අපිට කවදාවත් ගෙදරින් කිසිම දවසක බල කළේ නැහැ මියුසික් කරන්න කියලා



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-08-22-ent-65

සරිත් සහ සුරිත් කියන දෙපළ අද වනවිට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු අතර ජනප්‍රියත්වයට පත් දෙපළක් බව කිව යුතුය. සිරස නාළිකාවේ ‘පොඩ්ඩන්ට පුළුවන්’ වැඩසටහන ඔස්සේ බිහිවුණු මොවුන් මේ දිනවල එම නාළිකාවේ 16 + වැඩසටහන ඔස්සේ ඔවුන්ගේ දක්ෂතාවන් ගෙන එනු ලබයි. එහිදී නිර්මාණය වන ගීත අද වනවිට බොහෝ දෙනා ආදරයෙන් වැලඳගෙන සිටියි. සංගීත කණ්ඩායක් වශයෙන් ඉදිරියට පැමිණි තිබෙන ‘Sarith Surith and the News’ කණ්ඩායමේ කටයුතු පිළිබඳවයි මේ කතාබහ.

 

මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා විශාල ජනප්‍රියත්වයක් හම්බවෙනවා නේද?2018-08-22-ent-64

ඔව්, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අපි ගැන ගොඩක් දෙනෙකු කතා කරනවා. ඒ 16+ වැඩසටහන නිසා. සිරස නාළිකාවේ ඉරිදා සවස 5.00ට. මේකේ මියුසික් ඩිරෙක්ටින් පාර්ට් එක කරන්නේ තාත්ති. ඒ කියන්නේ ජගත් ජයවර්ධන. ඒකේ ප්ලේ කරන්නේ කරන්නේ අපි දෙන්නාගේ බෑන්ඩ් එක. Sarith Surith & the News බෑන්ඩ් එක. මේන් බෑන්ඩ් එකේ ලයින් අප් එකට අමතරව තව ප්ලෙයර්ස්ලා යොදා ගන්නා ඒ එපිසොඩ් එකත් එක්ක.

 

බෑන්ඩ් එක පටන් අරන් කොච්චර කල් වෙනවාද?

අවුරුදු එකහමාරක් විතර වෙනවා.

 

බෑන්ඩ් එකට ටික කාලයක් වුණත් දැන් නේද බෑන්ඩ් ප්‍රමෝට් වෙන්න පටන් ගන්නේ?

අපි මුලින්ම බෑන්ඩ් එක පටන් ගන්න කොට මේ බෑන්ඩ් එකේ ඔක්කෝම ඉස්කෝලෙ යන කට්ටිය හිටියේ. බෑන්ඩ් එකක් වශයෙන් අපේ ඔරිජිනල් සෝන්ග් එක අපි රිලීස් කළේ ගිය අවුරුද්දේ. ඒක ‘ඉර වෙනස්’ වෙලා කියන ගීතයයි. ඊට පස්සේ Y Fm එකේ Y Unplugged එකත් එක්ක එකතු වුණා. අපි මුලින්ම ආර්ටිස් බැකින් වගේ ප්ලේ කළා. 16+ වැඩසටහනත් එක්ක සෝෂල් මීඩියාවල අපි ගැන කතාකරන්න ගත්තා.

 

සරිත් සුරිත් බිහිවෙන්නේ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් මතක් කළොත්?

සරිත් සුරිත් බිහිවෙන්නේ සිරස නාළිකාවේ ‘පොඩ්ඩන්ට පුළුවන්’ කියන වැඩසටහනත් එක්ක. ඒ 2012 දී අපි පළමු තැන ජයග්‍රහණය කරන්නේ. ඒ පටන් ගත්ත එක තමයි මේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට එන්නේ.

 

සංගීත පසුබිමක් එක්ක තියෙන පවුලක් නිසා මේ කාර්ය සඳහා උපරිම සහයෝගයක් ලැබෙනවා ඇති නේද?

ලොකු සහයෝගයක් ලැබෙනවා. තාත්තිත් මියුසික් වලට සම්බන්ධයි. මියුසික් කම්පෝසර් කෙනෙක් වගේම ගීත රචකයෙක්. එයා ඒ වගේම ආනන්දේ ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ පරිසරයත් එක්ක තමයි අපි සංගීතය කියන දේ ඉස්සරහට කරගෙන යන්නේ.

 

පවුලේ සංගීත පසුබිමක් තියෙන නිසා සරිත් සුරිත් කියන දෙපළ බිහිවෙන්නේ?

නැහැ. අපිට කවදාවත් ගෙදරින් කිසිම දවසක බලකළේ නැහැ මියුසික් කරන්න කියලා. මොන දේ කළත් හරියට කරන්න කියලා තමයි අපිට හැම වෙලාවෙම කිව්වේ. මියුසික් කියන දේ තෝරගත්ත නිසා ඒදේ තුළත්, ‘සවුන්ඩ් ඉන්ජිනියරින්’ ඉගෙන ගත්තා. ඒ වගේම ‘ඕඩියෝ ඉන්ජිනියරින්’ ඉගෙන ගන්නවා. ඒ වගේම මියුසික් ඩිප්ලෝමා එකේ විභාගත් ග්‍රෙඩ් සෙවන් වෙනකන් ඉගෙන ගෙන ඉවරයි. තව එකයි තියෙන්නේ. මියුසික් එකත් එක්ක යන්න ඕන එඩියුකේෂන් පැත්ත තියෙනවානේ, ඒ පැත්ත අපි ප්‍රගුණ කරලා ඉවරයි.

 

බෑන්ඩ් එකේ නම ‘නිව්ස්’ වෙන්නේ ඇයි?

බෑන්ඩ් එකට නම දැම්මේ තාත්ති තමයි. නිව්ස් කියන්නේ අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙන නිසයි. අලුත් දෙයක් කියන්නේ නිව්ස් එකක්නේ. ඒ හින්දා තමයි අපි ඒ වගේ නමක් දැම්මේ.

 

ලංකාවේ සංගීත කණ්ඩායම් අතරින් යම් කිසි සංගීත කණ්ඩායමක් අනුගමනය හෝ අනුකරණය කරනවාද?

ලංකාවේ බෑන්ඩ් දකිනවා. අනුකරණය නම් කරන්නේ නැහැ. අපේ සද්දයක් තමයි අපි හොයාගෙන යන්නේ.

 

කණ්ඩායමේ සමාජිකයන් ගැන කිව්වොත්?

අපේ බෑන්ඩ් එකේ සාමාජිකයන් පස්දෙනෙක් ඉන්නවා. සරිත් ජයවර්ධන (ලීඩ් ගිටාර්), මගේ මල්ලි සුරිත් ජයවර්ධන (ඩ්‍රම් සෙට් එක), රශ්මික (කීබෝර්ඩ්), වෙනුක් (බේස් ගිටාර්), විහාර (රිදම් ගිටාර්), කාංචනා (ෆීමේල් වෝකලිස්ට්) වශයෙන් කටයුතු කරනවා.

 

ළබාල සංගීත කණ්ඩායමක් වශයෙන් මුලින්ම නිර්මාණය වන්නේ Sarith Surith and the News කියන බෑන්ඩ් එකද?

මං හිතන විදිහයට අපි බෑන්ඩ් එක පටන් ගන්න කොට අපේ වයසේ බෑන්ඩ් එහෙම එකක් තිබ්බේ නැහැ. මම හිතන්නේ ආර්ටිස්ට් බැකින් ප්ලේ කරන බෑන්ඩ් එකක් විදිහට අපි විතරයි ඉන්නේ. දන්න තරමින් තිබුණේ නැහැ. දැන්නම් හැබැයි අපිත් එක්ක කතාකරලා දියුණු වෙලා බෑන්ඩ් කිහිපයක් පටන් අරන් තියෙනවා. ඒ ගැන හරි සතුටුයි. අපි බෑන්ඩ් එකක් පටන් ගත්ත නිසා, අපි මියුසික් ප්ලේ කරන නිසා තව කවුරු හරි දෙයක් කරනවා නම් හරි සතුටුයි.

 

වර්තමානයේ ඔබ දෙපළට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම කියන්න බැරි තරම් සතුටක් තියෙන්නේ. මොකද අපි මියුසික් වලින් කරන දේවල් ගැන බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා කියන්නේ ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට.

 

සංගීත කණ්ඩායමක් වශයෙන් රසිකයන් වෙනුවෙන් මොකද කරන්නේ?

අපේ බෑන්ඩ් එකේ අපි දෙන්නගේ මියුසික් එක්ක බෑන්ඩ් එකේ ලයින්අප් එක වෙනස් දෙයක් වෙලා තියෙනවා සහ දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි තාම මේ සංගීත කණ්ඩායම් කියන දේ හදාරමින් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ දේවල් එක්ක අපි දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න බලාපොරොත්තු වෙනවා.

 

සාමාජිකයන් ගොඩනැගෙන්නේ යළුකමටද? නැත්නම් දක්ෂතාවටද?

අපේ කණ්ඩායමේ යාළුකමට ඉන්න සාමාජිකයන් පිරිසක් නෙමෙයි ඉන්නේ. ඒ අයගේ තියෙන දක්ෂතාවත් එක්ක තමයි අපි කණ්ඩායමට කට්ටිය එකතු කර ගන්නේ. අපි දෙන්නම ඉගෙනුම ලබන්නේ ආනන්ද විද්‍යාලයේ. කීබෝර්ඩ් වාදකයා සහ රිදම් ගිටාර් වාදකයා ආනන්ද විද්‍යාලයේ. බේස් ප්ලේ කරන කෙනා ඉන්නේ St’ පීටර්ස් විද්‍යාලයේ. අපි කවුරු හරි බෑන්ඩ් එකට ගත්තේ ඒ අයට දක්ෂතාව අනුව මිස යාළුකමට නෙමෙයි.

 

කණ්ඩායමක් විදිහට පැවැත්මක් ඉදිරියට තිබිය යුතුනම් සාමාජිකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

අපේ මේ සාමාජිකයන් ඔක්කෝම ඉගෙන ගන්න වයසේ ඉන්න අය. මේ අයගේ දෙමවුපියන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉගෙන ගැනීමත් එක්ක මියුසික් කරගෙන යන්න ඕනේ. කණ්ඩායමක් විදිහට ඉස්සරහට එන්න ලැබුණේ ඒ පසුබිමෙන් ලැබුණු සහයෝගයත් එක්කයි. අපේ තාත්තිගෙනුත් බෑන්ඩ් එක මූලික කරගෙන අධ්‍යාපනය පස්සට දාලා කරන්න දෙන්නෙම නෑ. ඒ කියන්නේ සංගීත වගේම අධ්‍යාපනය කියන දේටත් මූලික තැන දෙන්න ඕනේ කියන දේ අපි ඉන්නවා වගේම අපේ දෙමවුපියනුත් ඉන්නවා.

 

නිර්මාණය වී ඇති ගීත ගැන කිව්වොත්?

අපි මුලින්ම එළිදැක්වූයේ ‘ඉර වෙනස්’ වෙලා කියන ගීතයයි. ඊට පස්සේ අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් ගීතයක් එළිදැක්වූවා. තව ගීත කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා.

 

අවසන් වශයෙන් මේ ගමනට පසුපසින් හිටපු අය ගැන කිව්වොත්?

අපේ අම්මා තාත්තා, නංගි, ආච්චි සීයා. සංගීත කණ්ඩායමේ සියලු දෙනාම වගේම ඔවුන්ගේ දෙමවුපියන්. අපි අලුත් දෙයක් කරකන් සහ අපි සින්දුවලට ආදරය කරන ඒවා රසවිඳින සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා වගේම අපිත් එක්ක ඉදිරියටත් ඉන්න කියලා කියනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2018-08-22-ent-62 2018-08-22-ent-63