බෝම්බෙ සෙට් කළා විතරයි ඩෝං ගාලා පිපුරුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

- Life සුනිල් සෝම පීරිස්


මේ දවස්වල ඔබ අලුත් නිර්මාණයකට ලකලැහැස්ති වෙනවා කියලයි ආරංචිය..?

ඔව්.. මම චිත්‍රපටයක පිටපතක් ලියලා ඉවර කළා. මගේ අසනීප තත්ත්වය සියයට සියයක්ම තාම සුවපත් වෙලා නැහැ. ඒ නිසා සිනමා කර්මාන්තය තුළ වැඩ කරන්න තවම පොඩ්ඩක් අමාරුයි. අසනීප තත්ත්වය ටිකක් හොඳ වුණාට පස්සෙ ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව පිටපතක් ලියන්නත් පොඩි අදහසක් තියෙනවා. බලමු... ඒ හැමදෙයක්ම මගේ අසනීප තත්ත්වය එක්ක ටිකක් කල් ගියා.

ඔබේ ළමා කාලය ගෙවුණේ කොහේද..? අපි ළමා කාලය ගැන ටිකක් කතා කරමු..?


මගේ ගම මහරගම. ඉගෙන ගත්තෙ මහරගම බුවනෙකබා මහා විද්‍යාලයෙන්. පුංචි කාලේ ඉඳන්ම මට කලා කටයුතුවලට ඇල්මක් ඇතිවුණා. පාසල් ගිය නිසා ඒ ගැන එතරම් එළවාගෙන ගියෙ නැහැ. හැබැයි අවුරුදු දහඅට විස්ස වෙද්දී යාළුවෝ කට්ටිය එකතු කරගෙන ගමේ තිබුණු වෙසක් නාට්‍යවලට සම්බන්ධවෙලා වැඩ කළා. මම ඒ වෙසක් නාට්‍යවලට පිටපත් ලිව්වා. ගීත හැදුවා. ගම් මට්ටමින් කලා කටයුතුවලට සම්බන්ධවෙලා වැඩ කළා. ඔය කාලෙදී ගාල්ලේ හිටපු ඇල්බට් ගුරුන්ණාන්සෙ මහරගමට ඇවිත් අපේ වුවමනාවට වඩා එයාගේ වුවමනාවට අපිව එකතු කරගෙන අපේ කට්ටියට කෝලම් නාට්‍ය පුහුණු කළා. අපිව ඒවායේ කලඑළි දැක්වුවා. හැබැයි ඇල්බට් ගුරුණ්නාන්සෙගෙන් පස්සෙ ඒවා වැඩිය එළියට ගියේ නැහැ. 

කලාවට ආසාව ඇතිවුණේ ගෙදර පරිසරය නිසාද..?


නැහැ.. ගෙදර අය කලාවට ඇල්ම දැක්වූවාට ඒවා ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ අට දෙනෙක් හිටියා. මම පවුලේ දෙවැනියා. ඔය කාලෙ පුවත්පත්වල නළු නිළියන් තෝරාගන්නවා කියලා දැන්වීම් පළ කරනවනෙ. මාත් මේවාට ගියා. කිහිපයකින්ම තේරුණා. හැබැයි රඟපෑම් කරන්න ලැබෙන්නෙ නැහැ. සමූහ දර්ශනවලට විතරක් ඉන්න අවස්ථාව ලැබුණා. දර්ශනයට පෙනී ඉන්නවා විතරයි. සමහර කොටස් චිත්‍රපටය සංස්කරණය කරද්දී කපලා දාලා. හැබැයි මම ඒවා නිසා දුක් වුණේ නැහැ. මට වුවමනා වුණේ රඟපානවාටත් වඩා කාර්මික අංශයෙන් දෙයක් ඉගෙන ගන්නයි.

ආසාව තිබුණු කාර්මික අංශය ගැන සුනිල් ඉගෙන ගත්තෙ කොහොමද..?


ඒක ලෙහෙසි වුණේ නැහැ. ඔය කාලෙ දේශීය සිනමා කර්මාන්තයක් තිබුණෙ නැහැ. වැඩිපුරම ලංකාවෙ සිනමාපට අධ්‍යක්ෂණය කළේ, කැමරා කළේ, නිෂ්පාදනය කළේ ඉන්දියානු දමිළ අයයි. ඒ අයට අපිට උදව් කරන්න, අපිව පුහුණු කරන්න ඒ තරම් කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ අයට ඕන වුණේ ඒ අයගේ වැඩ කොටස කරන්න විතරයි. මට තාම මතකයි.. එක දවසක් මම ලයිට් බෝඩ් එකක් උඩින් පනින්න ගිහිල්ලා ඒ ඉන්දියානුවො මට හොඳටම බැන්නා. ඒ අය වැඩ කරන බඩු භාණ්ඩවලට සැලකුවේ දේවත්වයෙන්. ගෞරවයෙන්. ඒ නිසා ඒ අයගෙන් කාර්මික අංශයේ දේවල් ඉගෙන නොගත්තට එවැනි හොඳ දේ ඉගෙන ගන්න පුළුවන් වුණා. හැබැයි මේ චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂකවරු හිටියෙ සිංහල අයයි. ඒ නිසා මේ ගමන හෙමින් යන්න ඕන ගමනක් කියලා මට තේරුණා. පොඩි පොඩි සටන් ජවනිකාවල පොඩි පොඩි කොටස් රඟපාන්න මාත් ඉදිරිපත් වුණා. ඒ ඔස්සේ ප්‍රධාන චරිත එක්ක මම හෙමිහිට සම්බන්ධකම් ඇතිකර ගත්තා. මගේ කොටසෙ ෂූටින් තියෙන්නෙ එක දවසක්, දවස් දෙකක් වුණාට මම මට ෂූටින් නැති දවස්වලටත් රූගත කිරීම් කරන තැන්වලට ගිහින් ඒවා දිහා බලාගෙන හිටියා. මම වැඩිපුරම ඉන්න ආසා කළේ කැමරාව පිටිපස්සෙ. එහෙම ඉඳලා මම මේ සම්බන්ධව ස්වයං අධ්‍යයනයක් කළා. ඕක කොහොමද කරන්නෙ? කියලා ඇහුවාම ඒ බොහෝ දෙනා කිව්වෙ ඕවා තමුසෙලාට වැඩක් නැහැ ඕයි  කියලා විතරයි. ඒ කවුරැත් වැඩිය ඒවා ගැන කියලා දුන්නෙ නැහැ. ඒ කාලේ ඒවා ඉගෙන ගන්න අපිට ක්ලාස් තිබුණෙ නැහැ. ඒ විෂයන් සම්බන්ධව පොත්පත් තිබුණෙ නැහැ. ඒ නිසා බලාගෙන ඉඳලාම ඒ දේවල් ඉගෙන ගන්න ඕනෙ කියලා මට හිතුණා.

ඔය දේවල්වලට ගෙදරින් තිබුණු සහයෝගය කොහොමද..? ඒ අය මේ දේවල්වලට කැමති වුණාද..?


ඒ අය මට බාධා කළේ නැහැ. බස් එකේ යන්න ඉඳලා හිටලා අම්මගෙන් රුපියල් දෙකක් ඉල්ලුවා හැරුණුකොට ලොකු කරදරයක් කළේ නැහැ. ඔය වෙද්දී මම වරාය කොමිෂන් සභාවේ රැකියාවකට ගියා. හැබැයි මම ඒ රුකියාව කළේ පොඩි කාලයයි. රැකියාවට යනවා කියලා ගෙදරින් එළියට බැහැලා ගිහින් රැකියාවට නොගොස් ෂූටින් බලන්න යද්දී නිවාඩු කැපුණා. ඔය නිසාම සේවය අතහැර යාම කියලා ගෙදරට ලියුම් ආවා. ෆයිට් කරලා ආයෙත් රස්සාව ගන්නවාද, එහෙමත් නැත්නම් ෆයිට් කරලා සිනමාවට සම්බන්ධ වෙනවාද කියලා හිතලා අවසානයේ මම රස්සාවට සමුදීලා සිනමාවට සම්බන්ධ වුණා. රස්සාවෙන් පඩියක් ලැබුණට සිනමාවෙන් මට මුදල් ලැබුණෙ නැහැ. හැබැයි මට හිතේ තෘප්තිය ඊට වඩා වැඩි වුණා.

සුනිල්ගේ ආසාව ඉෂ්ඨ වුණේ කොහොමද..?

20190919Sunil-1
ඔය කාලය වෙද්දී මම යසපාලිත නානායක්කාරව හඳුනාගෙන තිබුණා. ඔහුගේ තුෂාරා කියන චිත්‍රපටයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඔය කාලෙදී මම ඒ වැඩ බලලා කළා. එයාලට උදව් කළා. ඒ කාර්යශූරකම නිසාම ඒ චිත්‍රපටයේ වැඩ කරන්න මාව එකතු කර ගත්තා. ඒ වෙද්දී තව සහාය අධ්‍යක්ෂකවරයෙක් හිටියා. ඒ සහාය අධ්‍යක්ෂකවරයා යටතේ ඔහුගේ උදව්වට දෙවැනි සහාය අධ්‍යක්ෂකවරයා හැටියට මට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මේ දේ මම බොහොම උනන්දුවෙන් කරගෙන ගියා. තුෂාරා චිත්‍රපටයෙන් පසුව යසපාලිත තවත් චිත්‍රපට දෙකක් කළා. ඔය වෙද්දී යසපාලිතගේ සහාය අධ්‍යක්ෂකවරයාට වෙනත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා යසපාලිතගේ චිත්‍රපට වැඩේ අතරමඟ දාලා එයා ඒ වැඩේට ගියා.

ඒ කියන්නෙ දෙවැනි සහාය අධ්‍යක්ෂකවරයාට ප්‍රධාන සහාය අධ්‍යක්ෂක තනතුර ලැබුණා..?


ඔව්.. ඒ සහාය අධ්‍යක්ෂකවරයා ගියාට පස්සෙ යසපාලිතගේ චිත්‍රපටයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂකගේ පුරප්පාඩුවක් තිබුණා. දවසක් යසපාලිත මාව ගෙන්වලා උඹට මේක බාරගන්න පුළුවන්ද? කියලා ඇහුවා. මාත් කැමති වුණා. ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු නිසා යසපාලිතට මම ගැන පැහැදීමක් ඇතිවුණා. මම ඔහු කරපු ටක් ටික් ටුක් චිත්‍රපටයෙත්, ගැහැනියක් චිත්‍රපටයෙත් ප්‍රධාන සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. මම යසපාලිත එක්ක චිත්‍රපට දහඅටක් කළා. ඒ ඔස්සේ අධ්‍යක්ෂණය ගැන දැනුමක් ඇතිවුණා. ප්‍රවීණයන් ඇසුරු කරලා බොහෝ හිතවත්කම් ඇතිවුණා.

සහාය අධ්‍යක්ෂකවරයා ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වුණේ කොහොමද..?


ඔය කාලෙදී අනෝජා වීරසිංහ මට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ආරාධනා කළා. ඒ තමයි ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය. ඒක තමයි මගේ පළවෙනි අධ්‍යක්ෂණය වුණේ. ඒ කාලේ චිත්‍රපට දුවන්නෙ නැතිව හෝල් වේලි වේලි තිබුණු කාලයක්. හැබැයි මගේ චිත්‍රපටය ඉතාම සාර්ථක වුණා. එතනින් පස්සෙ මම චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. මේ වෙනකොට චිත්‍රපට පනස් හතරක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ හැම චිත්‍රපටයක්ම ඉතා සාර්ථක වුණා.

චිත්‍රපට පනස් හතරක් අධ්‍යක්ෂණය කරන අතරවාරයේ දී මොන තරම්නම් අමතක නොවන සිදුවීම් වෙලා ඇද්ද..?


අම්මෝ.. ඕන තරම් වෙලා තියෙනවා. සිනාසෙන්න රත්තරන් කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දී සිදුවුණු සිදුවීමනම් මට තාම හොඳට මතකයි. ඒක රූගත කළේ බණ්ඩාරවෙල. එක කොටසකදී මෝටර් රථයක් පුපුරුවා හරින දර්ශනයක් රූගත කිරීම් කරන්න තිබුණා. ඒකට පාවිච්චි කරපු මෝටර් රථය වගේ ආකෘතියක් අපි සූදානම් කළා. ඒකට බෝම්බය සෙට් කරලා පුපුරුවා හරින්න තමයි තිබුණෙ. ඔන්න දැන් හැමදේම ආකෘතියේ සකස් කරලා මම එතැනින්ම මෙහාට පිටුපාලා එද්දීම එකපාරටම ඩෝං ගාලා පිපිරුණා. මට මතක් වුණේම අපේ කලා අධ්‍යක්ෂකවරයායි සහාය කලා අධ්‍යක්ෂකවරයායි. මම එතනට එද්දීත් ඒ දෙන්නා හිටියෙ ආකෘතිය ළඟමයි. පිටුපස හැරිලා බලද්දී ගිනිජාලාව මැදින් ගිනි ඇවිලිලා දුවන ඒ දෙන්නව දැක්කා. අපි ඉක්මනින් ඒ දෙන්නව නිවලා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කරලා මූලික ප්‍රතිකාර කරලා එතනින් ඇම්බියුලන්ස් එකකින් දෙන්නවම කොළඹට ගෙනාවා. එදා බණ්ඩාරවෙලට හොඳට හුළඟ. පුපුරණ බැට්රියේ වයර් දෙක එකට ළං කළාම තමයි පුපුරන්න සූදානම් කරලා තිබුණෙ. හැබැයි අර හුළඟට ඒ වයර් දෙක එකට යාවෙලා නිසයි එහෙම අහම්බෙන් පිපිරුණේ. එදා අපි හොඳටම බය වුණා.

සුනිල් සෝම පීරිස් විසින් සිනමාවට හඳුන්වා දුන් චරිත අද වෙද්දී සිනමාවේ ඉතා ප්‍රවීණ චරිත වෙලා. ඒ සම්බන්ධව මතකය අවදි කළොත්..?


ඔව්.. අනෝජා වීරසිංහව යසපාලිත නානායක්කාර ළඟට සම්බන්ධ කළේ මමයි. ටක් ටික් ටුක් කියන චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ දුව වැඩ කරපු තැනම තමයි අනෝජා වැඩ කළේ. ඉතින් ඒ චිත්‍රපටයේ හඳුනාගැනීමත් එක්ක අපි නිෂ්පාදකගේ දුව මුණගැහිලා කෑම පැයේ දී කෑම කාලා අයිස්ක්‍රීම් කාලා එනවා. ඒ ගියාම තමයි අනෝජාව මම හඳුනා ගත්තෙ. අනෝජා රංගනයට ආසයි. ඒ නිසා තමයි මම යසපාලිතට එයාව හඳුන්වා දුන්නෙ. යසපාලිතගේ මොණරතැන්න චිත්‍රපටයෙන් අනෝජා සිනමාවට එකතු වුණා. ඉන් පසුව අනෝජා මගේ චිත්‍රපට බොහොමයක රඟපෑවා. අනර්කලී ආකර්ෂා සිනමාවට හඳුන්වා දුන්නෙත් මමයි. බොරැල්ල සිනමාශාලාවකදී මට රන්ජන් රාමනායක ගැහැනු ළමයෙක්ව හඳුන්වා දුන්නා. සිංහල හොඳට කතා කරන්න බැරි වුණාට අනර්කලීට හොඳ පෙනුමක් තිබුණා. අනූෂා දමයන්ති, රුවන්ති මංගලා, දමිත් ෆොන්සේකා, ශෂී විජේන්ද්‍ර වගේ බොහෝ අය සිනමාවට හඳුන්වා දුන්නෙ මමයි. අද ඒ හැමෝම සිනමාවේ හොඳ ගමනක් ඇවිත් තියෙනවා. ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි.

ඒ කාලේ ඔබ අධ්‍යක්ෂණය කළ බොහෝ චිත්‍රපට ආදායම් වාර්තා බිඳ දැමූ චිත්‍රපටයි..?
ඔව්.. මම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට එකක්වත් අසාර්ථක වුණේ නැහැ. දින සීයේ වාර්තා තිබ්බා. ආදායම් වාර්තා තිබ්බා.

මේ තරම් චිත්‍රපට හදපු මහන්සිවෙලා වැඩ කරපු සුනිල් සෝම පීරිස්ට අද රෝද පුටුවක ඉන්න සිදුවෙලා. මේ අනතුර සිදුවුණේ කොයි කාලෙද..?


මගේ කකුලේ අමාරුව අවුරුදු තිහක් විතර තිබුණා. ඒ කාලේ මම පරිස්සම් නොවුණාම නෙමේ. මට දියවැඩියාව රෝගය තියෙනවා. රූගත කිරීම් කරන තැනට ගියාම මම අසනීපයි කියලා මට වෙනමම කෑම හදවන්න බැහැනෙ. ඉතින් ඒ නිසා කාලයක් යද්දී දණහිසෙන් පහළ ලේ ගමනාගමනය අඩු වුණා. ස්නායු මැරුණා. ඔය කාලෙදී කකුලේ පොඩි තුවාලයක් හැදුණා. කොච්චර ප්‍රතිකාර කළත් හොඳ වුණේ නැහැ. ඒ නිසා වෛද්‍යවරුන්ගේ අවසන් තීරණය වුණේ මගේ කකුල කපන්නයි. මොනවා කරන්නද? ඒ නිසා මගේ කකුල කැපුවා. දැන් මට ටිකක් සනීපයි. කෘත්‍රිම කකුලක් දැම්මා. තාම මම ඒකට හොඳටම හුරුවුණේ නැහැ. ඉක්මනට හුරු වුණාට පස්සෙ මම ආයෙත් චිත්‍රපට හදනවා. මට ඕනෑ හදන චිත්‍රපට දුවන්නෙ නැහැ කියන මතය බොරුවක් බව ඔප්පු කරන්න විතරයි. මට මගේ චිත්‍රපට පිටපත ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. තව එක චිත්‍රපටයක් හැදුවත් මට ඒක ඇති.

20190919Sunil-2

ඔබේ විවාහය හා දරුවන් ගැන කිව්වොත්..?


මම විවාහ වුණේ කලාවට සම්බන්ධ කෙනෙක් එක්ක නෙමේ. අපි දෙන්නා කුඩා කාලයේ ඉඳන්ම අපේ පවුල් දෙක හඳුනනවා. අපි නිතර මුණගැහුණා. තරුණ වියත් එක්ක අපි ආදරය කළා. දෙපාර්ශ්වයේ කැමැත්තෙන් අපි විවාහ වුණා. අපිට දරුවන් තුන්දෙනයි. ලොකු පුතා කුමාර පීරිස්. දෙවැනියා සුදේශ් වසන්ත පීරිස්. තුන්වැනියා දුව කුමුදුනී පීරිස්.

 

► Text - Dishani  /   Pic -  Sumudu