මම දැන් ලව් කරන සීන් එකේ නෑ



2016-12-26-ent-34

මේ දිනවල සිනමාවේ වැඩි කතාබහකට ලක්වෙන චරිතයක් මෙවර එකතු කර ගන්නට හිතුවා

ඔහු කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණවී කෙටි කාලසීමාවක් තුළ සිය හැකියාව දක්ෂතාවය නිසාම අද වනවිට ක්ෂේත‍්‍රයට නැතිවම බැරි චරිතයක්. ඒ තමයි තරුණ රංගන ශිල්පී දසුන් පතිරණ.

 

දසුන් අපිට මුලින්ම කියමු ද පවුලේ විස්තර ටිකක්.

2016-12-26-ent-31මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි. ලස්සන පුංචි පවුලක් තමයි ඉතින්

 

ඒ පවුලෙ අයත් එක්ක ගත කරපු ළමා කාලය ගැන කියන්නකෝ?

ළමා කාලෙ අපේ ගමේ මරදානෙදි ගෙවුණු සුන්දර සිදුවීම් තමයි තියෙන්නේ. අම්මයි තාත්තයි එක්ක ඒ දවස්වල වැඩිපුර ජීවිතේ ගෙවුණෙ. මුලදි ඉතින් එක දරුවයිනේ. එතකොට එකා හදාගන්න තමයි උත්සාහ කළේ. මොකද එකා යකා කියනවනේ.

නමුත් මම පොඩි කාලේ ගොඩක් හොඳ ළමයක්. ”උඹ” කියලවත් කතා කරන්නේ නෑ. ඒ තරම් හොඳටලූ පොඩි කාලෙදි හිටියෙ

 

ඒ කියන්නේ හරි කීකරු චරිතයක්.

ඔව් හොඳ කීකරු කොල්ලෙක්

 

දඟ වැඩ කරලත් නැද්ද?

ඒවා තිබිල තියෙනවා. ඒත් මට කොහෙවත් යන්න දීලා නෑ. මොකද, ඒ දවස්වල අපි ෆ්ලැට් ගෙවල්වල හිටියෙ. ඉතින් ගෙදරින් එළියට අඩියක්වත් යන්න දෙන්නෙ නැතිව පරිස්සමට හදලා තියෙන්නෙත් දඟ වැඩි නිසා.

 

එතකොට පාසල් කාලය ගතවුණු විදිය කතා කරමුද?

මම පාසල් ගියේ කේරි විද්‍යාලයට. ඒ කාලෙ ඉඳන්ම මගේ ආසාව තිබුණේ කලාවට. ඉතින් පාසලේ නර්ථන කණ්ඩායමේ, නාට්‍ය කණ්ඩායමේ, බෑන්ඞ් එකේ එහෙමත් මම හිටියා. නමුත් අනිත් විෂයන් ගණං හදන්න, විද්‍යාව එහෙම මට බෑ. ඇත්තටම මට තේරෙන්නේ නෑ. ඒ නිසා මම කලාව කියන දේ ආසාවෙන් කළේ. දක්ෂතා තිබුණෙත් ඒවට විතරයි. අනිත් වෙලාවට කට්ටි පැන පැන හිටියෙ. මම 5 වසරෙ ශිෂ්‍යත්වෙ අසමත් වුණාමත් ගෙදරින් පොඞ්ඩක් විතර මාව රිලීස් වුණා. මොකද ඒ වෙද්දි නංගිවත් ලැබිලා හිටියේ. එතනින් පස්සේ තමයි ටිකක් පිස්සු වැඩ කරන්න පටන් ගත්තේ. ඉස්කෝලේ දාන සෙල්ලම් ටික ඔක්කොම දැම්මා.

 

දසුන්, පාසලේ ජනප‍්‍රිය චරිතයක්ද?

ඔව්, ඔව් අපිව හැමෝම දන්නව. මොකද වලියක් ගියත් මුලින්ම යන්නේ මම. ඩාන්සින්, ඩ‍්‍රාමා වලිනුත් මුලින්ම මම හිටියා. ඇත්තම කිව්වොත් තවමත් පාසලේ අස්වීමේ සහතිකයවත් අරගෙන නෑ. එක පාරක් අස්වීමේ සහතිකේ ගන්න ගිහින් නියෝජ්‍ය විදුහල්පති මාව එලවලා දැම්මා. ඒ එලවපු එලවිල්ලට මම ආයෙත් ඉස්කෝලේ පැත්ත පළාතෙ ගියේ නෑ. ළඟදි නම් ඉතින් ප‍්‍රධාන ආරාධිත අමුත්තෙක් විදියට ඉස්කෝලෙට කතා කළා.

 

ඒ තරමට දඟ චරිතයක් නම් කියමුකො දඟ වැඩ ටිකක්?

ඒ කාලෙ මාර වැඩ තමයි ගොඩක් තිබුණේ. අනිත් ඉස්කෝලවල ළමයි එක්ක ගහගන්නවා. මරදානෙ ස්ටේෂන් එකේ. ඒ දේවල් ගොඩක් තිබුණා. පස්සේ මම ටිකක් ලොකු කාලෙදි වගේ අපි මහරගමට ගෙදරක් හදලා පදිංචියට ආවා.

එතනින් පස්සේ ඉතින් මම මාර නිදහස්. මොකද මම යන්නෙ එන්නේ එතකොට කෝච්චියෙන්. ඉතින් ඒ සමහර දවස්වලට ඉස්කෝලෙ යන්නෙ නැතිව මරදාන ස්ටේෂන් එකේ ඉන්නවා. කෝච්චියෙ එහෙ මෙහෙ යනවා. කොල්ලො එක්ක ගහගන්නවා. සිගරට් බොනවා. ඒ වගේ දේවල් කළේ.

 

ඒ දඟ වැඩ පාසලට අහුවෙලා ප‍්‍රින්සිපල්ගෙන්, සර්ලගෙන් ගුටි කාල තියෙනවද?

අම්මෝ ඔව්. ඒවා ඉතින් සාමාන්‍ය දේවල්නෙ. අම්බානෙට ගුටි කනවා. ඒවා ඒ කාලෙ හරි පුරුදුයි.

 

වැඩිපුරම ගුටි කාල තියෙන්නේ කාගෙන්ද?

වැඩිපුරම ගුටි කාල තියෙන්නෙ නියෝජ්‍ය විදුහල්පතිගෙනුයි, සමාජ අධ්‍යයනය උගන්වපු සර් කෙනෙක් හිටිය ශාන්ත කියලා. ඒ දෙන්නගෙන් වැඩිපුර කෑවා.

 

දසුන්ගෙ පන්තියෙ වෙනියා එහෙම කොහොමද?

පිස්සුද අනේ... මොන වෙනියද? අන්තිම ගණන්වල තමයි.

 

පන්තියෙ පළවෙනියා වෙලා නැද්ද?

අම්මෝ... ජීවිතේට නෑ. ඒත් මට තිබුණා කොපි කිරීමේ හොඳ හැකියාවක්. මම කරන්නේ අපේ හොඳට ලොකුවට ඉගෙන ගත්ත අයගෙ පොත් අරගෙන ඒවාගෙන් කොපි කරනවා.

 

දසුන් පන්තියෙ රැඳුණු කෙනෙක්ද?

ගොඩක් වෙලාවට පන්තියට යන්නේ අන්තිම පීරියඞ් එකේ වගේ. ඒ ගිහිනුත් අන්තිම පේලියෙ ඉන්නෙ.

 

A/L වලට මොනවද කළේ?

මම Art කළේ. ඒ කළෙත් ප‍්‍රයිවෙට් මොකද මම ඉස්කෝලෙන් එලෙව්වට පස්සෙ ආයෙත් ගියේ නෑනේ.

 

ඇයි එලෙව්වෙ?

ඉස්කෝලෙදි කළේ හොඳ වැඩ නෙමෙයිනේ. රැවුල් වවාගෙන එහෙම හිටියෙ. අනිත් එක චරිත සහතිකයක් ගන්න ගියාම මට දුන්නෙ නෑ. ඉතින් මම හිතාගත්තා ආයෙත් මම ඒ ඉස්කෝලෙට යන්නෙ නෑ කියලා.

 

එතකොට මේ දේවල්වලට ගෙදරින් මොනවගේ විරෝධයක් තිබුණේ?

ගෙදරින් නම් ඉතින් අම්බානෙට කුණු බැණුම් ටික තිබුණා. ඒත් ඉතින් මොනව කරන්නද? මම ඒවා ලොකුවට ගණන් ගත්තේ නෑ. එක කනකින් අහලා අනික් එකෙන් පිට කළා.

 

ඒ කියන්නෙ පුංචි කාලෙ හිටපු කීකරු චරිතය අකීකරු වුණාද?

අකීකරු කියලා කියන්නත් බෑ. කොල්ලන්ගෙ ඔැැබ ්ටැ වල කරන වැඩ කළා. ඒ වගේම ක‍්‍රීඩා කළා. නැටුම් කළා. පන්ති කට් කරලා ඉන්නෙ නැටුම් කාමරේ. ඒවාට තමයි ආස කළේ. අනිත් ඒවා ගණං එහෙම මට මඤ්ඤං වෙලා තිබුණේ.

 

එතකොට ඒ දවස්වල ගෑණු ළමයින්ගෙ ඉස්කෝල පැත්තේ එහෙම යනවාද?

අම්මෝ ඔව් ඔව්, අපි වළ බැහැගෙන හිටියෙ. ඒ දවස්වල ගැණු ළමයින්ගෙ ඉස්කෝල ළඟ. අපේ ඉස්කෝලෙ ළඟම තිබුණු අපේ අසල්වැසි පාසල තමයි යශෝධරා. අපි ඉතින් ඒකෙ ඉන්න කෙල්ලො දිහා බලනවා. විහිළු කරනවා. අපේ ලව් කරන කොල්ලො ඉන්නව නම් ඒවට උදව් කරනවා. ගුටි කන්න ඕනෑනම් ඒ කෙල්ලන්ට පේන්න ගුටි කනවා. ඒ වගේ දේවල් කළා.

 

දසුන්ට ඉස්සෙල්ලම කෙල්ලෙක්ට හිත ගියේ කීය වසරෙදිද?

මුලින්ම නොදැනුවත්වම මට සම්බන්ධයක් තිබුණා තුන වසරෙදි. ඒක ෆ්ලැට් එකේ ලව් එකක්. එතකොට ඒ ළමයා හතර වසරෙ. අපිට ඉතින් ලව් කියලා මොනවත් තේරෙන්නෙ නෑ. කිස් එකක් දෙනවා. අන්න ඒ වගේ පොඩි පොඩි ඒවා තිබුණේ. ඊට පස්සෙ අට වසරෙ ඉඳන් වගේ කෙල්ලො හිටියා. ඒවා වැඩිකල් නෑ. සතියයි, මාසයයි.

 

වැඩි කල් තිබුණු ඛදඩැ එකක් ගැන මතක නැද්ද?

වැඩිකල් කියන්නේ ධරැුඛ කාලෙ වගේ තිබුණු ලව් මතකයි. දැන් ඒ කෙල්ලො බැඳලා ළමයි එහෙමත් ඉන්නවා. දහම් පසල් ගිය කාලෙනම් ගොඩක් ලව් තිබුණා. ඒ කාලෙ තමයි මට කෙල්ලො හිටියෙ. ඒ කාලෙ මම දහම් පාසල් යන්නෙත් හරි ආසාවෙන්.

 

එතකොට දැන්?

දැන් කෙනෙක් ඉන්නවා. එයා ඉන්නෙ ස්වීඩන්වල. ඒවා ඉතින් මොනවාවෙයිද දන්නෙ නෑ.

 

ඇයි ස්ථීරව කියන්න බැරි?

මෙහෙමයි, මට මීට කලින් අවුරුදු පහක ලව් එකක් තිබුණා. අවුරුදු දෙකක එකක් තිබුණා. ඒවා ඉතින් ඉන්න බැරි තැන කතා කරලා අයින් වුණා. මේ වෙද්දි ඉන්න ගැණු ළමයා හොඳයි කියලා හිතෙනවා. සමහරවිට කියන්න බෑ. මොකද මගේ ළඟ කසාද නීතියෙන් බඳින වැඩ නෑ. ඕනෑ නම් ඉඳියි නැත්තම් යයි.

 

ඒක යකාගෙ කතාවක්නේ? විවාහ වෙන්නෙ නැතිව ඉන්නෙ කොහොමද?

2016-12-26-ent-33මෙහෙමයි, විවාහය කියන දේ කොලේකට සීමා කරන්න බෑ. ඒක නිසා දෙන්නට දෙන්නා කැමතිනම් දිගටම ඉඳියි. නැත්නම් යයි. වෙඩින් ගැනිලි මගේ ළඟ නෑ.

 

නැත්නම් විවාහයක් නීත්‍යානුකූල නෑනේ?

වෙඩින් ගන්න කියලා නීතියක් තියෙනවද? ඒවා මට නෑ. මට විවාහය කියන දේ කොලේකට සීමා කරන්න බෑ. කසාද බැඳලා වෙඩින් අරගෙන මිනිස්සු මාස 3න් ඩිවෝස් වෙනවා. ඉන්න බැරිනම් අයින් වෙන්න කියලා නීතියක් තියෙනවනේ. මම අවුරුදු 5ක් කෙනෙක් එක්ක ජීවත්වුණා. තව අවුරුදු 2ක් තවත් කෙනෙක් එක්ක ජීවත් වුණා. ඒ ජීවත් වුණෙත් පොතේ අත්සන් කරලා නෙමෙයිනේ. ඒ ජීවත් වුණේ මට ඕනෑ නිසා.

 

ඒක ගෑණු ළමයින්ට කරන අසාධාරණයක්නේ?

නෑනේ. කෙල්ලට ප‍්‍රශ්නයක් නැත්නම් ඒකෙ අසාධාරණයක් නෑ. කොහොමත් මට සාම්ප‍්‍රදායික කෙල්ලෙක් එක්ක ඉන්න බෑ. මොකද සාම්ප‍්‍රදායික කෙනෙක් එක්ක මේ සිස්ටම් ගෙනියන්න බෑනෙ. මම කියන්නෙ දෙන්නෙක් එකට ආශ‍්‍රය කරද්දි තමයි තීරණය කරන්න පුළුවන් වෙන්නෙ ඉන්න පුළුවන්ද? බැරිද? කියන දේ. ඉතින් සාම්ප‍්‍රදායික නොවන කෙල්ලෙක් ඉන්නව නම් මම ඒ කෙනත් එක්ක ජීවත්වෙනවා. කනවා, බොනවා, ළමයෙක් හදන්න ඕනෑනම් ළමයෙක් හදනවා. ඒවත් හිතෙන්න ඕනෑ. නැත්නම් ඒවා අපිට බලෙන් ඇති කරගන්න බෑ. දෙමව්පියන්ට ඕනෑවටත්, නෑදෑයන්ට ඕනෑවටත් මට ජීවත් වෙන්න බෑ. මගෙ ඛසෙැ එක මගෙ. මම කරන්නෙ මට ඕනෑ දේ.

 

රංගනයට පිවිසුනාම එහිදී දසුන්ගෙ ගුරුවරු වුණේ කවුද?

මම රඟපෑමට ගොඩක් ආසාවෙන් ඉන්න කාලෙ මට ”මිල්ලෙ සොයා” චිත‍්‍රපටය බලන්න හැකියාව ලැබෙනවා. මේ චිත‍්‍රපටය බැලූවම මට මහේන්ද්‍ර පෙරේරා කියන නළුවාට පිස්සු වැටෙනවා. බූඩි කියන අධ්‍යක්ෂවරයාට පිස්සු වැටෙනවා. මට ඇත්තටම ඩාන්සින් සහ ඩ‍්‍රාමා කළත් අරමුණක් තිබුණේ නෑ. ඒ අරමුණක් නැතිව පාවි පාවී ඉන්න කාලෙදි ටී.වී. වැඩසටහනකදී කව්රු හරි කෙනෙක් කියනවා ඇහෙනවා මහේන්ද්‍ර පෙරේරාගෙ රංගන පාසලක් තියෙනවා කියලා. එතකොට මම කරන්නෙ පහුවෙනිදාම මහේන්ද්‍ර පෙරේරාට තියෙන ආසාවත් එක්ක ඔහුව හොයාගෙන යන එක. ඒ 2004 දි. ඒ ගියාට පස්සෙ තමයි මගේ ජීවිතේ වෙනසක් සිද්ධ වෙන්නෙ.

එතනින් පසුව මම දැනගන්නවා රංගනය කියන දේ අධ්‍යනය කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෑ. කැප කරන්න ඕනෑ කියලා. ඉතින් ඒ සියල්ල එක්ක මගේ ජීවිතේම රංගනය වුණා.

 

දසුන් දැන් සිනමාව ගැන ඉගෙන ගන්නවාද?

මම චිත‍්‍රපටවල වැඩ කරලා තියෙනවා. පොඩි කාලෙ ඉඳන්ම මම රංගනයන්ට දායක වෙලා තියෙනවා. නමුත් තියරි කළේ නෑ. සිනමාව ගැන අර්ථ කථනයක් දෙන්න පුලූවන්. මම තේ හදන එකේ ඉඳන් ඇඳුම් නිර්මාණය ඒ හැමදේම කරලා තියෙනවා. මම 2004න් පස්සෙ රස්තියාදු ගැහුවෙ මේ ක්ෂේත‍්‍රය තුළ විතරයි. මම ගෙදර මිනිස්සු, ගමේ මිනිස්සු, නෑදෑයෝ, යාළුවෝ ඒ හැමෝගෙන්ම අයින්වෙලා මේ ක්ෂේත‍්‍රයට ආවෙ. මගේ ජීවිතේ වුණේ නාට්‍යය, චිත‍්‍රපට බලන එක.

ඒ නිසා මම හිතන්නේ තියරිවලට වඩා මම ප‍්‍රැක්ටිකල් ඉගනගත්තා කියලා.

 

ඔබ මෑතකදී මියුසික් වීඩියෝ බොහෝ ප‍්‍රමාණයක දකින්න ලැබෙනවා. ඒ වගේ හොටු පෙරාගෙන අඬන එක නළුකමට හානියක් කියලා හිතෙන්නෙ නැද්ද?

සාමාන්‍යයෙන් මිනිහෙක්ට අඬන්න බෑනේ. නළුවෙක් වුණාම අඬන්නත් පුලූවන් වෙන්න ඕනෑ. ඒකෙන් මට පාඩුවක් වෙලා නෑ. මිනිස්සු මාව කොටු කරන්න පුලූවන් මූ අඬන ඒවාට ඉන්නෙ කියලා. නමුත් මම මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නෙත් නැත්නම්, මේවගෙන් හම්බ කරන්න ඕනැනේ. මගේ රස්සාව මේක නම් මම හම්බ කරන්න ඕනෑ කැමරාවක් ඉදිරියෙනේ. ඉතින් මම සල්ලි හම්බ කරන්න මියුසික් වීඩියෝ මාධ්‍ය තෝරාගත්තා. ඉතින් මම ඒවගේ පැලෙන්න අඬනවා. ඉතින් මට ඒවගෙන් පාඩුවක් වෙලා නෑ. මාව හඳුනන්නෙ නැති පිරිසකුත් මියුසික් වීඩියෝවලින් මාව හඳුනාගෙන තියෙනවා. මියුසික් වීඩියෝ එන්න කලින් මගෙ චිත‍්‍රපට ටික ආවා නම් සමහර විට මිනිස්සු මාව දන්නෙ නෑ. මියුසික් වීඩියෝ විතරක් දැකපු ගොඩක් අය මගෙන් අහලත් තියෙනවා ඔයා රඟපාන්නෙ නැද්ද? කියලා. මියුසික් වීඩියෝවල හිටපු මුල් කාලෙදි.

 

දසුන්ට තියෙන පේ‍්‍රක්ෂක ආදරය ගැනත් කතා කරමු?

පේ‍්‍රක්ෂක ආදරය කියන්නේ ගෑණුද? පිරිමිද? ලොකු අයද? පොඩි අයද කියලා නෑ. වෙනසක් නැතිව හැමෝම මට ආදරෙයි. ඒ අයට මගේ රංගනය දැනෙනවානම් ඒකම මට ඇති. ඒ අයගේ අවංක ආදරේ මට ගොඩක් වටිනවා.

සමහරු මට මගේ ගැන ඇඬෙන්න කියලා තියෙනවා. ඒ වගේ ප‍්‍රතිචාර ලැබෙන එක සහ ඒ ප‍්‍රතිචාර ඇහෙන එක තමයි මගේ ආතල් එක. මට ඒ ඇති.

 

එතකොට ගෑණු ළමයින්ගෙන් පේ‍්‍රම යෝජනා එහෙම එනවද?

එනවා, ඒවයේ අඩුවක් නම් නෑ. ඒත් මම දැන් ලව් කරන සීන් එකේ නෑ. ලව් කරලා ඇතිවෙලා තියෙන්නෙ. දැන් වයසත් අවුරුදු 31ක් වෙනවනේ.

 

දසුන්ට ජනප‍්‍රියත්වය වදයක් වෙලා තියෙනවද?

නෑ, තාම නෑ මට හිතෙන්නෙ කෙනෙක් මගේ ෆොටෝ එකක් ගත්තත් ලොකු සතුටක්. අපිට ඉන්න එකම කෙනා පේ‍්‍රක්ෂකයා. ඒ කෙනා ඕඩියන්ස් එකේ ඉන්න නිසා අපිව රැුඳෙන්න. ඒකට අපි ගරු කරන්න ඕනෑ. සමහරු ඉන්නවා වාත වෙන අය. ඒක අපි කෙළින්ම කිව්වාම ඉවරයි.

 

මේ ලබාගෙන තියෙන ජනප‍්‍රියත්වය මත දේශපාලනයට එන්න අදහසක් නැද්ද?

නෑ, මම දේශපාලනය ගැන දන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ. ඒත් මට පක්ෂයක් තියෙනවා. මම ඒකට ඡුන්දෙ දෙනවා. ඒ ඇරෙන්න මට ඕවා තේරෙන්නෙ නෑ.

 

ඒ කාලෙ කරළියට ආපු දසුන්ගෙ වයසෙ ගොඩක් අය දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වුණානේ? ඇයි දසුන් සම්බන්ධ නොවුණෙ?

මම නළුවෙක්නෙ. පොඩි කාලෙ ඉඳන්ම මගෙ ආසාව තිබුණෙ නළුවෙක් වෙන්න. ඒ ආසාව මගේ තාම තියෙනවා. ඒකත් එක්ක මම ජීවත් වෙන්නේ.

 

ලංකාවෙ සිනමාව ගැන තරුණ නළුවෙක් විදියට තියෙන හැඟීම කොහොමද?

ප‍්‍රශ්න තියෙනවා සිනමා කර්මාන්තයෙ. ඒ කියන්නෙ සිනමාශාලාවල ගෙනල්ලා චිත‍්‍රපටයක් බලන්න තරම් ලොකු කර්මාන්තයක් ලංකාවෙ නෑ. ලංකාව පොඩි රටක්නේ. ඉතින් පහසුකම් නෑ. ඒ නිසා අපි මේ ගේම ගහන්න ඕනෑ. හොඳ චිත‍්‍රපට කරන්න ඕනෑ. මේ වෙද්දි ලංකාවෙ හොඳ ඒවා කරලා තියෙනවා. නැතිව නෙමෙයි. ඒත් අපි ළඟ නැත්තෙ ප්‍රොපටීස් ටික විතරයි. මම පුළුවන්තරම් චිත‍්‍රපටවල වැඩ කරනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. කඩා වැටිච්ච සිනමාව ගොඩගන්න එක ලේසි නෑ. 90 ගණන්වල කඩා වැටුණු සිනමාවක් ලංකාවෙ තියෙන්නෙ. ඒක ගොඩගන්න උත්සාහ කරන්න ඕනෑ.

 

දසුන් විදේශීය චිත‍්‍රපට එහෙම බලනවද?

ඔව්, ලකාවෙ ටී.වී. නාළිකා මම බලන්නේ නෑ. විදේශීය ඒවා විතරම තමයි බලන්නේ.

 

ලංකාවෙ කැමතිම රංගන ශිල්පියා සහ ශිල්පිනිය කව්ද?

මහේන්ද්‍ර පෙරේරාට තමයි ගොඩක් කැමති. රංගන ශිල්පිනියො ගත්තොත් කෞශල්‍යා ප‍්‍රනාන්දුටත්, චාන්දනී සෙනෙවිරත්නටත් කැමතියි.

 

තරුණ පරපුරේ නළු නිළියො තරමට වඩා පණ්ඩිත විදියට හැසිරෙනවා කියලා හිතෙන් නැද්ද?

පණ්ඩිත නොවී වැඩ කරන්නත් අමාරුයි. අවුල තියෙන්නෙ ඒ පණ්ඩිතකම් දාන අය කරන වැඩ මොනවද කියන එක. මෙගාවල රඟපාලා ඔවුන් ළඟ පෙන්නන්න වැඩ කිසි දෙයක් නැත්නම් පණ්ඩිතකම් දාන එක අවුල්. දැක්මක් තියෙනවා නම් ප‍්‍රශ්නයක් නෑ. මොකද අපේ කට්ටිය ගත්තොත් ජගත් මනුවර්ණලා, සමනලී ෆොන්සේකලා ඒ අයට යම් කිසි දැක්මක් තියෙනවා. එයාලා යමක් කතා කරනවා. දැක්මක් නැත්නම් කතා කරන්න බෑනේ.

 

විලාසිතා ගැන කතා කරද්දි දසුන්ගෙ කොණ්ඩ විලාසිතාව ජනප‍්‍රියත්වයට හේතුවක් නේද?

ඔව්, මම මගේ කොණ්ඩෙට ගොඩක් ආසයි. මට උපතින්ම ලැබුණු දෙයක් මේ.

 

වෙනත් විලාසිතාවකට යන්න අදහසක් නැද්ද?

මට කාලෙන් කාලෙට විලාසිතා කරන්න බෑ. මගේ චරිතවලට මම විලාසිතා වෙනස් කරනවා. ඉතින් මට ඕනෑ විදියට ඒවා කරන්න බෑනෙ. චරිතෙකට තට්ටෙ ගාන්න අවශ්‍ය වුණොත් ඒකත් මට කරන්න වෙනවා.

 

ඒ කියන්නෙ චරිතයක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම.

 

සටහන - ධනු විජේරත්න, ඡායාරූප - චමත් වින්දුල

 

2016-12-26-ent-32
2016-12-26-ent-30
2016-12-26-ent-29