මම චිත්‍රපට බෙදාහැරීමේ මාෆියාව අත්විඳිමින් සිටිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190430Nuwan-1ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදීම සම්මානයට පාත්‍ර වූ නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ සිනමා නිර්මාණ මේ වන විට ප්‍රදර්ශනය වෙමින් පවතී. සිය පළමු සිනමා නිර්මාණයෙන්ම ජාත්‍යන්තරයේ ඉහළ ඇගැයීමක් ලැබූවත් මෙරට තුළ සිය සිනමා නිර්මාණයට ඇතමුන්ගෙන් අත්විඳින්නට සිදුව ඇති ගැටලුකාරී තත්ත්ව හා වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු මෙලෙස අප හා සම්මුඛ විය.

 

මේ වන විට පවතින්නේ කවර තලයකද?

CEL, LFD,MPI හා රිත්මා යන මණ්ඩලවලට අයත් සිනමාහල්වල ‘ සුළඟ අප රැගෙන යාවි’ මේ වන විට ප්‍රදර්ශනය කෙරෙනවා. ඊට අමතරව EAP මණ්ඩලයේ සීමිත චිත්‍රපට ශාලාවල් ප්‍රමාණයක ප්‍රදර්ශනය කෙරෙනවා. නමුත් පසුගිය දිනවල පැවති විදුලි විසන්ධි වීම හා චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැතිකමින් හැම චිත්‍රපටයක්ම කලවමේ දුවන නිසා අපට ගැටලුවක් මතුවෙලා තිබෙනවා.

 

මොන වගේ ගැටලුවක්ද මතුවෙලා තිබෙන්නේ?

මගේ චිත්‍රපටය ගැප් රිලීස් එකක් නෙවෙයි. ප්‍රධාන ධාරාවේ මුදා හැරීමක්.  එවැනි විටක අපේ මණ්ඩල සිනමාහල්වලවත් දර්ශන වාර තුන හෝ හතර අනිවාර්යෙන් යන්න ඕනි. මොකද අපි අවුරුදු පහක් බලාගෙන ඉඳලා තමයි මේ ප්‍රදර්ශන අවස්ථාව ලබා ගත්තේ. එහෙම විධ්මත් ක්‍රමවේදයක් නැතුව උදේටයි, හවසටයි මගේ චිත්‍රපටය දුවනවා, හවසට වෙන එකක් දුවවනවා. මෙවැනි තත්ත්වයක් තුළ ප්‍රේක්ෂකයන් ගොනුකර ගැනීමේ ගැටලුවක් මතුවෙනවා.

 

20190430Nuwan-2

ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගත් මේ චිත්‍රපටයට මෙවැනි තත්ත්වයක් උදා කර දී තිබෙන්නේ ඇයි?

ඒක තමයි මටත් තියෙන ලොකුම ප්‍රශ්නය. පහුගිය කාලේ ලංකාවේ ජාත්‍යන්තර සම්මාන දිනා ගත් චිත්‍රපට කිසියම් දුරක් ගිහින්  තියෙනවා. හැබැයි මගේ චිත්‍රපටය එවැනි දුරක් ගිහින් නැහැ. ඊට හේතුව ලෙස මට හිතෙන්නේ අපි ජනප්‍රිය නැති නිසා, අපි අලුත් අය වීම නිසා, තරුණ අය වීම නිසා කියලා මට හිතෙනවා.

 

ඊට පරිබාහිර දේශපාලනයක් මෙතනදී ක්‍රියාත්මක වෙනවද?

ඔව්, අනිවාර්යෙන්ම. දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලියි. මගේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා බෙදාහරින්න සූදානම් කරලා තිබුණු පසුගිය වසර පහ තුළ ජාතික චිත්‍රපට සංස්ථාවට පත්වෙලා ආපු සභාපතිවරුන් තුන්දෙනෙකුට වැඩි ප්‍රමාණයකට පැහැදිලි කරලා ලිපි බාර දුන්නා. ඊට අමතරව වත්මන් ජනපතිව මට ලන්ඩනයේදී හමුවූ අවස්ථාවේදීත් මා අතින්ම ඔහුට ලිපියක් ලබා දුන්නා ඇයි මේ චිත්‍රපටය සමාජ ගත කළ යුත්තේ කියලා.

‘හූස්ටන්’ අන්තර්ජාතික සම්මාන උළෙලේ ‘රෙමි’ සම්මානය ගත් ලාංකික චිත්‍රපට යම් දුරක් ගිහින් තියෙනවා. ඊළඟට ඉතාලියේ ‘මෙත්‍රො කුමන්තෝ කොර්තෝ’ කියන සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය වුණේ රටවල් 165ක චිත්‍රපට සේම ඔස්කාර් සම්මාන ලබා ගත් චිත්‍රපට පරද්දලා. මෙවැනි ජාත්‍යන්තර සම්මාන ගත්ත චිත්‍රපට සම්බන්ධ සම්ප්‍රදායක් හා නීත්‍යනුකූල පසුබිමකුත් තිබුණා ඒවාට අවස්ථාවක් දිය යුතුයි කියලා. මම ඒ අවස්ථා ලබාදෙන ලෙස  ඉල්ලීම් කළත් ඔවුන් ඒ ගැන සළකා බැලුවේ නැහැ.

ඒ වෙනුවට දේශපාලන ව්‍යාපෘති හා ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන චිත්‍රපට ආවා. මගේ චිත්‍රපටය එන්න තියෙන වෙලාවෙ තමයි එකපාරටම ඩී.එස් කියන චිත්‍රපටය ආවේ. ඒක වුණේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මොකද ඒ චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණේ මටත් හුඟක් පස්සෙ.

මගේ චිත්‍රපටයට කලින් ආව ‘දැවෙන විහඟුන්’ ආවේ සම්මාන දිනූ චිත්‍රපටවලට අවස්ථාව දිය යුතුය කියන  ස්ථාවරයේ සිටයි. කෙසේ නමුත් අපි වගේ හඬක් නැති නමක් නැති අයට මේක කරගන්න බැරි වෙලා තිබෙනවා.

 

ඔබගේ සිනමා නිර්මාණයේ ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වූවක්. එවන් පසුබිමක් නමක් හෝ හඬක් නැහැ කියන්නේ ඇයි? ඔබට අසාධාරණයක් සිදුවූවා නම් ඊට එරෙහිව නැගී සිටිය යුතුයි නේද?

අපිට අරගල කරන්න බැරි තත්ත්වයක් තමයි වර්මානයේ පවතින්නේ. අරගලය උපන් බිමේම මිය ගිහින් තියෙනවා. එහෙමත් නැත්නම් අරගලය මුදල්වලින් මිලදීගෙන තිබෙනවා. එහෙමත් නැත්නම් අරගලය තාඩනයට පීඩනයට ලක් කරලා තියෙනවා. අපේ රටේ පවතින යාප්පුව හෝ ෂේප් න්‍යාය මත පිහිටා කටයුතු නොකර උඩුගම් බලා යන්න හැදුවොත් අපට විනාශ වෙන්න වෙනවා. මම අංකුර සිනමාකරුවෙක් විදිහට විශාල ගසක් ලෙස අතු ඉති සමග ගොඩනැගෙන්න නම් මේ රටේ සාමාන්‍ය ගතානුගතික ක්‍රමයට හැඩගැහෙන්න ඕනි.   ලංකාවේ ප්‍රවීණයන් කියන අයගේ ජීවින රටාවත් එහෙම තමයි.

වත්මන් ආණ්ඩුවේ උපදේශකයන් ලෙස පෙනී සිටින සිනමා ක්ෂේත්‍රයේ අපේ වීරයෝ, අපේ පරමාදර්ශි චරිත හැසිරෙන ආකාරය, ඉදිරිපත් කරන කෙටුම්පත් පසුගිය රජයටත් වඩා අවුල් වියවුල් ඇතිකරලා තියෙනවා.

අපේ චිත්‍රපටයට ප්‍රචාරණයක් හෝ  අවධානයක් දිනාගන්න අවකාශයක් නිර්මාණය කරගන්න බැරි අපිට මේ ක්‍රමවේදය වෙනස් කරන්න කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ. ඒක මගේ පස්වැනි චිත්‍රපටයෙන් පසුව ගොඩක් දුරට සිදුකරාවි.

20190430Nuwan-3

ප්‍රේක්ෂකාගාරය මේ චිත්‍රපටය වැළඳගත්තෙ කොහොමද?

ප්‍රේක්ෂකාගාරය ඉතා ආදරයෙන් මේ චිත්‍රපටය වැළඳගත්තා. ඒක මෙහෙ විතරක් නෙවෙයි, ජාත්‍යන්තරයේදිත් එහෙමයි. මේ චිත්‍රපටය ලොව පුරා දර්ශනවාර 68ක් පමණ කරපු චිත්‍රපටයක්. නොබෝ දිනකින් මැදපෙරදිගත් මේ චිතුපටය ප්‍රදර්ශනය කෙරෙනවා. දැනට මේ චිත්‍රපටය බලපු කිසි කෙනෙක් හෙළා දැකලා විචාර හෝ විවේචන ඉදිරිපත් කරලා නැහැ.

මේ චිත්‍රපටයේ අත්දැකීම වෙනස්. ළමා චිත්‍රපට ලේබලයෙන් ආවාට  මේක රැල්ලේ ළමා චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපටයේ තිබෙන්නේ ඔබේ ජීවිතය පිළිබඳ කථාව, මේ චිත්‍රපටයේ තිබෙන්නේ කවියක තිබෙන භාවය, මේ චිත්‍රපටයේ තිබෙන්නේ ලස්සන චිත්‍රයක තිබෙන අපූර්වත්වය. මේ නිසා මේ චිත්‍රපටය පවුලේ හැමෝමත් එක්ක බලන්න. විශේෂයෙන් කුඩා දරුවන්ට පෙන්වන්න. ලංකාවේ අවසාන තවලම, මීමුරේ, නකල්ස්  හා වෙස්ටන්හි සුන්දරත්වය අත්විඳින්න. අපිට පොඩි කාලේ කතන්දර කියලා දුන්න අත්තම්මගේ කතාව, අපට  පොඩි කාලේ සෙල්ලම් කරන්න හිටිය ලේන් පැටියා, බලු පැටියා, හරක් පැටියා  හා පූස් පැටියගේ කතාව මේ තුළ තිබෙනවා. මේ චිත්‍රපටය වැඩිහිටියන්ට දැනේවි දරුවන්ටත් වඩා.

අංකුර සිනමාකරුවෙක් ලෙස මගේ සිනමා ජීවිතේ අනාගත පැවැත්ම තිබෙන්නෙ ප්‍රේක්ෂක ඔබේ අතෙයි. ඔබ  මගෙ චිත්‍රපටය බැලුවොත් තමයි මම මේ කර්මාන්තයේ රැකෙන්නෙ. විශේෂයෙන් මම ගුරුවරුන්ගෙන් ඉල්ලනවා මේක පාසල් දර්ශන සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබපු චිත්‍රපටයක් නිසා සිසු දරුවන් එක්ක ළඟම තිබෙන සිනමාහලට ඇවිත් බලන්න කියලා.

 

චිත්‍රපටයක ප්‍රචාරණයට දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව තිබෙන පසුබිමක ඔබ ඊට මුහුණ දෙන්නේ කොහොමද?

මේ රටේ චිත්‍රපට බෙදාහැරීම මාෆියාවක් බව ප්‍රවීණයන් පවා පවසන කාරණයක්. මම මේ මාෆියාව අත්විඳිමින් සිටිනවා. පෝස්ටර් ඇලවීමේ සිට පුවත්පත් හෝ ටෙලිවිෂන සාකච්ඡාවක් දක්වා විශාල අධිකාරියක් පවතිනවා. මේ චිත්‍රපටය පිටුපස දැවැන්ත ව්‍යාපාරිකයෙක් හෝ ප්‍රසිද්ධ නමක් තියෙන නිෂ්පාදකයෙක් නැහැ. මේක පිටුපස කුලුඳුල් නිර්මාණකරණයට යොමුවෙච්ච තරුණ පිරිසකුයි ඉන්නෙ. ඒ තුළ අපට සමාජයෙන් ලැබෙන අවස්ථා අඩුයි. මේක අංකුර නිර්මාණකරුවෙකුට ලොකු ප්‍රශ්නයක්.

 

චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලුකාරී තත්ත්වයට චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙන ආකාරයක් ඔබ දකින්නේ නැද්ද?

සංස්ථාව කියන්නේ මොකක්ද කියලා මට මේ වන විට හොයාගන්න බැරිව තිබෙන්නෙ. මොකද සංස්ථාව කියන්නේ ඒ ගොඩනැගිල්ලද, නැත්නම් ඒ ගොඩනැගිල්ලේ ඒසී කාමරයක් සිට පරිපාලනය කරන කට්ටියද කියලා හොයාගන්න බැහැ. මම සභාපතිවරු තුන්දෙනෙකුට ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාට මේ ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒවා ඔක්කොම කුණු කූඩෙට ගිහින් තියෙනවා. හැබැයි බෙදාහැරීම් අංශයේ නිලධාරින් කිහිප දෙනෙක් ඒ අයට පුළුවන් විදිහට මට සිනමා ශාලා හොයලා දෙන්න මැදිහත් වුණා. නමුත් අපේ පරමාදර්ශී චරිත වූ සිනමා වීරයෝ එක පාරටම පැනලා තමන්ගේ චිත්‍රපට සඳහා ශාලා එහාට මෙහාට කරන්න කටයුතු කිරීමත් එක්කලොකු ගැටලුවක් මතුවෙලා තියෙනවා.

20190430Nuwan-4

ලංකාවේ සිනමාව  ගැන එදා සහ අද කියවීම මොකක්ද?

මේ චිත්‍රපටය ජාත්‍යන්තරයට ගියේ අපේ රටේ තිබෙන අභිමානය, ලස්සන, සංස්කෘතියේයි ධනාත්මක පැත්ත පෙන්නලා මිසක් අපේ රටේ තිබෙන කළු පැති පෙන්නලා හෝ රජය විවේචනය කරලා නෙවෙයි. මේක බලපු ප්‍රේක්ෂකයෝ දැන ගනීවි අංකුර සිනමාකරුවෙක් ලෙස මොනතරම් නිර්මාණ ආවේශයක් තිබේද කියලා. අවාසනාවකට වගේ මම ඉදිරියේදී ලංකාවේ සිනමාවෙන් සමුගනීවි.

මොකද මම ජීවත් වෙන්නෙ එංගලන්තයේ. එරට මීට වඩා පහසුවෙන් සිනමා නිර්මාණයක් කරන්න පුළුවන්. අපිට මෙතරම් වෙහෙසක් දරන්න ඕනි නැහැ. ඒ නිසා මම එහේ සිනමා නිර්මාණ රැසක් කරයි . ඒ අතරේ මෙහෙත් එකක් දෙකක් කරයි.  අපේ ප්‍රවීණයෝ කියනවා වගේ මම මේ වෙලාවේ මාෆියා එකත් එක්ක වැඩ කරමින් ඉන්නෙ. අපි බලමු ඒ මාෆියාව මාව කොහොම වැළඳ ගනීද කියලා.

 

0710934918

නිරෝෂාන් ප්‍රේමරත්න

20190430Nuwan-5 20190430Nuwan-6 20190430Nuwan-7