චැනල් එකෙන් උඩට ඉස්සුවට පස්සෙ නොවැටී ඉන්න අපි දැනගන්න ඕනෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200917Nuwandika (1)

ධම්මික බණ්ඩාර කවියක් ලියා තම  ආදරණීය සිසුවියට දෙන්නේ ඇගේ විසි දෙවැනි උපන් දිනය වෙනුවෙනි.

ඒ වනවිටත් කොළඹ සෞන්දර්ය විශ්විද්‍යාලයෙන්  උපාධිය හදාරමින් සිටි ඇය ධම්මික බණ්ඩාර ලියා දුන් කවිය, ඇගේ සංගීත ගුරුවරයා වූ චන්ද්‍ර පද්ම ජයසිංහට දුන්නාය.

ඔහු, ඇය නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේ සංගීතය ඉගැන්වූ ගුරුවරයාය. ධම්මික බණ්ඩාරගේ ටියුෂන් පංතියෙන් ඇය සිංහල උගත්තාය.

‘‘මේ සර්ල දෙන්නා හොඳ යාලුවො. ඒ  දෙන්නගෙම විශ්වාසයක් තිබුණා. මම හොඳ ගායිකාවක් වෙයි කියලා ඉතින්  මං ධම්මික සර් ලියපු  සිංදුව චන්ද්‍රපද්ම සර්ට දුන්නාම ඒ සර් මට මෙලඩි එකක් හදලා දුන්නා. මං එදා ඒ සිංදුව ගායනා කළා. ඒක තමා මගේ පළමුවැනි ගීතය.’’

ඇය කියයි.

ඇය කව්ද යන පැනය දැන් ඔබේ හිතේ කුහුල උපදවයි.

ඇය නුවන්ධිකා සේනාරත්නය

ඔව්. ඇය තමා!

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයේ අවසන් වටය නියෝජනය කළේ ඇයයි. පත්‍රය මුද්‍රණයෙන් පිට වන සෙනසුරාදාවේ රාත්‍රියේ සිහින තරුව තේරීමේ තරගය පැවැත්වෙයි.

මේ නුවන්ධිකා  සංගීතයට ඇලුම් කළේ පුංචි සන්දියේ පටන්ය.

එතකොට මම දහම් පාසල් යනවා. මට මතක විදියට හයවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලෙ තමයි මාව පද්‍ය ගායනා තරගවලට තෝරා ගත්තෙ. මම කලාප තරගවලට ගියා. ඒවායින් ජය ලැබිලා පළාත් තරගවලටත් ගියා. ඒ තරගවලින් මට ජය ලැබෙනකොට තමයි මට සිංදු කියන්න පුළුවන් කියන විශ්වාසය මට ඇතිවුණේ. එදා ඉඳලා මගෙ සිහිනය වුණේ ගායිකාවක වීම.

මම ඉගෙන ගත්තෙත් ඒ වෙනුවෙන්. නාරම්මල කනිෂ්ඨ විදුහලෙන් ශිෂ්‍යත්වය සමත්වෙල මයුරපාදෙට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළටත්, උසස් පෙළටත් සංගීතය විෂයක් විදියට කළා. ස්කෝලෙදි මම ඉගෙන ගත්තෙ පෙරදිග සංගීතය.   ඔය අතරෙදි මම විශාරද විභාගයත් කළා. මම මගෙ නමට මුලින් විශාරද කියන වචනය එකතු කර ගත්තෙ ආඩම්බරෙන්. ඊට පස්සෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගිහින් මම ඉගෙන ගත්තෙ බටහිර සංගීතය. දැන් මම පෙරදිග බටහිර සංගීත රටා දෙක ගැනම දන්නවා. ඒක මගෙ ඉදිරි ගායන දිවියට ලොකු හයියක් කියල මං හිතනවා.

 

නුවන්ධිකා ඩ්‍රීම් ස්ටාර් තරගයට එකතු වන්නේ සරසවියෙන් සමු ගත්තාට පසුවය.

‘‘ඇත්තටම මම රියැලිටි වැඩ සටහනකට එකතු වුණේ හුඟාක් හිතලා. මගෙ අම්මා කැමති වුණත් තාත්තා කැමති වුණේ නෑ රියැලිටිවලට යනවට. මගෙ යාළු මිත්‍රදීන් වගේම වැඩිහිටියනුත් කිව්වෙ රියැලිටි ගිහින් චැනල් එකෙන් පුළුවන් තරම් උඩට උස්සලා එක පාරට බිමට අතාරිනවා කියලයි.

ඒ කියන්නේ එක අවුරුද්දකදී තරුව වෙන ශිල්පියා හරි ශිල්පිනිය හරි ඊළඟ අවුරුද්ද වෙනකොට හැංගිලා ඉවර වෙන නිසා. ඒත් ඒකට චැනල්වලට දොස් කියලා වැඩක් නැහැ. චැනල් එකෙන් උඩට ඉස්සුවට පස්සෙ බිම නොවැටී ඉන්න අපි දැනගෙන ඉන්න ඕනෑ කියලයි මම හිතන්නෙ. ඒකට තමන්ගෙම ගීත කිහිපයක් නිර්මාණය කරගෙන තමන්ට අනන්‍ය වූ ගමනක් යන්න ඕනෑ. ඒ ගමන යන හැටි  දැන ගන්න ඕනැ අපි. මම ඒ බව තේරුම්  අරගෙනයි රියැලිටියට එකතු වුණේ. දැන් මම ඒ ගමනේ  අන්තිම පියවරට ඇවිත්. මෙතැනින් කොතැනටද කියන එක. රසිකයො තීරණය කරයි.

 

නුවන්ධිකා, ප්‍රවීණ ශිල්පිනියන් අතරින් වඩාත් ප්‍රිය කරන්නේ සුජාතා අත්තනායකටය. එහෙත් ඇය අනෙකුත් ශිල්පිනියන්ගේ ගීතවලටද ප්‍රිය කරයි. ඒ ඕනෑම කෙනෙකුගේ ගීතයක් ගැයීමටද කැමැත්තක් දක්වයි.

මේ දිනවල ඇය වෙහෙසෙන්නේ ඇගේම ගීත කිහිපයක හිමිකාරිය වීමටය.

මම දැනටත් දර්ශන වික්‍රමතුංගට, අරුණ ගුණවර්ධනට කියලා තියෙන්නෙ සිංදු ටිකක් හදලා දෙන්න කියලා. ඒ දෙන්නම කැමැත්තෙන්ම ඒ යෝජනාව පිළිගත්තා.

 

ඒ නිසා නුවන්ධිකා සේනාරත්න හෙටත් අපට හමුවෙයි. ඇගේම ගී ඇගේම හඬින් ඇසීමේ වාසනාව අපටද ඉතිරි කරමිනි.

මගේ එකම හීනය ජනප්‍රියම ගායිකාවක වීමයි. ඒ වෙනුවෙන් හැම අභියෝගයක්ම බිඳගෙන මම ඉදිරියට යනවා.

ඇය කියන්නේ නොසැලෙන හඬිනි.

රටකට ඇවැසි එබඳු දිරිය ලඳුන්ය

නුවන්ධිකා

සුබ ගමන්.

 

ශකුවි

20200917Nuwandika (2)