සුන්දර රූ සපුව නිධානයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200601Ayesha-1

ඇගේ රුව දුටු පමණින්ම ඔබ ඇය හඳුනා ගන්න ඇති. නිරූපිකාවක් ලෙසින් කේෂ්ත්‍රයට පිවිසි ඇය අද වන විට රටම හඳුනන දක්ෂ නිවේදිකාවක්. ඒ වාගේම ව්‍යායාම උපදේශිකාවක්. තමා සතු විවිධ දක්ෂතා ඔස්සේ වෘත්තීන් කිහිපයක් නියෝජනය කරන ඇය සුන්දර බිරිඳක් වගේම පුංචි පුතෙකුගේ‘ සෙනෙහබර මවක්ද වෙනවා. දින දින සුන්දර වන ඇගේ රහස දැන ගැනීමට ලද විවේකයකදී ඇය හමුවුණා.

 

එන්න එන්නම ලස්සන වෙනවා. මොකක්ද රහස?

මේ ලෝකයේ මම අහන්න ආසම වචනයක් තමයි ඔබ කිව්වේ. ලස්සන වෙලා කියලා. ඒ වචනය අහන්න මේ ලෝකයේ ඉන්න හැම ගැහැනියක් වගේම මමත් කැමතියි.

ලස්සන වීමේ රහසක් නම් නෑ. මම හිතන්නේ හිත ලස්සන නම් අපි ඉබේම ලස්සන වෙනවා කියලා.

 

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

ලස්සන කියන දේ සාපේක්ෂයි. කෙනෙකුට සුන්දරව පෙනෙන කෙනෙක් තව කෙනෙකුට එසේ නොවෙන්න පුළුවන්. අනිත් දේ තමයි මම කැමතියි කාන්තාවක් ලස්සනයි කියනවට වඩා සුන්දරයි කියනවාට.

කාන්තාවකට සුන්දර බව ඉතාම වැදගත්. මා පෞද්ගලිකව විශ්වාස කරනවා කාන්තාවක් සුන්දර විය යුත්තේ බාහිර ස්වරූපයෙන් පමණක් නොවේ. ඇය සතු යහපත් ගතිගුණ උගත්කම, බුද්ධිමත් බව, සමාජ ඉදිරියේ ජීවත්වන විදිහ, බාහිර පාර්ශවයත් සමග ගණුදෙනු කරන විදිහ කියන මේ සියලු කරුණු මෙයට බලපානවා.

අනිත් දේ තමයි නිතරම හිනාවෙලා ඉන්නවා නම් අපි ඉබේම ලස්සන වෙනවා. හිනාව කියන්නේ නොමිලේ දිය හැකි දෙයක්නේ.

 

 කාන්තාව අද වන විට ලොව පෙරළියට පත්කරවන වෘත්තීන් වල නියැලෙනවා. ඇගේ සුන්දරත්වයත් වෘත්තියකින් ඉදිරියට යෑමට බලපානවද?

මා හිතන්නේ උගත්, බුද්ධිමත් කාන්තාවකට තම සුන්දර රූ සපුව කියන්නේ වටිනා නිධානයක්. ඇයට ඉදි​රියට යන්න අධ්‍යාපනය, පළපුරුද්ද කැප කිරීම, මේ සියලු දේ එක්ක ලස්සනට වටිනාකමක් එකතු වෙනවා.

 

ඔබ විවිධ කේෂ්ත්‍රයන් අද වන විට නියෝජනය කරන්නේ ඔබ සතු සුන්දරත්වය නිසාද?

මා හිතනවා සුන්දරත්වය සියයට පනහකුත්, දක්ෂතාවය කැපවීම, වගකීමක් බාරගතහොත් එය නොපිරිහෙලා කටයුතු කිරීම වැනි කරුණු ගණනාවක් බලපානවා.

 

කෙනෙක් ඔබ ළඟට ඇවිත් ඔබ ලස්සනයි කිව්වොත්?

අම්මෝ ඒ තරම් සතුටක් තවත් නෑ. මම ගොඩක් කැමතියි ලස්සනයි කියන වචනය කාන්තාවකගෙන්ම අහන්න.

මොකද පිරිමියෙකු නිරතුරුවම කාන්තාවකගේ සුන්දරත්වය අගය කළත්, කාන්තාවක් තවත් කාන්තාවක් අගය කරන්නේ හරිම අඩුවෙන්. එම නිසා මම හිතනවා කාන්තාවක් තවත් කාන්තාවක් අගය කිරීම වටිනාකමින් වැඩි දෙයක් ලෙසට.

 

ඔබ කේෂ්ත්‍රයට පිවිසෙන්නේ?

2000 වසරේදී චීනයේ දෙව්දුව ලෙස හිස කිරුළු පැළඳීමත් සමගයි. මා අද ඉන්න තැනට ඔසවා තැබෙන, දොරටුව සියල්ල විවර වූයේ එහි මූලික ගෞරව හිමි විය යුත්තේ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතාට. ඔහු තමයි මා නිරූපන ශිල්පිනියක් ලෙසට කේෂ්ත්‍රයට හඳුන්වා දෙනු ලැබුවේ.

ඔය අතරේ මම 2002 වසරේදී කැප්රී ක්වීන් ලෙසත් අභිෂේක ලබන අතර බස්නාහිර පළාතෙන් අවුරුදු කුමරිය ලෙස කිරුළ පැලදීමත් මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.

 

සුන්දරත්වය වෙනුවෙන් හිසෙහි කිරුළුක් පළඳින විට මොකද හිතුනේ?

අම්මෝ ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ඒ මොහොතේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ මහා විශාල සතුටක් එක්ක පුංචි ආඩම්බරයකුත් හිතට දැනුණා.

 

 ඔබ නිවේදිකාවක් වන්නේ?

අවුරුදු කුමරියක් ලෙසින් රූපරාජිනියක් ලෙස කිරුළු පැළදීමත් සමඟ නිරූපන ශිල්පිනියක් ලෙසට දොරටු විවර වූවා. සතු නිවේදන හැකියාව හඳුනාගෙන නිවේදිකාවක් ලෙසට මා කේෂ්ත්‍රයට හඳුන්වා දුන්නේ එවකට ස්වරණාවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර මහතා. පළමුවරට මම නිවේදක කටයුතු කළේ ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් ලෙසට මාගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වන්නේ ලංකාවේ පළමුවන රණවිරු රියල්ස්ටාර් රියැලටි ප්‍රසංගය නිවේදන කටයුතු කිරීම. අද වන විට මම හිරු ටී.වී ආයතනයේ වසර 6ක් පුරාවට නිවේදන කටයුතු වල නිරත වෙනවා.

 

ඔබේ සුන්දර බව ආරක්ෂා කරන්න මොනවද කරන්නේ කියලා දැන ගන්නත් කැමතයි?

ම්..... ගොඩක් වතුර බොනවා. ඊට අමතරව සුන්දරත්වය රැක ගන්න වගේම නිරෝගිකම ආරක්ෂා කර ගන්න සිදුකරන ප්‍රධානතම දෙයක් තමයි ව්‍යායාම කරන එක.

කෑවේ බිව්වේ නැතත්, ව්‍යායාම කරන එක මගේ ජීවිතයේ කොටසක් වෙලා. මම සුම්බා ව්‍යායාම කරන්නේ. අද වෙන විට මම සුම්බා ව්‍යායාම පුහුණු උපදේශිකාවක් ලෙසට කටයුතු කරන අතර මා යටතේ ගෝලයන් බොහෝ පිරිසක් ඉන්නව. ඔවුන්ට ඉගැන්වීම් කටයුතු කරන නිසා දිනපතා පැය එකහමාරක් දෙකක් ව්‍යායාම වල නිරත වෙනවාමයි.

කෑම බීම වලින්නම් ලොකු වට ප්‍රවේසම් වෙන්නෑ. ඒත් පැනිරස වැඩිපුර කාපු දවසට ගොඩක් වෙහෙසනවා.

පුරුද්දක් විදිහට සීනි අධික තෙල්, අධික ලූණු අදික කෑම කන්න මම  ආස නෑ. පිටි කෑමත් ශරීරයට හිතකර නැති නිසා ඒවා ආහාරයට ගන්නෙත් නැති නිසා ඒවා ආහාරයට ගන්නෙත් අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණයි.

 

නිවසේ ඉන්න විට සමේ සුන්දරත්වය වෙනුවෙන් මොනවද කරන්නේ?

විවේකයක් ලැබුණු වේලාවට කඩල පිටි වලට යෝගට් එකක් දාලා, එයට මී පැණි ටිකක් මිශ්‍රකර මුහුණේ ආලේප කරනවා. එමගින් මැරුනු සම ඉවත් වෙනවා. දීප්තිමත් පෙනුමක් ලැබෙනවා.

ඊට අමතරව හම ලස්සන වෙන්න කියලා නම් මොනවත් පාවිච්චි කරන්නෑ. ඇත්තටම සුදු වෙන්න කියලා කියන සප්ලිමන්ට් වලට මම හරිම බයයි.

වයසත් එක්ක වෛද්‍ය වරයෙකු නිර්දේශ කළ පෝෂණ අතිරේඛයක් ලබා ගන්නවා. ඊට අමතරව Fish Oil එකක් පාවිච්චි කරනවා. එච්චරයි ඉතිං හැමදේටම පාවිච්චි කරන්නේ.

ආලේපන වලට මම ඇත්තටම ඇබ්බැහි වෙලාම නෑ. Night ක්‍රීම්, Day ක්‍රීම්, Sun ක්‍රීම් කිය කියා ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නේ නෑ. ඉදහිට හෝ ක්‍රීම් වර්ගයක් භාවිතා කරනවානම් මේ සියල්ල සැර ගතියෙන් අඩු ළදරු නිෂ්පාදන තෝරා ගැනීමට මම කැමතියි.

 

ඔබව දකින හැමෝම කියන්නේ ඔබ කවුරු වගේ කියලාද?

තාත්තාගේ කපාපු පලුව කියල තමයි මා හොඳින් දන්න අය හඳුන්වන්නේ.

20200601Ayesha-2

ලස්සන වෙලා ඉපදුනේ?

මම හිතන්නේ පෙර ආත්මවල ගොඩක් පිං කරපු නිසා වෙන්න ඇති නේද?

මේ ආත්මයේදීත් ගොඩක් පිං කරනවා.

 

 ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?

ලස්සන කාන්තාවෝ ගොඩක් දැකලා තියෙනවා. ඒ අතර මම වඩාත් කැමතියි ඩයනා කුමරියටයි, ​ඓශ්චර්යා රායිටයි.

 

 විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද?

ඔව්. කේෂ්ත්‍රයට පිවිසෙන්න කලින් සිටම මම විලාසිතාවන් කිරීමට පෙර හිතාබලන ප්‍රධානම කරුණක් තමයි මම බෞද්ධ කෙනෙක් කියන කරුණ. විවිධ වෘත්තීන් නියෝජනය කිරීමට විවිධ විලාසිතා කිරීමට අවශ්‍ය වුණත්, පොදුවේ මම අඟපසඟ පේන්න අදින්න කැමති නෑ.

 

 ඇගට ලස්සනම පාට?

රත්තරං පාට. රත්තරං පාට ඇන්දාම හම තවත් රත්තරං පාටට පේනවා.

 

 හැමදාම සුන්දරව ඉන්න මොනවද කරන්න ඕනේ?

ප්‍රධානතම දේ තමයි සුන්දරත්වය කියන දේ අතහැර නොගැනීම. අපි කුමන තරාතිරමක හිටියත්, රැකියාවක් කළත්, නොකළත් උපතින් ලැබුණු සුන්දරත්වය පවත්වාගෙන යෑමට නිරතුරුම උත්සාහ ගත යුතුයි.

ස්වභාවික දේවල් ආලේප කරලා දිනකට අවශ්‍ය ප්‍රමාණයට වතුර බීලා ඇවිදීම වැනි පුංචි ව්‍යායාමයක් කරලා තියෙන එකම ඇඳුම හරි පිළිවෙළට පිරිසිදුව ඇඳලා, ඉන්න පුළුවන්නම් අපිට සුන්දරත්වය අභියෝගයක් වන්නේ නෑ. අනිත් දේ තමයි පුළුවන් හැම වෙලාවකට හිත සතුටින් තියා ගන්න. හිනා වෙන්න. මේ පුංචි පුංචි කරුණු ටික හැමදාම සුන්දරව සිටින්න වැදගත් වේවි.

 

අසුන්තා එදිරිසූරිය