කිරූළක් පලඳින්න ආසයි



2018-09-12-ent-01

අද වන විට නවකයන් බොහෝ දෙනා නිරූපණය එක්ව ඇති බව නොරහසක් බවට පත් ‍ව තිබෙනවා. නිරූපණය තුළ හරවත් කටයුතු කරමින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙන කෙනෙකු ලෙස දිල්මිණි ඉඹුලේගම හැඳින්විය හැකියි. සබරගමුව විශ්වවිද්‍යාලයේ සේවයේ යෙදෙන ඇය මෙලෙස ‘සාරවිට’ කතාබහට එක් විය.

 

ඔබ ගැන මුලින්ම කිව්වොත්?2018-09-12-ent-04

මම දිල්මිණි ඉඹුලේගම. මම රැකියාවක් කරනවා. ඒවගේම ඉගෙන ගන්නවා. ඒ අතරේ නිරූපණය කටයුතුවල හොඳ වැඩක් ආවොත් ඒ දේවලුත් කරනවා.

 

නිරූපණයට ආවේ කොහොමද?

මම නිරූපණයට ආවේ 2014 බ්‍රයිඩල් ෂෝ එකකින්.

 

බ්‍රයිඩල් පැත්තේ වැඩ විතරද කරන්නේ?

නැහැ. වෙනත් නිරූපණ කටයුතුත් කරනවා. වැඩියෙන්ම බ්‍රයිඩල් වැඩ තමයි කරන්නේ.

 

රැකියාවයි, නිරූපණයයි සමබර කර ගන්න පුළුවන්ද?

නිරූපණය කියන දෙයට ලොකු බරක් දීලා නැහැ. මගේ මූලික දේ රැකියාවයි. හොඳ නිරූපණ කටයුත්තක් තිබුණොත් සහ ලැබුණොත් ඒ සඳහා දායක වෙනවා.

 

හොඳ වැඩ කියන්නේ මොනවාද? ඇයි ලංකාවෙ හොඳ නැති වැඩත් තියෙනවාද?

නැහැ. එහෙම දෙයක් නෙමෙයි. මට, මගේ රැකියාවට ගැලපෙන වැඩක් ආවොත් කරනවා. මම රැකියාව කරන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ. ඒ දේවල් සඳහා හානි නොවෙන නිරූපණ වැඩක් ආවොත් කරනවා.

 

නිරූපණයට එන්න හිතුණේ ඇයි?

ඇත්තටම මම හරි ආසයි. පොඩි කාලේ ඉඳන් නිරූපණයට කැමැත්තක් තිබුණා. මම පොඩි කාලේ නාට්‍ය හා රංග කලාව කළා. සංගීතය කළා. ඒ දේවල්වලට ආසාවෙන් හිටියේ. ඉතිං පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවයි බලාපොරොත්තුවයි නිසා තමා නිරූපණයට එන්න හිතුණේ.

 

ගෙදරින් කැමැති වුණාද?

ඇත්තටම මගේ අම්මා ගොඩක් කැමතියි මේ දේවල් වලට. එයා මාව ගොඩාක් උනන්දු කරනවා. මට ඉස්සරහට යන්න අත දෙන්නෙත් අම්මා තමයි. ඒ වගේම තාත්තා, මල්ලිලා දෙන්නා කැමතියි මම නිරූපණය වගේ දෙයකින් තැනක ඉන්නවා දකින්න. විශේෂයෙන්ම අම්මා තමයි.

 

රඟපාන්න ආස නැද්ද?

රංගනයට ආසයි. නමුත් තවම මට ගැලපෙන දෙයක් ලැබුණේ නැහැ. රැකියාවත් එක්ක කාලයත් වෙන් කරන්න ටිකක් අමාරුයි.

 

දායක වුණු වැඩ කටයුතු මොනවාද?

ගොඩක්ම කළේ ෆොටෝ ෂූට්ස් තමයි. මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ලැබුණා. නමුත් ඒ දේවල්වලට මම දායක වුණේ නැහැ. මොකද ඒ දේවල් මට ගැළපෙන්නේ නැහැ කියලා හිතුණා.

 

සීමා මායිම් හින්දා ගමන ටිකක් හෙමින් කියලා හිතෙන්නේ නැද්ද?

මගේ තියෙන සීමා මායිම් නිසා මට ටිකක් ඉස්සරහට යන්න අමාරුයි. මොකද මම මේ දේවල් කරන්නේ නැහැ කියලා වෙන්කරගෙන ඉන්න නිසා. මම හෙමින් ගමනක් යන්න හිතනවා.

 

ජනප්‍රියත්වයට යන කෙනෙකු නෙමෙයිද?

ජනප්‍රියත්වය කියන්නේ අපි කරන අපේ දක්ෂතාව අනුව හිමි වෙන්න ඕන තැනක්. ඒක නිසා ඒ දේවල් වලට ජනප්‍රියත්වයක් ලැබෙන්න ඕනෙ නම් ලැබෙයි කියා හිතනවා.

 

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රය හොඳයි. නමුත් එක එක්කෙනා අනුව ඒ දේවල් වෙනස් වෙනවා. තමුන් හොඳට ඉන්නවා නම් කොයි ක්ෂේත්‍රයත් හොඳයි.

 

අද බොහෝ දෙනා නිරූපණය තෝරගන්නවා නේද?

නිරූපණය කියන දේ ලේසි නැහැ. ඒ දේ අපි ඉගෙන ගන්න ඕනා. නැතුව නිකං ෆොටෝ එකක් ගැහැව්ව පලියට නිරූපිකාවක් වෙන්නේ නැහැ. මොඩ්ලින් කියන දේ ප්‍රගුණ වෙන්නේ අපි කරන වැඩවලින් ලැබෙන අත්දැකීම් එක්කයි. මට දැනෙනවා මම පටන් ගත්ත කාලයට වඩා තරමක් දියුණු වෙලා කියලා.

 

ලස්සන තිබුණම ඇතිද නිරූපණයට එන්න?

ලස්සන විතරක් තිබුණට මදි. ඒවගේම අපේ යම් කිසි දැනුමක් තියෙන්න ඕනේ. අපි කොහොමද මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනේ, මොන විදිහට හැසිරෙන්න ඕනේ කියන දේ අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි නිරූපණය කිරීමේ දක්ෂතාවත් දැනගෙන ඉන්න ඕනේ.

 

මේ දේවල් ඉගෙන ගන්න ලංකාවේ අවස්ථා තියෙනවද?

ඔව් තියෙනවා. මොඩල් ඒජන්සීස්, ඇකඩමි තියෙනවා. ඒ දේවල් වලින් ඉගෙන ගන්න පුළුවන්.

 

කිරුළක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ආසාවක් නැද්ද?

කිරූළක් පලදින්න ආසයි. නමුත් ලොකු විශ්වාසයක් නැහැ. ඉදිරියේදී බලමු.ආරාධනා ලැබී තියෙනවා ඉදිරිපත් වෙන්න කියලා. බලමු ඉතිං ඒ දේවල් ඉදිරියේදී.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ඉදිරියේදී මීට වැඩිය හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ඉන්න විදිහටම තව හොඳ වැඩ බාර අරගෙන ඉදිරියට යන්න ආසාවෙන් ඉන්නවා. ඒ වගේම මගේ ඉගෙනීම් කටයුතුතු ඉහළටම කර‍ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඉගෙනීම නිසා නිරූපණය අත අරින්න වුණොත්?

නිරූපණයේදී අලුත් අය එනකොට අපිට පසුබහින්න සිදුවෙනවා. මොකද හැමෝටම කාලයක් තියෙනවා. ඉතිං ඒ කාලේදි ඉගෙන ගත්ත දේවල් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.

 

අතහිත දුන් අය ගැන කිව්වොත්?

මගේ අම්මා තාත්තා, මල්ලිලා දෙන්නා. අකිල බණ්ඩාර අයියා, මිතුන් අයියා, මෙනුක බ්‍රයිඩ්ල් හවුස්, මිශෙල් අක්කා, චින්තන එම්. හේරත් අයියා, දීපාල් ගෝමස් අයියා, සජීව අයියා ඇතුළු ගොඩක් අය ඉන්නවා. ඒ අයට හදවතින්ම ස්තුතියි කියනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සජීව ලක්ෂාන්

 

 2018-09-12-ent-02 2018-09-12-ent-03  2018-09-12-ent-05