මහන්සිවෙලා කී‍්‍රඩා කිරීමේ ප‍්‍රතිඵලයයි මේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191017Banuka-1සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුමය. ඔහුට ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් හිමිවිය යුතුව තිබුණේ මීට වසර කීපයකට පෙරදී වුවද, ඒ වාසනාව ඔහු ලබා ගත්තේ පසුගිය දා පාකිස්ථානය සමග තරග වැදි සංචාරයේදීය. විස්සයි විස්ස එක් දින ලෝක ශුරතාවය දිනා සිටි පාකිස්ථානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ ඔහු භානුක රාජපක්ෂය. ඔහු ගැන සමස්ත ක‍්‍රිකට් ලෝලී පේ‍්‍රක්ෂකයා කතා බහ වෙන මොහොතක අපි අද සඳැල්ලට කැඳවූවේ ඒ හැඩකාර ක‍්‍රීඩකයාය. ප‍්‍රසන්න පෙනුමකින් යුතු භානුක රාජපක්ෂ සඳැල්ල සමග පිළිසදරට එක්වූවේ මෙලෙසිනි.

 

‘‘භානුකට’’ දිගු නමක් නේද තියෙන්නෙ?

ප‍්‍රමෝද් භානුක බණ්ඩාර රාජපක්ෂ

 

ගෙදර අය කතා කරන්නෙ මොන නමින් ද?

භානු, භානුක කියලයි.

 

පවුලේ විස්තර ගැන කියමු?

අම්මයි තාත්තයි, මල්ලියි මමයි. මල්ලි මට වඩා අවුරුදු 9 ක් බාලයි.

 

අම්මා තාත්තා මොනවද කරන්නෙ?

අම්මා කලින් ගුරු වෘත්තියේ නියැලී සිටියා. තාත්තා එයාගෙම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

 

භානුගෙ මල්ලිත් ක‍්‍රිකට් ගහනවා නේද?

මල්ලි රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නෙ. මේ වසරේ උසස් පෙළට මුහුණ දීමට සූදානම් වෙනවා. පාසල් කණ්ඩායම නියෝජනය කළා. එයත් දැන් ඊඍක්‍ ක‍්‍රීඩා සමාජයේ 23 න් පහළ කණ්ඩායමට ක‍්‍රීඩා කරනවා. මල්ලිත් මම වගේම වමත් පිතිකරුවෙක්.

 

භානු සෑහෙන කාලයක් බලාන ඉන්න සිද්ධ වුණා නේද, ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න? මොනවගේ හැඟීමක්ද අද තියෙන්නෙ?

ඇත්තටම ලොකු සතුටක්. මේ අවස්ථාව මට ලැබුණෙ වාසනාවට නෙවෙයි. සෑහෙන වෙහෙස මහන්සිවෙලා කී‍්‍රඩා කරලා ලබපු ප‍්‍රතිඵලයක්. ඒ වගේම දෙවියන්ගෙ ආශීර්වාදයත් ලැබෙන්න ඇති. මීට පෙර මම කොච්චර දක්ෂතා දැක්වුවත් අවස්ථා නොලැබී ගියා. ඒත් මට තිබුණා ලොකු ආත්ම විශ්වාසයක්.

 

පසුගිය කාලයේදී ඔබට අවස්ථාවක් නොලැබුණේ රාජපක්ෂ පවුලේ ඥාතියෙක් වෙච්ච නිසා කියලා සමහරු කතා වෙනවා. ඒක ඇත්තක් ද?

ඥාතියෙක් නම් නෙවෙයි. වාසනාවකට හෝ අවාසනාවකට මමත් රාජපක්ෂ කෙනෙක්. ඒත් ක‍්‍රීඩකයකුට තමන්ගෙ වාසගම නෙවෙයි බලපාන්නෙ. තමුන් දක්වන දක්ෂතාවයයි. සමහරු අතර කට කතා තිබුණා. රාජපක්ෂලාගෙ ඥාතියෙක් කියලා. සමහර වෙබ් සයිට් වලත් තිබුණා. ඒත් මම ඒවාට ප‍්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. එහෙම වුණාම වෙන්නෙ නැති දේවල් ඇති වෙන එකයි. ඒක පදනම් විරහිත කතාවක්.

 

පසුගියදා කළ පාකිස්ථානු සංචාරය අවදානම් සංචාරයක් ලෙසයි සඳහන් වුණේ. ඒ අවදානම අරගෙන යන්න බය වුණේ නැද්ද?

ලොකු බයක් තිබුණා. මට වඩා ඒ බය තිබුණෙ ගෙදර අයට. ඒත් මට තිබුණෙ අපි හරි දේ කරනවා නම් අපට වරදින්න විදියක් නැහැ කියන අදහසයි. අපි ගියේ රට වෙනුවෙන් ක‍්‍රිකට් ගහන්න. යහපත් චේතනාවෙන් ගිය ගමනක්. මේ ලැබුණු අවස්ථාව මට මගේ හැකියාවන් පෙන්වන්න ලැබුණු ඉහළම අවස්ථාවක්. ඉතින් ඒ ගැන සහ රට ගැනත් කණ්ඩායම ගැනත් විතරයි හිතුවේ. පාකිස්ථානය ඒ රටේදී පරාජය කිරීම අතිශය අසීරු කටයුත්තක්. ඒ හැරත් ඔවුන් ලෝක ශුරයින්. අපි එක තරගයක් දිනුවා නම් එය අහම්බයක් කියන්න තිබුණා. ඒත් තරග තුනම ජයග‍්‍රහණය කිරීම නිසා එහෙම කියන්න බැහැ. ඒක ඇත්තටම ඉහළම දක්ෂතාවයක්.

 

භානුක මෙච්චරකල් කොහෙද හිටියෙ කියලා අන්තර්ජාතික විස්තර විචාරකයන් කතා වෙනවා. අද මේ පෙන්වන දක්ෂතාවයේ රහස මොකක්ද?

ඒ ගැන සම්පූර්ණ ස්තුතිය යන්න  ඕනෑ මගේ පාසල් සමයේ සිටි පුහුණුකරුවන්ගේ සිට 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා ් ටීම් එකේ පුහුණුකරුවාගේ සිට මේ දක්වා මාව පුහුණු කළ සියලූ මහත්වරුන්ට. වසර 9 ක් විතර මම ශ්‍රී ලංකා ් ටීම් එක නියෝජනය කළා. නම් වශයෙන් කිව්වොත් විශාල පිරිසක් මා වටා සිටිනවා. මාව නිර්මාණය කළේ ඔවුන්. ඒ අතරින් පුද්ගලිකව මගේ ස්තුතිය නවීඞ් නවාස්, චුලක අමරසිංහ මහත්වරුන්ට සහ ඉන්දික ද සේරම් මහතාට පුදන්නට  ඕනෑ. ඊඍක්‍ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහු මට ලබාදෙන ගුරුහරුකම් එමටයි. ඒ වගේම මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අයත් මම විවාහ වෙන්න සිටින මගේ පෙම්වතියත් ඇතුළු පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළයි. මම බිංදුවට අවුට් වුණත්. ලකුණක් ගත්තත්. ඊට වඩා ගෙදර අයට සහ මගේ පෙම්වතියට වටින්නෙ මාව කියලා එයාල කිව්වා. ඉතින් මම මේ සංචාරයට ගියේ කිසිම පීඩනයක් නැතුවයි. එයාලා බය වුණේ අපේ ආරක්ෂාව ගැනයි. හැබැයි පකිස්ථානයට ගියාමයි අපට තේරුණේ මැස්සෙකුටවත් වහන්න බැරි විදියට ඉහළම ආරක්ෂාවක් අපට දීලා තිබුණේ. අපට තිබුණෙ ඔළුව නිදහසේ තියාගෙන ක‍්‍රීඩා කරන්න විතරයි. මේ සංචාරයට පෙර ශ‍්‍රී ලංකා ් කණ්ඩායම සමග ඉන්දීය සංචාරයකටත් ගියා. එහිදීත් ශතකයක් ලබා ගත්තා. ඒ නිසා තමයි මෙම සංචාරයත් වඩා සාර්ථක වුණේ. කොහොම වුණත් රට වෙනුවෙන් ක‍්‍රීඩා කරන පළමු තරගයේ දී පළමු පන්දු දෙකට විතර මුහුණ දුන්නෙ චකිතයකින්. ඉන්පසුව ගහපු 6 ත් එක්ක මගේ සුපුරුදු රිද්මයට ආවා.

 

ෂෙහාන් ජයසූරිය දැවී ගිය පසු ඔහුට වඩා දුක් වුණේ ඔබ, ඇයි ඒ?

පාසල් කාලයේ ඉඳලාම අපි දෙන්නා එකට ක‍්‍රීඩා කරලා තියෙනවා. අපි දෙන්නා එක්වුණාම හොඳ අවබෝධයකින් ක‍්‍රීඩා කරලා තියෙනවා. එදා තරගයේ දී වුණත් මට හොඳ ඉනිමක් ක‍්‍රීඩා කරන්න ෂෙහාන්ගෙන් ලැබුණු සහයෝගය ඉහළයි. ඒ වගේම මේ සියල්ලටත් වඩා සමස්ත කණ්ඩායම ගැනත් කියන්නම  ඕනෑ. මේ ටීම් එකේ ඔක්කෝමලා එකම පවුලක අය වගෙයි. එක එක්කෙනා අනෙක් කෙනාගෙ දක්ෂතාවය ගැන මිසක් පුද්ගලික දක්ෂතාවය ගැන හිතන්න ගියේ නෑ. හැමෝම එකිනෙකාගේ දක්ෂතා වෙනුවෙන් ආශීර්වාද කරමින් දිරි ගැන්වූවා.

 

20191017Banuka-2මේ වැඩකාර භානුක රඟපෑමට ආසා නැද්ද?

මගේ ජීවිතය මේ දක්වා ගෙවුණේ ක‍්‍රිකට් එක්ක. පවුලට මෙන්ම පල්ලියට හරි ලැදි කෙනෙක්.

 

භානුකලගෙ ගෙදරට එන්න බොහෝ දෙනා බයයි. මොකද කිව්වොත් සුනඛ සුරතලූන් දහදෙනෙක් විතර ඇති කරනවා නේද?

අපේ පවුලේ ඔක්කෝමලා සතුන්ට හරිම ආදරෙයි. මගේ පෙම්වතියත් සතුන්ට හරිම ආදරෙයි.

 

භානු මෙතැනින් එහාට ජීවිතය ගැන කොහොමද හිතන්නෙ?

වසර හය හතකට පෙරදි ශ‍්‍රී ලංකා කණ්ඩායමට එන්න තිබුණා නම්, මගේ දායකත්වය මීට වඩා දෙන්න තිබුණා. වාසනාවකට හෝ අවාසනාවකට ඒ නොලැබි ගිය කාලයේ අඩුව පුරවමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත උපරිම සේවයක් කිරීම මගේ අරමුණයි. ලංකාවෙ ජ්‍යෙෂ්ඨයන් අතර තවත් නම් දරාපු ක‍්‍රීඩකයකු වීමට ප‍්‍රයත්න ගන්නවා. මගේ මිත‍්‍ර විරේෂ් කුරේ මට නිතරම කියු දෙයක් තමයි, කරන දේ ගැන විතරක් පැහැදිලි අරමුණක් තියා ගන්න කියලා. එතකොට අපි කරන දේ හරියට කරන්න පුළුවනි කියලා. ඒ නිසා තමයි සාපෙළ ් 6 ක් අරගෙනත් මම වෙනත් දෙයක් ගැන නොසිතා ක‍්‍රිකට් ගැනම විතරක් හිතුවෙ.

 

ඔබගේ අනාගත බිරිඳ, ආදරණීය පෙම්වතිය ගැනත් කියමු. කොහොමද ඇයගෙ හමුව?

මම දිනක් එංගලන්තයේ සංචාරයකට යද්දි ගුවන් යානයේදී තමයි ඇය නෙත දුටුවේ. ඇය ගුවන් සේවිකාවක්. නම සැන්ඩි‍්‍රන්. එයා මට ආදරේ කළේ එදා මම ශ්‍රී ලංකා කණ්ඩායමේ නැති කාලයේදියි. ඒ නිසා ඒ ආදරය මට වටිනවා. මගේ මව්පියන්, පවුලේ අය වගේම මම වැටිලා සිටි අවස්ථාවල දී මාව නැගිට්ටන්න ඇයත් බොහෝ ශක්තියක් වුණා. එයා මට ආදරේ කළේ එදා මම ක‍්‍රිකට් තරුවක් නොවු කාලයකදියි. ඒ නිසා මාත් ඇයට හරිම ආදරෙයි. ළඟදීම අපේ විවාහය සිදු වෙනවා.

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

20191017Banuka-3 20191017Banuka-4