ගීයක අරුතින් මනුස්සකමේ හදවත පිරිමදින මගේ ආදර පවසට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200123Krishantha-1

90 දශකයේදී වී පැදුරෙන් ඉගිලී ගී ලොව අභිෂේක ලැබූ ගායකයෙකි. එදා ආධුනිකයෙකු ලෙසින් ගී ලොවට පා තැබූ ඔහු රසික අවධානයට රසික ප‍්‍රසාදයට පත්වූයේ බොහෝ අමාරුවෙනි. එහෙත් ඔහු මේ වනවිට ගයා ඇති සියයකට වැඩි ගීත අතරින් රාශියක්ම ජනප‍්‍රිය තලයට රැුගෙන එන්නට තරම් වාසනාවන්තයකු වී සිටියි. ක‍්‍රිශාන්ත මේ සැරසෙන්නේ වෙනසක් කරන්නටය.

මේ වෙනස් වැඩවලට වටිනාකමක් ලැබෙන කාලයක්. දැන් බලන්න පහුගිය කාලේ තාප්ප වල චිත‍්‍ර ඇඳලා රට ලස්සන කරන තරුණ රැුල්ලක් ඇතිවුණා. ඒ තරුණ ප‍්‍රබෝධය කවුරුවත් හෙලා දැක්කේ නෑ... රාජ්‍ය මට්ටමෙන් පවා අගය කෙරුණා. රට වැසියෝ අගය කළා. ලෝක වැසියෝ අගය කළා. ඇත්තටම ඒක වෙනස් වැඩක්.

මමත් මේ කරන්න යන්නෙ ඒ වගේ වෙනස් වැඩක්.’’

ක‍්‍රිෂාන්තගේ වෙනස් වැඩය ගැන දැනගන්නට මම කට ඇරගෙන බලාහිඳිමි.

‘‘මේ ප‍්‍රසංගයක්මත් නෙවෙයි. රසවින්ඳන වැඩසටහනකුත් නෙවෙයි. ඒ්ත් ප‍්‍රසංගයක් නොවන්නෙත් නෑ... ගීත පහළොවක් ගායනා කරනවා. ඒ සඳහා ප‍්‍රවීණ වාද්‍ය වෘන්දයක් සහභාගී වෙනවා. ඉදිරිපත් කරන්නේ නිවේදකයෙක්. මම ගීතයක් ගායනා කළාට පස්සේ ඒ ගීතය ගැන වටාපිටාවෙන් කරුණු අරගෙන පොඩි කතාබහක් යනවා... ඒ කතාබහ රස වින්දනයක් කියන්නත් බැහැ. වෙනස් කතා බහක්.’’

ප‍්‍රසංගයක් නොවන ප‍්‍රසංගයක් රසවින්දනයක් නොවන වින්දනීය වැඩ සටහනක්... මොකක්ද මේ.

මම තවදුරටත් ක‍්‍රිශාන්තට කතා කරන්නට ඉඩදෙමි.

‘‘මම මීට අවුරුදු ගණනාවකට කලින් ඒ කියන්නේ 1996 දී මගේ පළමු ප‍්‍රසංගය තිබ්බා. අනුරාධපුරේදී. එහි නම වුණේ කුරවිසර. ප‍්‍රසංගය තිබ්බේ අනුරාධපුරේ යොවුන් රඟහලේදී... එදා මම මගේ ගීත 10ක් ගායනා කළා. ප‍්‍රවීණයන්ගේ ගීත 10ක් ගායනා කළා. එදා මම ගයපු මගේ ගී එකක්වත් ජනප‍්‍රිය වෙලා තිබුණේ නෑ.. මමත් ආධුනිකයෙක්. ඒත් එදා මට අතදෙන්න මගෙත් එක්ක යුග ගීතයක් ගායන්න ප‍්‍රවීණ ශිල්පිනියක් පැමිණියා. ඒ මාලනී බුලත්සිංහල. එදා ඇය ඇවිත් මගේ ආදර පවසට කියන ගීතය මගෙත් එක්ක ගායනා කරලා මට ලොකු සහයෝගයක් දුන්නේ...

එදා මම වී පැදුරෙන් ගීතය එහෙම ගායනා කළා. වෘත්තිකයන් ව්‍යාපාරිකයන් දේශපාලකයන් වගේ විවිධ අයත් රසිකයනුත් මට දුන්නු සහයෝගය ප‍්‍රසාදය මට තාමත් මතක් වෙනවා.’’

ක‍්‍රිෂාන්ත එරන්දක වී පැදුරෙන් ඉගිලී ආ ගායකයා ලෙස කලා ලෝකයේ ප‍්‍රසිද්ධියට පත්වන්නට විය. ඒ ඔහු ගැයූ (වී පැදුරෙන් ඉගිලී යන ළිහිණියකු ලෙසින්* නම් වූ ගීතය රසිකයන් බොහෝ ආදරයෙන් වැළඳ ගත් නිසාය.  එෆ්.එම්. නාලිකා වලින් දවසකට හතර පස් වතාවේ ප‍්‍රචාරය වූ නිසාය.

කුරවි සර සාර්ථක වූ නිසාද ඔබ මේ නවතම ප‍්‍රසංගයත් අනුරාධපුරේම තියන්නේ. මම යළිත් අසමි.

‘‘ඔව්. අනුරාධපුරේ කියන්නේ වෙනස් ප‍්‍රදේශයක්... වෙනස් රසික පිරිසක් ඉන්න ප‍්‍රදේශයක්. ඒ වගේම මගේ ජයබිම.

මම මේ නවආරක නවතම ප‍්‍රසංගය මගේ ආදර පවසට අනුරාධපුරේ සිළුනි උත්සව ශාලාවේදී මේ 31දා සන්ධ්‍යාවෙදි පවත්වනවා. ආසන හයසීයකට වඩා නැති නිසා වැඩි රසික පිරිසකට ඉඩකඩ නැතිවුණත් එතැන හොඳ නිදහස් තැනක්.’’

නමුත් ඔබ රට වටේ ගමනකට නේද මේ සැරසෙන්නේ? මම යළිත් අසමි.

‘‘ඇත්තටම මීට කලින් දවසක අම්බලන්ගොඩදී මේ වගේ වැඩසටහනක් කළා. ඒක කළේ අම්බලන්ගොඩ රසික පිරිසකගේ ඇරයුමකට. වැඩ සටහන නිමාකරලා රසිකයන් දෙදෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න කියලා ඇරයුම් කළා. ඒත් රසික අදහස් ඉදිරිපත් කිරීම නතර කරගන්න බැරි තරමට රසිකයෝ කතා කරන්න පටන්ගත්තා. අපි තේරුම් ගත්තා මේ වැඬේට රසිකයන් කැමති වග........ මගේ ආදර පවසට අපි පටගන්නේ එහෙම අවබෝධයක් එක්ක.’’

අනූව දශකයේ දී ගී ලොවට පැමිණි ක‍්‍රිෂාන්ත එවකට ගීත එකතූන් දෙකක්ද කළේය. ඒ වී පැදුරෙන් සහ මේ නවාතැන් පොළ නමිනි.

ඔහු මේ ගමන ආවේ බොහෝ සීරුමාරුවෙනි.

20200123Krishantha-2

ඔහු ගැයූ හැම ගීයක්ම අතිවිශිෂ්ඨ පදමාලාද විශිෂ්ඨ තනු රචනා විය. මනරම් සංගීත නිර්මාණ විය. ඔහු කිසි දවසක බාල පදරචනා ගායනා නොකළ බව පෞද්ගලිකවම දනිමි. වරක් මම ඔහුට මා ලියූ ගී පද රචනා කිහිපයක් දුනිමි. ඊට කලකට පසු ඔහු හමුවූ විට මම දුන්නු සිංදු එකක්වත් කිව්වේ නැහැ නේද? යැයි චෝදනාත්මක හඬින් ඇසුවෙමි.

මට ඒ සිංදු කියන්න තිබුණා. හැබැයි කිව්ව නම් වෙච්ච මහන්සිය අපරාදයක් වෙනවා.

ක‍්‍රිෂාන්ත කීවේ මට කටඋත්තරද නැති කරමිනි.

ඔහුගේ ජයග‍්‍රහණයේ රහසද ජනප‍්‍රියත්වයේ රහසද හොඳ දේවල්ම හොඳම විදිහට සමාජගත කිරීම බව ප‍්‍රශංසාත්මකව සඳහන් කරමි.

එහෙත් අද ඔහු බොහෝ ආධුනිකයන්ගේ ගී ගයන හැටි දකින්නට පුළුවන. මම ඒ ගැනද විමසමි.

‘‘මම ආධුනිකයෙක් කාලේ මාලනී බුලත්සිංහල මා එක්ක යුග ගී ගයන්න ඉදිරිපත් වුණා.

ඒක මට ලොකු දෙයක්. අදත් සුබාවිත ගීතය වටා රොක්වුණු නව පරපුරක් ඉන්නවා. ඒ අය ලියන සිංදු මම වාණිජ පරමාර්ථයකින් තොරව ගායනා කරනවා. දර්ශන වික‍්‍රමතුංග නව පරපුරේ දක්ෂ සංගීත ශිල්පියෙක්. ඔහුයි මමයි ගීත රචකයයි. එකතුවෙලා හොඳ සුභාවිත ගීත නිර්මාණය කරපු අවස්ථාත් තියෙනවා. අපිට නොපෙනුනාට සුභාවිත ගීත රසවිඳින විශාල පිරිසක් මේ රටේ ඉන්නවා.’’

ක‍්‍රිෂාන්තට සමුදිය යුතුය. ඊට පෙර මගේ ආදර පවසට නම් වූ ඔහුගේ නවතම ප‍්‍රසංගය ගැන තවත් ටිකක් කියන්නට ඉඩ දිය යුතුය.

‘‘මම ගයන ගීතවල අරුත් සපයමින් ඒ ඔස්සේ මනුස්සකම ගැන කතාකරන්නේ මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල. ඔහු ප‍්‍රවීන සාහිත්‍යවේදියෙක්.

සෙංකොට්ටං නවකතාවට සම්මාන පවා හිමිකර ගත් නවකතාකරුවෙක්. හිරුත් හිම පියල්ලක නමින් කාව්‍ය සංග‍්‍රහයක් පවා ලියූ දක්ෂ කවියෙක්. ඒ නිසා ඔහුගේ ගී විවරණ අරුත් සම්පන්නයි. නැවුම් ප‍්‍රසංගය ඉදිරිපත් කරන්නේ අපේ කාලයේ දක්ෂ ගී පද රචකයෙක් වන සුගත් සෝමවීර. අපි හැමෝම එකතුවෙලා අලූත් දෙයක් මේ සමාජයට තිළිණ කරන්නයි උත්සාහ කරන්නේ. ’’

 

ශාන්ත කුමාර විතාන