සමහර ගොසිප් සයිට්වලින් ජීවිතේට වැරැද්දක් නොකරපු අයටත් මඩ ගහනවා



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-09-17-ent-174

පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ රංගන ශිල්පිනියක ලෙස මහේෂි මධුසංඛා හැඳින්විය හැකිය. ඇය සහ තනාෂා සතරසිංහ ගුවන්යානයක පාලක මැදිරියට ගොස් සිටීම පිළිබඳ සමාජ ජාල මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් රැසක් වාර්තා වූ අතර, ඇය විසින් එම වාර්තා තරයේ හෙළා දකිනු ලැබීය. මේ පිළිබඳ සහ ඉදිරි කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස සම්බන්ධ කර ගතිමු.

 

රංගනයෙන් දායක වුණු වැඩ ඉවරද?2018-09-17-ent-176

ඔව්. අවසානයේ දායක වුණු ‘අළු’ කියන ටෙලිනාට්‍යය විකාශය වෙලා ඉවරයි. ඒක විකාශය වුණේ ජාතික රූපවාහිනියේ. ඒකෙ වැඩ ඉවර වෙලා මාසයක් විතර වෙනවා.

 

ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. වෙනදා විදියටම තමයි. ප්‍රේක්‍ෂකයන් කොහොමත් හොඳින් කතා කරනවා.

 

අලුත් නිර්මාණ භාර ගත්තේ නැද්ද?

තාම නැහැ.

 

වැඩමුළුවක් එක්ක නේද වැඩිපුරම කාලය ගත කරන්නේ?

පසුගිය දවස්වල ‘ෆේෂියා’ එකේ වැඩමුළු කිහිපයක් තිබුණා. ඒවත් එක්ක කාලය ගත කෙරුණා. ඒකට ගොඩක් අය ආවා. ඒ දේවල් සාර්ථක වුණ එක ගැනත් සතුටක් තියෙනවා.

 

චිත්‍රපටවල දකින්නෙ නැත්තේ ඇයි?

ආරාධනාවක් ලැබුණා. ඒක ගැන නම් ලොකු විස්තරයක් කියන්න දැන්ම බැහැ. ඒකෙ වැඩකටයුතු වෙමින් පවතිනවා. ඉදිරියේදී කියන්නම්.

 

ඇයි චිත්‍රපටවලට වැඩිය දායක වෙන්නෙ නැත්තේ?

අපට ගැළපෙන ඒවා වෙන්න ඕන. ඒ වගේම තමයි තමන්ට දැනෙන්න ඕන ඒ දේ කරන්න පුළුවන් කියන එක. ඒකත් එක්ක තමයි කල් ගියේ. ආරාධනා නම් ලැබුණා. හැබැයි දැන් ලැබිලා තියෙන එක හොඳයි කියලා හිතනවා. ඉදිරියේදී බලමු.

 

අලුතින් ටෙලි නිර්මාණ සඳහා දායක වෙන්නේ නැද්ද?

ආරාධනා ලැබුණා. නමුත් ප්‍රශ්න තියෙනවානේ. මොකද ලොකේෂන් ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ. කාලය කියන දේ බේරගන්න ඕනනේ. ආරාධනා ලැබුණාට සමහර චරිතත් එක්ක තෘප්තිමත් වෙන්න බැහැ. මට වඩා ඒක තව කෙනෙකුට හොඳට කරන්න පුළුවන් නම්, එතකොට මං කරන එක වැදගත් වෙන්නෙ නැහැ. ඒ නිසා තමන්ට දැනෙන්න ඕන කරන්න පුළුවන්ද, බැරිද කියන එක. එහෙම මට කරන්න පුළුවන් කියන චරිතයක් ලැබුණේ නැහැ තාම.

 

ගොඩක් අය හිතන්නේ රංගන ශිල්පිනියක් වුණාම හරි කාර්යබහුලයි, ඒ නිසා පවුල් ජීවිතය මගහැරෙනවා කියලා නේද?

ඒක තනිකරම බොරු දෙයක්. අපේ මිනිස්සු ලේබල් එකක් ගහගෙන ඉන්නවානේ රංගන ශිල්පිනියන්ගේ පවුල් ජීවිත මෙහෙමයි කියලා. අපි සාමාන්‍ය ජීවිතයේ සමාජයට ගිහිල්ලා බැලුවොත් කොච්චර දෙනෙක් දික්කසාද වෙලා ඉන්නවාද? නමුත් ඒ දේවල් ගැන කතාබහට ලක්වෙන්නේ නැහැනේ. ක්‍රිකට් තරුවක් හරි, දේශපාලනඥයෙක් හරි දික්කසාද වුණොත් තමයි ලොකුවට කතා කරන්නේ. කවුරුහරි දික්කසාද වෙන්නේ එකට ඉන්න බැරි නිසානේ. කලා ක්‍ෂේත්‍රයේ අය ගොඩක් දුරට දික්කසාද වෙන්නේ ඔවුන් කාර්යබහුලත්වය නිසා කියලයි මම හිතන්නේ. ඒක මම හිතන විදිහ. රංගන ශිල්පීන් කියන්නෙත් මිනිස්සු. ඔවුන්ටත් හැඟීම් දැනීම් තියෙනවා. විශේෂයෙන් රංගන ශිල්පීන් කියන්නේ සංවේදී මිනිස්සු. ඒක මං හොඳටම දන්න දෙයක්. රංගන කියන්නේ අමාරු කාර්යයක්. කොච්චර ප්‍රශ්න තිබුණත් කැමරාව ඉස්සරහට ගිහිල්ලා ඒ ප්‍රශ්නය එක්ක ඉන්න බැහැ. බොහෝම සංවේදී කොට්ඨාසයක් තමයි කලා ක්‍ෂේත්‍රයේ ඉන්නේ.

 

ලැබෙන ජනප්‍රියත්වය නිසා කලකිරීම් ඇති වෙලා නැද්ද?

කලකිරීමක් ඇති වෙන්නේ ගොසිප් ගැන විතරයි. මඩ ගහන්න ඕන. හැබැයි එහෙම කරනවා නම්, සාක්‍ෂි ඇතුව වීඩියෝ හෝ අදාළ දේ ඔප්පු කරන්න පුළුවන් දේවල් ඇතුවයි කරන්න ඕන. යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ ප්‍රේක්‍ෂකයන් දැන ගන්න ඕන. දේශපාලනයේ හරි කලාවේ හරි සාක්‍ෂි නැතිව මඩ ගහන එක මම නම් අනුමත කරන්නේ නැහැ. මාධ්‍යවේදීන් විදියට ඔවුන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් පත්තරවලට යම්කිසි දෙයක් ලියනවා නම් ලියන්නේ අපෙන් අහලා. ඔවුන් ඒ කාරණාව ගැන හොයා බලනවා. නමුත් සමහර ගොසිප් සයිට්වලින් ජීවිතේට වැරැද්දක් නොකරපු අයටත් මඩ ගහනවා. ඉතිං ඒක ගැන කනගාටුවට පත් වෙනවා. ලංකාවේ ප්‍රේක්‍ෂකයන් ගැන කනගාටුවට පත්වෙන්නේ නැහැ කවදාවත්ම. මොකද අපි වුණත් ඒ වගේ දෙයක් කියවලා බලනකොට අපටත් හිතෙන දෙයක් තමයි, %අයියෝ අපි මේවගේ අයටද ආදරේ කළේ, මේ අයගේ නිර්මාණද අපි බැලුවේ^ කියලා. නමුත් යම්කිසි දෙයක් හොයලා, බලලා සාක්‍ෂි ඇතුව දානවා නම් මම නම් කැමැතියි.

 

පසුගිය දවස්වල සිදු වුණු සිදුවීම ගැන කලකිරිලද කතා කරන්නේ?

අනිවාර්යයෙන්ම ඔව්. අපි ඒකට නඩු මාර්ගයෙන් ගන්න පුළුවන් උපරිම පියවර අරගෙන තියෙන්නෙ. මේ වන කොට ඒ ගොසිප් සියල්ලම ගැලවිලා තියෙන්නේ. මම කියන්නේ ඕක මුලින්ම කරන්න තිබුණු දෙයක්. මුලින්ම හොයලා, බලලා වීඩියෝ දාලා කරන්න තිබුණා. එහෙම පෙන්වන්න දෙයක් නැත්නම් ඇයි බොරුවට මිනිසුන්ට අපහාස කරන්නේ. මගේ පවුලේ අය, ස්වාමිපුරුෂයා ඇත්ත දන්නවා. නමුත් අපට හැම එක්කෙනාම ළඟට ගිහින් කියන්න බැහැනේ මේකයි වුණේ කියලා. ඒ නිසා හරියට කලකිරුණා. පත්තරවලින් නම් එහෙම දෙයක් කළේ නැහැ. ලංකාවේ පත්තර ටික හැම දෙයක්ම හරි විදිහට ලියලා තිබුණා. මනුස්සයෙක්ගේ චරිතයක් ඝාතනය කරනවා කියන්නේ කොච්චර වැරදි දෙයක්ද?

 

ගොසිප් නිර්මාණය වෙන්නේ ඔවුන්ගේ වාසිය නිසා කියලද ඔබ හිතන්නේ?

ඔව්, වීව්ස් වැඩිකර ගන්න. ඔවුන්ට ඒ දේවල්වලින් යම්කිසි මුදලක් ලැබෙනවා. ගොසිප් සයිට්වල ඉන්න කට්ටිය අම්මා, තාත්තා විකුණලා හරි මාර්කටින් වැඩිකර ගන්න තමයි බලන්නේ.

 

ජනප්‍රියත්වයක් තියෙන ඕනෑම පුද්ගලයෙකුට වෙන කාරණාවක් නිසා මේ දේ නතර කරන්න බැහැ නේද?

මේ දේවල් නතර කරන්න මාධ්‍යවේදියෝ තමයි ක්‍රියා කරන්න ඕන. අද වෙද්දි මිනිස්සු පත්තරයක්වත් බලන්නේ නැහැ. අද ගොඩක් දෙනෙක් ෆේස්බුක් එකට යනවා. ඒකෙ ශෙයාර් වෙන එකක් දැක්කාම ඒක ඇත්ත කියලා තීරණය කරලා ඉන්නවා. මම හිතනවා පත්තරවලින් සහ මාධ්‍යවේදීන් තමයි මේවාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. අද චිත්‍රපට බලන්න. ගොඩක් අය චිත්‍රපට ශාලාවට ගිහින් චිත්‍රපට බලන්නේ නැහැ. මොකද ඒක තිරගත වෙලා මාස දෙකකින් විතර සීඩී එකක් එනවා. ඒක තමයි බලන්නේ. මිනිස්සුන්ට මඩ ගැහුවට කමක් නැහැ, හැබැයි හොයලා බලලා සාක්‍ෂි ඇතුව. ඒ අය කිව්වා ෆොටෝස් තියෙනවා, වීඩියෝ තියෙනවා කියලා. කෝ දැන් ඒවා.

 

ගොසිප් වෙබ් අඩවි ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ ගොසිප් සයිට් කරන අය කසාද බැඳලද ඉන්නේ කියලවත් මං දන්නේ නැහැ. කාගේ හරි බිරිඳකට, දරුවෙකුටනේ මඩ ගහන්නේ. මං බෞද්ධ, මම කර්මය සෑහෙන්න විශ්වාස කරනවා. ඕවා අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපි නීති මාර්ගයට ගියාම ඇයි ඒ දේවල් ගැලෙව්වේ. ඇත්ත නම් තියන්න තිබුණානේ.

 

ඒ ගොසිප් එක නිසා ඔබට ආදරය කරන රසික පිරිස් ඔබව විවේචනය කළේ නැද්ද?

මගේ නෑදෑයෝම කෝල් කරලා මගෙන් ඇහුවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ දාන දේවල් නිසා බොහෝ දෙනෙක් අවුල් වෙනවා. ඉතිං මම හිතනවා නිළියක් වුණත්, කවුරු වුණත් ගෑනු කෙනෙක්නේ. ගොසිප් දාන කොට ඇත්ත විස්තරයක් දැම්මට දුක නැහැ. කිසිදු ඇත්තක් නැතුව බොරුවට මිනිසුන්ට අපහාස කරන එක ගැන කනගාටු වෙනවා.

 

සැමියා මොකද කිව්වේ?

බොහෝ දෙනෙක් දන්න දෙයක් තමයි ශ්‍රී ලංකන් එයාර් ලයින් වැඩ කරන රංගන ශිල්පීන් පවා ඉන්නවා. ඉතිං ශ්‍රී ලංකන් එයාර් ලයින් කියන්නේ අපට නුපුරුදු තැනක් නෙමෙයි. මොකද ඒකෙ ඉන්නේ ලංකාවේ අය සහ ගොඩක් අයව මම හඳුනනවා. ලෑන්ඩ් කළාම තමයි අපි කොක්පිට් එකට ගියේ. නැතුව පයිලට්ගේ ඇස්දෙක වහලවත්, කඩාගෙන වැටිලවත් නෙමෙයිනේ. එයා හිනා වුණා. ඔහු අපි වගේ කෑගහගෙන දඟලන කෙනෙක් නෙමෙයි. ඔහු බොහෝම නිහඬව තීරණ ගන්න කෙනෙක්. ඔහු තමයි කිව්වේ නීති මාර්ගයට යන්න කියලා. ඔහුගේ යාළුවොත් කෝල් කරලා අහන්න ගත්තා මොකක්ද මේ දේ කියලා.

 

දේශීය ටෙලි නිර්මාණ ගැන අදහස?

අපේ ලංකාවේ ගොඩක් දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෝ ඉන්නවා, තිරපිටපත් රචකයෝ ඉන්නවා. මේ දේවල් කොහොම තිබුණත් ලංකාවේ තැන තියෙන්නේ ඉන්දියානු ටෙලිනාට්‍යවලටයි. වැඩිය ඕන නැහැ අපේ අම්මත් බලනවා ඉන්දියානු ටෙලිනාට්‍යය. එයත් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ. එයා මගේ නාට්‍යයි, ඉන්දියානු ඒවයි බලන්නේ. මම ඇහුවා ඇයි කියලා. එයා කියන්නේ එක කොටසක් බැලුවාම අනෙක් කොටස බලන්න ආස හිතෙනවා කියලා. ඇත්ත. ඒ නාට්‍යය නිෂ්පාදනය කරන්නේ ලොකු මුදලක් වියදම් කරලා. අපේ ලංකාවේ දක්‍ෂ රංගන ශිල්පීන් ඉන්නවා. ඔවුන්ව පාවිච්චි කරලා හොඳ නිර්මාණ කරන්න පුළුවන්. මම හිතනවා නිෂ්පාදකවරුන් වැඩි වෙලා නාළිකාවලින් ගෙව්වා නම් මේ දේවල් වෙනස් වෙන්න තිබුණා.

 

සම්මාන උළෙලවල ක්‍රියාවලිය හරියාකාරව සිදු වෙනවාද?

ඒක නම් මම දන්නේ නැහැ. ඒ ගැන නම් අහන්න එපා.

 

රසිකයන් වෙනුවෙන් කියන්න තියෙන්නෙ මොකක්ද?

මම ගැන නෙමෙයි, ඕනෑම රංගන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියෙකුගේ ගොසිප් එකක් දැම්මා ඒවා විශ්වාස කරන්න එපා කියලා තමයි කියන්නේ. පත්තරේක ඔවුන් ගැන යන දෙයක් විශ්වාස කරන්න. ගොසිප් අයට ඕන මුදල් හම්බ කරන්න. ශෙයාර් කරලා, ඒවා හැම තැනටම යවලා ඒ දේවල්වලින් ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙනවා. මගේ හිතට එකඟව කිසිදු වරදක් කරලා නැති නිසා මම දුක්වෙන්නේ නැහැ. බොරු දේවල් ගැන මවාපාලා ප්‍රචාරය කිරීම ගැන කනගාටුවක් තියෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

 2018-09-17-ent-175