මට නම් ජීවිතේටවත් මගේ නවකතාවකට සම්මානයක් ඕනි නැහැ සමන් එදිරිමුණි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමන් එදිරිමුනිගේ  ‘සුළඟ නුඹ සහ මම’ නවකතාව අද එළදකී

මාධ්‍යවේදියෙකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයෙකු, ගුරුවරයෙකු ලෙස විවිධ ක්ෂේත්‍රයන්හි සිය දක්ෂතා ප්‍රකට කළ නිර්මාණකරුවෙකු වන සමන් එදිරිමුණි ‘තරුණයා’ පුවත්පතට ලියූ  නවකතාවක් වන ‘සුළඟ නුඹ සහ මම’ කෘතියක් ලෙස ජනගත කිරීම අද (18දා) සවස 03.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිදුකෙරේ. මේ ඒ පිළිබඳව සමන්  එදිරිමුණි සමගින් කළ කතාබහකි.

‘සුළඟ නුඹ සහ මම’ ඔබ හඳුන්වල දෙන්නේ කොහොමද?

උඩවලව ප්‍රදේශයේ පාසල් යන තරුණ ළමුන් පිරිසකගේ ආදර කතාවක් වටා ගෙතුණු නවකතාවක් තමයි ‘සුළඟ නුඹ සහ මම’ නවකතාව කියන්නේ. නවකතාව මම පළමුව රචනා කරන්නේ ‘තරුණයා’ පුවත්පතට. හැබැයි මේක මම ‘තරුණයා’ පුවත්පතට රචනා කළ තුන්වැනි නවකතාව. මීට අවුරුදු දහයකට කලින් රචනා කළ, හැබැයි පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ නවකතාව විදිහට ‘සුළඟ නුඹ සහ මම’ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මමත් වැඩියෙන්ම කැමැති නවකතාව විදිහට ‘සුළඟ නුඹ සහ මම’ හඳුන්වන්න පුළුවන්. එහි පළමු කොටස තමයි මෙයාකාරයෙන් නවකතාවක් විදිහට පළවෙන්නේ. ඉදිරියේදී අපි මෙහි දෙවැනි කොටසත් මුද්‍රණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

20190917Ediri-1

සමන් එදිරමුණි කොතනද නවකතාකරුකරුවෙක් විදිහට ස්ථානගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ ?

මට එහෙම බලාපොරොත්තුවක් නැහැ. අනික මම ලියන ඒවා නවකතාද කියල මම දන්නෙත් නැහැ. ඒ හින්ද වර්ගීකරණයක් මට ඕනිම නැහැ. ඒක පාඨකයාට වැදගත් වෙන්නෙත් නැහැ. මොකද පාඨකයා දන්නවා මගේ ලිවිල්ල ගැන. ඒ නිසා මගේ නවකතාවට වර්ගීකරණයක් ඉල්ලා සිටින්නේ සම්භාව්‍ය යැයි කියන ලේඛකයෝ සහ විචාරකයන් පමණයි. ඔවුන්ට තමයි සම්මාන ප්‍රදානෝත්සව වැදගත් වෙන්නේ. සම්මාන ඉල්ලන්නේ එයාලා. නැතුව අපි නෙමෙයි. මට නම් ජීවිතේටවත් මගේ නවකතාවකට සම්මානයක් ඕනි නැහැ. එහෙම තැනක වාඩිවෙලාවත් ඉන්න කැමැති නැහැ. ඒ නිසා මම කැමැතියි මාව ‘කතන්දර කියන්නෙක්’ (Story Teller) විදිහට හඳුන්වල දෙන්න. ඒක කලාවක්. හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රසයත් පවත්වාගෙන, අහන්න ඉන්න කෙනාව,බලන්න ඉන්න කෙනාව රඳවාගෙන ඉන්න කලාවක් විදිහට කතන්දර හඳුන්වන්න පුළුවන්.

එදා ඔබේ ලේඛන කලාවේ භාවිතාව හා සංසන්දනය කිරීමේදී දැන් භාවිතාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද ?

‘සුළඟ නුඹ සහ මම’ ලියූ එදා මම බොහොම නිස්කලංකයි. කාර්යබහුල නැහැ. ඒ නිසා කාර්යබහුල නොවන නවකතාකරුවෙකු ලියූ නවකතාවක් සහ කාර්යබහුල නවකතාකරුවෙක් ලියන නවකතාවකට වඩා රසයෙන් අනූන වෙන්න පුළුවන්. මොකද මම වෙනදා තරම් සංයමකින් නෙමෙයි ඉන්නේ. ‘සුළඟ නුඹ සහ මම’ මම මගේ පළමු නවකතාව හැටියට පාඨකයාට තිළිණ කරන්නේ ඒකයි. තවත් එවැනි නවකතා දොළහක්ම ප්‍රකාශය වීමට නියමිතයි. එම කෘතීන් ජනතාගත වන අතරවාරයේ මට පුළුවන් මගේ සංයමයට වෙලාවක් හදාගන්න. මොකද පිටපත් ලියන වේගයෙන් නවකතා ලියන්න බැහැ. අනික මම ලියූ පිටපත්, ටෙලිනාට්‍ය පිටපත් විදිහට හඳුන්වන්නවත් මම කැමැති නැහැ.  ඒවා දෙබස් රචනා විතරයි.  ඒ නිසා මම ඒ කාර්යය කරන්නේ මගේ ජීවන වෘත්තිය විදිහට. මොකද ලිවීම තමයි මගේ ජීවන වෘත්තිය. නවකතාවක් ලියල ජීවත්වෙන්න බැහැ. නවකතාවක් ඇතුළේ සිදුවීමක් නිර්මාණය කරද්දි සම්පූර්ණයෙන්ම නිර්මාණ කාර්යය සිදුකළ යුත්තේ නවකතාකරුවාමයි. පාඨකයාගේ මනසේ ඔහුට/ඇයට ගෝචර වන ලෙස මනසේ චිත්‍රණය කිරීම තමයි නවකතා මාධ්‍යයේ පවතින අභියෝගය.  

කෙසේ නමුත් මුදල් හම්බකිරීම වෙනුවෙන් තමන්ගේ ජීවන විලාසය පාවාදීම සදාචාරාත්මකද ?

අපි පොඩි කාලේ ක්‍රිකට් ගැහුවේ සල්ලි හොයන්න නෙමෙයි. හැබැයි අපි හැම කෙනෙක්ගේම හිතේ තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියල. ඒ නිසා කවුරුහරි මට ඔවැනි චෝදනාවක් කරනව නම් ලෝකෙම දිනපු කුමාර් සංගක්කාරත් කෝටිපතියෙක් තරම් සල්ලි හම්බ කරල කළේ රට පාවා දුන්නු එකද වෘත්තිය පාවාදීමක්ද කියල මම අහන්න කැමැතියි.

සමන් එදිරිමුණිගේ රසික පිරිස බිහිවෙන්නේ මුද්‍රිත මාධ්‍ය හරහා. ඒ නිසා මුද්‍රිත මාධ්‍ය හරහා ඔබ බිහි නොවුණා නම් මෙවැනි නවකතාවක් එළිදකියිද ?

ලංකාවේ ලිවිල්ල මේ මොහොතේ පවතින තැන මම දැක්කේ දශකයකට කලින්. ඒ නිසයි අන්තර්ජාලය හරහාත් මම ලියන්න පටන් ගත්තේ. අද වෙද්දි පණස් දහසක හැට දහසක පාඨක පිරිසක් මට ඉන්නවා. මම කියන්නේ නැහැ මේවා ලොකු ගණන් කියල.

20190917Ediri-2හැබැයි අන්තර්ජාලය තුළ නවකතාවක් පළ කිරීම අතිශයින් අනාරක්ෂිතයි නේද ?

මගේ නිර්මාණයකට එවැනි අසාධාරණයක් වුණොත් ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැටි මම හොඳට දන්නවා. ඒක දැනගෙනයි නිර්මාණකරණයේ යෙදෙන්නේ. නොදැන නෙමෙයි. හැබැයි සංකල්ප සොරාගැනීම නවත්වන්න බැහැ. නැවැත්විය යුතුත් නැහැ. මොකද එකම කතාවක් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඕනැම කෙනෙක්ට තියෙනවා. ඒ නිසා ඒක අනන්‍ය හැකියාවක්. ඒ මිසක් අනන්‍යතාවය හොරකම් කරන්න කාටවත් බැහැ.

ලංකාවෙන් පුවත්පත් කලාව තුරන් වෙයි කියලද ඔබ හිතන්නේ ?

නැහැ. විතැන් වීමක් විතරයි සිදුවෙන්නේ. ‘තරුණයා’ පුවත්පතත් මෑතකදි ඩිජිටල් වුණා. අනික පොත්හල් හිමියන් විසින් පවත්වාගෙන යන ඒකාධිකාරයත් ඉදිරියේදී කඩා වැටීමට නියමිතයි. මොකද අද වෙද්දි ලේඛකයාට පොතකින් ලැබෙන්නේ සියයට දහයයි. ඒත් පොත්හල් හිමියා සියයට හතළිහක් ගන්නවා. ඒක අතිශයින් අසාධාරණයි.

ඒ නිසාද ඔබ අන්තර්ජාලය හරහා පමණක් ඔබේ නවකතාව අලෙවි කරන්නේ ?

ඔව්. මගේ නවකතාවට සාධාරණ මිලක් (20’) නොලැබුණොත් මම පොත්හල් හිමියන්ට මගේ පොත දෙන්නේ නැහැ. ඒ නිසා පොත්හල් හිමියන්ට අනිවාර්යයෙන්ම තමන්ගේ ලාභ ප්‍රතිශතය අඩු කරන්නම වෙනවා. එහෙම අඩු නොකළොත් සියලුම ලේඛකයන් තමන්ගේ කෘති අන්තර්ජාලය හරහා විකිණීම වැඩි ඈතක නැහැ.

ලංකාවේ ජනප්‍රිය සාහිත්‍යය වෙනුවෙන් පෙනී සිටින විචාරක පරම්පරාවක රික්තයක් පවතිනවා නේද ?

ඔව්. විචාර අවශ්‍යයි. ඒත් ලංකාවේ විචාරකයන් පුද්ගලබද්ධයි. අපක්ෂපාතී නැහැ. ඔවුන් අනුන්ගේ පොත්වලට පොර ටෝක් දීලා පොරක් වෙන්න හදන පට්ට කුහකයෝ විතරයි. එවැනි පසුබිමක කොහොමද යහපත් විචාරක පරපුරක් බලාපොරොත්තු වෙන්නෙ.

 

සන්නිවේදනයේ දියුණුවත් එක්ක දරුවන් කියවීමෙන් ඈත් වෙලා කියල බරපතල චෝදනාවක් තියෙනවා ?

අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද තමයි මේකට හේතුව. අද වෙද්දි දරුවන්ගේ රැකියාව වෙලා තියෙන්නේ අධ්‍යාපනය. පාසැල් කාලේ හදන ජාතික හැඳුනුම්පතේ පවා රැකියාවට යොදල තියෙන්නේ ශිෂ්‍ය කියල. ඒත් රක්ෂාව කියල කියන්නේ අපි රැකෙන දේ. එතකොට ඒකද ශිෂ්‍ය කියල කියන්නේ? අද වෙද්දි දරුවාගේ එකම කාර්යභාර්යය වෙලා තියෙන්නෙත් අධ්‍යාපනය ලැබීම පමණයි. අනික හැම විෂයකින්ම ලැබෙන ගෙදර වැඩ එක්ක පොත් කියවන්න, පොත් ලියන්න,ගීත අහන්න ඔවුන්ට වෙලාවක් නැහැ කොහොමත්. ආණ්ඩුවත් උඩගෙඩි දෙනවා ඒකට.   මොකද දෙමාපියොත් කැමැති ඒකට.

ඒ කියන්නේ දෙමාපියෝ තමයි වැරැද්ද කරල තියෙන්නේ ?

කියවීම හුරු කරවිය යුත්තේ පොඩි කාලෙමයි. පස්සේ පසුතැවිලා වැඩක් නැහැ. පොඩි කාලේ තමයි ළමයි කතන්දර අහන්නත් ආස. එතකොටයි ඔවුන් හොයාගෙන කියවන්න පුරුදු වෙන්නේ. මමත් මගේ දරුවන්ට පුළුවන් සෑම වෙලාවකම කතන්දරයක් කියල දෙනවා. අපි පොඩි කාලේ ගත කරපු හැටි කියල දෙනවා. එහෙම කියල දුන්නෙ නැත්නම් එයාලට නිර්මාණ කෙරේ පවතින රුචිකත්වය නැතුව යනවා. එතකොට තමයි රොබෝවරු බිහිවෙන්න පටන් ගන්නේ. තව පරම්පරා තුනක් මෙහෙම ගියාම ඒ රොබෝවරු ටික බලාගන්න පුළුවන් වෙයි.

 

මාලන් විදානපතිරණ

20190917Ediri-3