෝදාංශයක් විදිහට තමයි කරන්නේ.

 

ඔය දෙන්නා වෘත්තීය විදිහට මොනවද කරන්නේ?

මම තවම ඉගෙනගන්නවා. මම ග්‍රැෆික් ඩිසයිනින් කරනවා.

 

එතකොට ලෝචනා?

මම පෞද්ගලික රූපවාහිනී ආයතනයක නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.

 

මේ ජනප්‍රියත්වය නිසා කැළුම්ට තරුණ තරුණියන්ගෙන් ලොකු ආකර්ෂණයක් තියෙනවා නේද?

ඔව්. මට නම් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ලෝචනාටත් එහෙමයි. Musical.ly බලන්නේ නැහැ ගොඩක් අය. ටැලන්ට් එකට හොඳ කියන අය ඉන්නවා. සමහර අය බැනලත් තියෙනවා.

 

එතකොට ලෝචනාට?

මටත් තරුණියන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. කැළුම්ට නම් ගොඩක්ම ප්‍රතිචාර තියෙන්නේ ගැහැනු ළමයින්ගෙන්. අපි වීඩියෝස් කරලා ෆේස්බුක් දැම්මාට පස්සේ තමයි ගොඩක් අය දැනගත්තේ Musical.ly කියලා එකක් තියෙනවා කියලා. එතකන් ගොඩක් අය දන්නේ නැහැ.

 

මේ ප්‍රතිචාර ඇතුළේ ආදර සම්බන්ධතාවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

මට නම් එහෙම යෝජනා ඇවිල්ලා නැහැ. ගොඩක්ම මට මැසේජ් කරන්නේ ගැහැනු ළමයි. අක්කේ ඔයා ශෝක්, ලස්සනයි, ඔයාගේ වැඩ හොඳයි. ඒ වගේ ඒවා තමයි.

 

එතකොට කැළුම්ට?

අම්මෝ ගොඩක් එනවා. ඒත් එහෙම කරන්න බැහැනේ නේද.

 

දෙන්නම මේ වීඩියෝස් නිසා බැණුම් අහලා නැද්ද?

බැණුම් අහලා තියෙනවා ගොඩක්. ලෝචනා අඬලත් තියෙනවා බැණුම් අහලා. බැන්නාම නම් ගොඩක් දුකයි ඉතින්. අපි නළු - නිළියෝ වගේ අය නෙවෙයිනේ. අපි සාමාන්‍ය මිනිස්සුනේ. හැබැයි දැන් නම් බනින අය අඩුයි.

 

ගෙවල්වලින් කොහොමද මේ දේවල්වලට ලැබෙන සහය?

එයාලාට ගොඩක් සතුටුයි. මුලදී නම් විකාරයක් කියලා කිව්වා. දැන් නම් එහෙම නැහැ. එයාලා උදව් කරනවා අපි වීඩියෝ එකක් කරද්දි. එයාලාගේ ඇඳුම් පවා අපිට දෙනවා. මම අපේ තාත්තගේ ඇඳුම් අදිනවා. ලෝචනා අපේ අම්මගේ ඇඳුම් අදිනවා.

 

මේ ජනප්‍රියත්වය නිසා කැළුම්ට රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?

රඟපාන්න ආරාධනා ලැබුණා. මම ටී.වී. කමර්ෂල් කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා මේ වීඩියෝස් කරන්න කලින්. ඉස්සරහට හොඳ දෙයක් ලැබුණොත් බාරගන්නවා. දැනට ලැබිලා තියෙන ඒවත් කරගෙන යනවා. මියුසික් වීඩියෝස් කිහිපයකටත් ආරාධනා ලැබුණා. දැනට ඒවා කරගෙන යනවා.

 

එතකොට ලෝචනාට?

මටත් ආරාධනා ලැබිලා තියෙනවා. අපි දෙන්නටම ආරාධනා ලැබෙනවා. ඒවායෙන් හොඳ දේවල් බාරගෙන කරනවා.

 

දෙන්නා කරපු ටී.වී. කමර්ෂල් ගැන කිව්වොත්?

සිග්නල්, ලෙමන් පෆ්, ලෙමෝකි, රිට්ස්බරි බබල්ස්, මංචි අළුත් එකක් කරලා තියෙනවා, පීපල්ස් බෑන්ක් එකේ ඒවා කරා. ඒ වගේ වැඩ ටිකක් කළා.

 

කැළුම් - ලෝචනා දෙන්නාගේ යාළුකම පටන්ගන්නේ කොයි කාලේද?

අපි අවුරුදු එකහාමාරක විතර ඉඳලා හඳුනන්නේ. අපි රණ්ඩු වෙනවා, ආයෙත් යාළු වෙනවා.

 

ඔය දෙන්නාගේ නම් පාවිච්චි කරලා ෆේස්බුක්වල ෆේක් එකවුන්ට්ස් හදලා තියෙනවා නේද?

ගොඩක් තියෙනවා. අපේ නමින්ම ෆේක් එකවුන්ට්ස් ගොඩක් තියෙනවා. අපි ප්‍රොෆයිල් පික්චර් එක වෙනස් කරද්දි ඒකම දානවා එයාලා. ඉතින් එහෙම ෆේක් එකවුන්ට් හදන එක අපිට නවත්තන්න බැහැනේ. අපේ රසිකයන්ට කියනවා ඒ ෆේක් එකවුන්ට් හදන අයට රැවටෙන්න එපා කියලා.

 

සෝෂල් මීඩියා තුළින් ඉදිරියට යන්නද හිතන්නේ?

මෙහෙමයි. අපේ යූ - ටියුබ් චැනල් එක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ ෆේස්බුක් පේජ් එක රසිකයෝ අතරට ගෙනියන්න ඕනේ.

 

ඉදිරි වැඩ ගැන කිව්වොත්?

මම පොඩි කාලේ ඉඳලා ආසයි ග්‍රැෆික් ඩිසයිනින් කරන්න. ඒ පැත්තෙන් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

 

එතකොට ලෝචනාගේ වැඩ ගැන කිව්වොත්?

මමත් පුංචි කාලේ ඉඳලා හීන දැක්කේ නිවේදිකාවක් වෙන්න. මගේ ඒ හීනය හැබෑ වුණා. මමත් නිවේදනය පැත්තෙන් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

අවසන් වශයෙන් කැළුම් - ලෝචනා දෙන්නටම මතක් කරන්න පිරිසකුත් ඇතිනේ. එයාලා ගැන කිව්වොත්?

අපිට උදව් කරපු හැමෝටම ස්තූතියි කරන්න ඕනේ. විශේෂයෙන් අපේ රසිකයන්ට. එයාලා නිසා තමයි අපි අද ජනප්‍රි වෙලා තියෙන්නේ. තව විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ යාළුවෝ දෙන්නා ජෝන් සහ වාස්. එයාලා දෙන්නා අපිත් එක්ක හැමවෙලාවෙම ඉන්නවා. එතකොට අපේ පවුල්වල හැමෝමව මතක් කරන්න ඕනේ. අපි හඳුනන්නේ නැති අපිට අඩුපාඩු කියලා දුන්නු ගොඩක් අය ඉන්නවා සෝෂල් මීඩියාවල. ඒ හැමෝටම ස්තූතියි කරනවා.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සරසි නෙත්මිණී

 

 


1 9

2 3