පළමු ආදරය අමතක කරන්න බෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ක්ෂේත‍්‍රයට පිවිස ගෙවී ගිය කාලය ඉතාම කෙටි වුවද ඔහු අදටද ලබන පේ‍්‍රක්ෂක ආදරය ඉතාම ඉහළය. නිරූපන ශිල්පියෙකු ලෙස මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස රංගන ක්ෂේත‍්‍රයේ නමක් දිනා සිටින ඔහු චානුක ප‍්‍රබුද්ධය. ස්වර්ණවාහිනි ය හරහා විකාශය වූ සකුගේ කතාවෙන් පේ‍්‍රක්ෂක ඔබේ හදවතේ ලැඟුම් ගත් ඔහු අපි අද හිතට එකඟව කතා කිරීමට තෝරා ගත්තෙමු.

 

20200123Chanuka-1ඉතිං කොහොමද චානුක?

හොඳින් ඉන්නවා. මගේ පළමු ෆිල්ම් එක මන්දාර ෂූටින් නිසා ටිකක් විතර කාර්යය බහුලයි. කමක් නැහැ අපි කතා කරමු.

 

ඔබ ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ?

රංගන ක්ෂේත‍්‍රයට යොමුවෙන්නේ ශාන්ත සොයිසා මහතාගේ මිතු සහ ජීවිතය ඇතිතුරා ටෙලිනාට්‍ය හරහා.

නිරූපන ක්ෂේත‍්‍රයට මම අත්පොත් තබන්නේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් වීමත් සමඟ.

 

වෙළෙඳ දැන්වීම් වලටත් සහභාගි වෙන්නෙත් ඔය කාලෙදිද?

ඔව්. නිරූපන ක්ෂේත‍්‍රයට පිවිසුන දා ඉඳලා වෙළෙඳ දැන්වීම් වලට පෙනී සිට තියෙනවා. මේ වන විට වෙළෙඳ දැන්වීම් පනහක් විතර ඉඳලා තියෙනවා.

 

කොච්චර කාලයක් ද ඔබ රංගන ක්ෂේත‍්‍රයට පිවිස.

තවම අවුරුදු දෙකක්වත් නැහැ.

 

වැඩිම පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් ලැබුණු රංගන දායකත්වය.

සකුගේ කතාවෙන්. සකූගේ කතාව විකාශනය වීමත් සමඟ පුංචි දරුවාගේ සිට වැඩිහිටි මහල්ලන් දක්වා මට මහා විශාල ප‍්‍රතිචාරයක් ලැබෙනවා.

ඇත්තම කිව්වොත් ලෝකේ ගොඩක් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් පවා ඉහල ප‍්‍රතිචාරයක් අදටත් සකුගේ තාත්තා ලෙස රඟ දැක්වීමට ප‍්‍රතිචාර ලැබෙනවා.

 

ඔබ රංගන ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ කඩවසම් බව නිසාද?

ම්....... නැහැ. හැකියාව දක්ෂතාවය කැපවීම මෙන්ම වාසනාවත් එයට බලපා තිබෙනවා. මතුපිට ස්වරූපය සහ කඩවසම් බව කියන්නේ ක්ෂේත‍්‍රයක රැුඳෙන්න පුළුවන් සුදුසුකමක් නොවේ. එක් සාධකයක් පමණයි.

 

රංගන ක්ෂේත‍්‍රයේ සිටින පිරිමි කෙනෙකුට තිබිය යුතුම දේ.

නිහතමානී බව පෞර්ෂයය රංගන කෞෂල්‍යය තිබිය යුතුයි. උගත්කමත් තිබිය යුතුයි නේද?

 

රංගන ශිල්පියෙකු ලෙස ඔබට ලැබුණ වටිනාම තෑග්ග?

තෑගි නම් ලැබිලා තියෙනවා. ගොඩක්ම. මම පුංචි කාලේ ඉඳලම සුපර් මෑන්ට කැමති නිසා අදටත් උපන්දිනේට වැඩිපුර කේක් ලැබෙන්නේ සුපර් මෑන් ආකෘතියට. උපන්දින සුභ පැතුම්පත් ලැබෙන්නෙත් එහෙම.

 

මංගල යෝජනා එහෙමත් එනවා ඇති?

ඔව් ඔව් එනවා. ගොඩක්ම යෝජනා එන්නේ පිටරට වල ඉන්න ශ්‍රී ලාංකික යුවතියන්ගෙන් ඒ අයගේ අම්මලාම මට කෙලින්ම කතා කරලා මගේ දුව ඔයාට ගොඩක් කැමතියි කියලා කියනවා. මා ඇහැටවත් දකින්නේ නැතුව මගේ රංගන දක්ෂතාවයන් දැකලා එහෙම කරන යෝජනා ගැන මම ලොකුවට හිතන්නෑ.

 

ජනප‍්‍රියත්වය කියන දේ ඔබට දැනෙන්නේ කොහොමද?

ම්... මම හිතන්නේ ජනප‍්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. කාලයක් කැපවීම් කරලා ගොඩනගාගත් ජනප‍්‍රියත්වයක් වුවත් එක මොහොතකින් වෙනස් විය හැකි බව මම නිතරම හිතන දෙයක්.

 

ජීවිතේ දැකපු ලස්සනම කාන්තාව?

ඔබ හිතයි මම මේ ප‍්‍රශ්නයට මගේ අම්මා කියලා පිළිතුරු දෙයි කියලා. නමුත් අවාසනාවකට මට මගේ අම්මා පුංචි කාලෙදීම නැති වෙනවා.

මවකගේ සියලූ බර කරට අරං මාව අද ඉන්න තත්ත්වයට ඔසවා තැබීමට සියලූ කැපවීම් කරන්නේ මගේ ආච්චි අම්මා. ඒ නිසා මම මේ ලෝකේ දැකපු ලස්සනම කාන්තාව තමයි මගේ ආච්චි අම්මා.

 

කාන්තාවකගේ සුන්දරත්වය ලෙසට ඔබ දකින්නේ?

නිහතමානී වැදගත් උගත් කාන්තාවක් සුන්දරයි කියා මට හිතෙනවා.

බාහිර පෙනුමෙන් කොච්චර ලස්සන වුණත් සමහර අය කට ඇරියාම බාහිර ස්වරූපය බිංදුවට වැටෙන අවස්ථා අපි  ඕනෑ තරම් දැක තිබෙනවා.

 

මුලින්ම ආදරයක් හිතට දැනුනේ?

දහම් පාසලේ 9 වසරේ ඉන්න කොට. ඒ ආදරේ මතක් වෙද්දී අදටත් සුන්දරයි. පළමු ආදරේ අමතක කරන්න බෑනේ.

 

කාන්තාවකගේ සුන්දරත්වයට ඔබ මුල් තැන දෙනවාද?

මුදල් වියදම් කරලා  ඕනෑම කෙනෙකුට සුන්දර වෙන්න පුළුවන්. නමුත් කාන්තාව කියන චරිතයට සාධාරණයක් කරන්න බැරි කාන්තාවෝ කොච්චර ලස්සන වුණත් වැඩක් වෙන්නෑ.

 

ඔබ සමඟ රඟ පෑ දක්ෂතම නිළිය?

සකුගේ කතාවේදී ඉතාම සහෝදරත්වයෙන් රඟපෑම් කටයුතු කළ පබෝධා සන්දීපනී අක්කා සහ සකුනි දුව (මම ඇයට කතා කරන්නේ එහෙම) තමයි මට මෙතෙක් රඟපෑමට ලැබුණ දක්ෂතම රංගනය ශිල්පිණියන්.

 

ඔබේ කඩවසම් බව ආරක්ෂා කරගන්න මොකද කරන්නේ?

ශරීරයට හිතකර ආහාරපාන ගැනීම සහ ව්‍යායාම වල නිරත වීම මම නිරතුරුවම කරන දෙයක්. පාසල් යන කාලේ ඉඳලම ස්පෝට්ස් වලට මම ගොඩක් කැමතියි. අදටත් නිවාඩු දින වලට මගේ වැඩි කාලයක් යොමු වන්නේ ව්‍යායාම කටයුතු වලට.

 

බාහිර ස්වරූපය ලස්සනට තියා ගන්න මොනවාද කරන්නේ?

කිසිම දෙයක් කරන්නෑ. එනිසාම වෙන්න ඇති අදත් මගේ සුන්දරත්වය ආරක්ෂා වී තිබෙන්නේ.

 

ජීවිතයේදී දැකපු ලස්සනම මනාලිය?

මගේ වැඩිමල් සොයුරිය මනාලියක් වූ දිනයේදී......... ඇය තමයි මම දැකපු ලස්සනම මනාලිය.

 

රඟපෑම් නිසා බැනුම් අහලත් තියෙනවාද?

ඔව්. ඇතැම් අධ්‍යක්ෂවරුන්ගෙන් මම බැනුම් අහලා තියෙනවා. ඔයිට වඩා හොඳට ඔය චරිතය කරන්න තිබුණානේ කියලා.

 

සම්මාන ලැබිලා තියෙනවාද?

සම්මාන උළෙල නිර්දේශ දෙකකදී ජනප‍්‍රියම නළුවාට නම වෙලා තිබුණා. ඇත්තටම මම ආසයි හොඳම නළුවා ලෙසින් කවදා හරි සම්මානයට පාත‍්‍ර වෙන්න. ඒ සඳහා සුදුසු කාලයක් ඉදිරියට එයි. හොඳම නළුවාට හිමි සම්මානය කෙදිනක හෝ ලබා ගැනීම මගේ හිතේ තියෙන හීනය.

 

ජීවිතයට සම්බන්ධ සුවිශේෂි කෙනෙක් ඉන්නවාද?

ඔව් ඉන්නවා

(සිනාසෙමින්)

 

කව්ද කියල කියන්න බැරිද?

පස්සෙ දවසක කියන්නම්

 

අසුන්තා එදිරිසූරිය