අබේ - නිරංජලා විශිෂ්ට ගී මුහුණු පොතේ පිටුවකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ

ඔබෙන් තොර හීනයක් කොයින්දෝ

ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ

ඔබෙන් තොර ලෝකයක්

ඔබෙන් තොර හීනයක්

ඔබෙන් තොර ගීතයක්

කොයින්දෝ

20200405Abe-1අබේවර්ධන බාලසූරිය ඒ ගීතය ගැයුවේ මීට දශක තුන හතරකට කලිනි. ඔහු ඒ ගී පදවලට තම භාව පූර්ණ හඬින් පණ දුන්නේ කා වෙනුවෙන්දැයි නොදනිමි. බොහෝවිට ඒ ඔහුගේ ආදරණීය භාර්යාව වූ නිරංජලා සරෝජිනිය වෙනුවෙන් විය හැකිය. එසේ වුවත් අද, නිරංජලා සරෝජිනියට හිතෙනු ඇත්තේද එසේමය.

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ කියායි.

‘‘අදටත් මට අබේගෙන් තොර ලෝකයක් නැහැ මල්ලී’’

නිරංජලා අක්කා මා සමඟ කීවේ ඉකුත් අඟහරුවාද‌ාය.

‘‘අබේ අයියා නැතිවෙලා මේ 26 වැනිදාට අවුරුදු දහයක් වෙනවා’’

නිරංජලා සරෝජිනිය හැමදාමත් දයාබර හඬින් කීවාය.

‘‘අවුරුදු දහයක්... මෙච්චර කාලයක් ඔබ ගෙවාගත්තෙ කොහොමද?’’

මම පෙරලා විමසීමි.

‘‘මටත් ඒක නම් හිතාගන්නත් බැහැ. ඒත් කොහොම හරි අබේ නැතුව අවුරුදු දහයක් ගෙවිලා ගිහින්. හැබැයි ගෙවුණු කිසිම දවසක, අබේ නැහැයි කියලා මට හිතුණෙ නැහැ. මට අමාරුවක් දැනෙන හැම වෙලාවකම, මට අසනීපයක් හැදුනාම කොහේ හරි ඉඳන් අබේ මගෙ දිහා බලා ඉන්නවා කියලා මට දැනෙනවා. ඒ හැඟීම එක්ක තමයි මම මේ අවුරුදු දහයක් ගෙවලා තියෙන්නේ. අනික මල්ලි, උද‌ාවන හැම දවසකම මට වැඩක් තියෙනවා. මට යන්න ගමනක් තියෙනවා. මඟුල් ගෙයක් මළ ගෙයක් දානෙ ගෙයක් පොතක් දොරට වඩින උත්සවයක් ගීත ප්‍රසංගයක්. කලා වැඩක් වගේ මොකක් හරි දෙයක්... ආරාධනාවක් එවන හැම උත්සවේකටම ගිහිල්ලා පුලුවන් විදිහට සහභාගී වෙන්න මම පුරුදු වුණේ අබේ ඉන්න කාලෙ ඉඳන්මයි.

අබේට හරියට යාලුවො හිටියා. ඒ යාලුවො මගෙත් යාලුවො වෙලා අබේ නැහැ කියලා නැහැ. ඒ හැමෝම එයාලගෙ උත්සවවලට මටත් ආරාධනා කරනවා.

ඒ විතරක් නෙමේ රේඩියෝවල රූපවාහිනීවල විවිධ වැඩසටහන් තියෙනවා. ඒවටත් මට යන්න වෙනවා. ගීත ගායනා නොකළත් ඒ ගීතවලට පසුබිම් කතා වගේ දේවල් කියන්න මම ඒ වැඩසටහන්වලට සහභාගී වෙනවා.’’

නිරංජලා සරෝජිනී යනු ගුවන් විදුලි නිවේදිකාවකටත් වඩා ජනප්‍රිය ගායන ශිල්පිනියකි. ඇය බහුතරයක් යුග ගී ගැයුවේ අබේවර්ධන බාලසූරිය සමඟය. අපේ ගායන ලෝකයේ අඹුසැමි ගායක ගායිකාවන් කිහිප දෙනෙකුම සිටියෝය. බොහෝ විට යුග ගී ගයන්නේ එම යුවළමය. අබේ නිරංජලා හැත්තෑව දශකයේ බිහිවූ ජනප්‍රියම අඹු-සැමි ගායනා යුවළකි. ඒ නිසාමදෝ අබේවර්ධන බාලසූරිය කටහඬ අහිමිව සිටි අවදියේදී නිරංජලා ගී ගැයීමෙන් ඉවත් වූවාය. ඇගේ ඒ දානය අදටත් එසේමය.

‘‘මගෙ ගී දැන් ගයන්නෙ මගෙ අක්කලගෙ දූවරු වන සෙව්වන්දියි අනුරාධයි.’’

නිරංජලා කියන්නීය. එහෙත් අබේ අයියා ජීවතුන් අතර සිටියදී ආරම්භ කළ ගී සංරක්ෂණ කටයුත්තේදී අබේ නිරංජලා විශිෂ්ඨ ගී රාශියක් සීඩී පට දහතුනකටම ගැයූ අයුරු මට මතකය. ඒ පිළිබඳව කතා කරන්නට මහරගම යහම්පත් මාවතේ පිහිටි අබේ නිරංජලා කැදැල්ලට ගිය දවස මට අද මෙන් මතකය.

‘‘අපේ ගීත නැසී යන්න දෙන්න බැහැ. මේ හුඟක් ගී සරල ගී විදිහට ගුවන් විදුලියට ගහපුවා. ඒ නිසා මේ ගී තියෙන්නෙ ගුවන් විදුලියෙ විතරයි. ඒක අඩුවක්. මම කල්පනා කළා අපේ ඒ විශිෂ්ට ගීත නැවත රෙකෝඩ් කරලා සංරක්ෂණය කරන්න.’’ එදා අබේ අයියා ගැඹුරු හඬින් කීවේය.

දැන් ඒ සීඩීවලින් මහ ගොඩක් ඉවර වෙලා. හය හතක විතර සීමිත පිටපත් ගණනක් තියෙනවා. ඒත් රට රටවල ඉන්න රසිකයො අපේ මේ ගීත අහන්නෙ කොහොමද කියලා අහනවා. මේකට පිළියමක් විදිහට මට එෆ්.බී. පේජ් එකක් පටන් ගත්තා. අබේ නිරංජලා විශිෂ්ට ගී නමින්. මේ පේජ් එක ගැන මම අදහස ඉදිරිපත් කළේ කෑගල්ලෙ විදුහලක ගුරුවරියක ලෙස සේවය කරන ගයත්‍රි ඉන්දීවරී රණසිංහයි. ඇය තමයි මේ පේජ් එක කරගෙන යන්නෙ. මේ වෙනකොට ඒ පේජ් එකේ අපේ ගීත තුන්සීයක් විතර ඇතුළත් කරල තියෙනවා. තවත් හාරසීයක්වත් ඇති අපේ ගීත.

මේ පිටුව හරහා දැන් ලෝකය පුරා ඉන්න රසිකයන් මට සම්බන්ධ වෙලා ඉන්නවා.’’

අබේ අයියා නික්ම ගොස් දසවසරක් බව පළමුවද කීවෙමු. ඉතින් මේ ගුණසමරුව සමඟ අබේ අයියා වෙනුවෙන් නිරංජලා අක්කා කරන පිංකම් අපමණය.

‘‘මල්ලි හොඳම ද‌ානය ධර්ම දානය කියනවනෙ. ඒ නිසා මම බෞද්ධයා නාලිකාව සමඟ සම්බන්ධ වෙලා බණක් කියෙව්වා. ඒ බණ කිව්වෙ පාතේගම ඤාණිස්සර හාමුදුරුවො. බුදු සමයෙ එන විවිධ ජාතක කතාවලින් කරුණු අරගෙන මිහිරි කටහඬක් ඇතිව ඉපදීම ගැන ඒ වෙනුවෙන් කළ යුතු පිංකම් ගැන තමයි හාමුදුරුවො ලස්සන බණක් දේශනා කළේ. ඒ බණ මේ 26 වෙනිද‌ා උදේ 11.30 ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙනවා. බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙ එය විකාශය වෙන්නෙ නම් පසුව.’’

‘‘පාතේගම හාමුදුරුවො කියන්නෙ අබේ අයියා ළඟින් ඇසුරු කළ හිමිනමක්. හාමුදුරුවො ලියන ලිපි පොත්පත් එහෙමත් අබේ අයියා ආශාවෙන් කියවපු බව මට මතක් වෙනවා.’’

නිරංජලා අක්කා කියයි.

අබේ අයියාගේ ගැඹුරු කටහඬ මගේ සවනෙහි නින්නාද වනු ඇසෙයි.

ඔහු නික්ම ගොස් දශකයක් ගෙවුණු බව මට විශ්වාස කළ නොහැකිය.

ගයන හැම ගීයකම ඔහුගේ කටහඬ ඇසෙන බැවිනි.

 

ශකුවි

20200405Abe-2