වේදිකාවට 'නැතුවම බැරි මිනිහෙක්'



2017-04-21-ent-13

පසුගිය දශකයේදී මෙරට වේදිකා නාට්‍ය රංග භූමියට ලැබුණු අපූරු තිළිණයක් ලෙස ධර්මප‍්‍රිය ඩයස් නමැති මේ රංග ශිල්පියා නම් කළ හැකිය. එහිදී ඔහුට ලැබෙන චරිත ඔස්සේ වඩාත් සුගම වූ රංග වින්‍යාශයක යෙදෙන ධර්මප‍්‍රිය පේ‍්‍රක්‍ෂකයින් අතර ප‍්‍රියජනක චරිතයක්ව සිටින්නේ, වේදිකාවේ රඟපෑම විතරක් නිසාම නෙවෙයි. සිනමාව සහ විශේෂයෙන්ම ටෙලිනාට්‍ය නිසා වඩාත් ප‍්‍රියජනක චරිතයක් වී සිටින ධර්මප‍්‍රිය ඩයස් නොහොත්, ක්‍ෂේත‍්‍රයේ බොහෝදෙනා ආදරයට අමතන ‘‘ඩයියා’’ තමාගේ සම්මානනීය රංගන ගමනට තවත් සම්මානයක් එක්කර ගත් මොහොතක, එනම් මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී රාජිත දිසානායකගේ ‘‘නැතුවම බැරි මිනිහෙක්’’ නාට්‍යයේ ‘‘ජයන්තගේ’’ චරිතය රඟපෑම උදෙසා දක්‍ෂතම රංග ශිල්පියාට හිමි සම්මානයෙන් පුද ලද මොහොතක, වත්මනෙහි ශ්‍රී ලාංකීය රංග කලාවට ‘‘නැතුවම බැරි මිහිහෙක්’’ වූ ධර්මප‍්‍රිය ඩයස් නොහොත් ‘‘ඩයියා’’ සඳැල්ලට කැඳවූ මොහොතකි මේ.

 

නැතුවම බැරි මිනිහෙක්ට අමතරව වේදිකාවේදී මේ දිනවල ඔබ නිරන්තරයෙන් දැකගත හැකි වෙනත් නිර්මාණ ගැනත් කිව්වොත්?

2017-04-21-ent-10සාදය මාරයි සල්ලි හමාරයි සහ කපිල කුමාර කාලිංගගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘‘බැංකු වීරයා’’ නාට්‍යයේත් දර්ශන වාර සඳහා මේ දිනවල දායක වෙනවා.

 

නමුත් මේ දිනවල වැඩි දෙනා ඔබ ගැන කතා වන්නේ ‘‘දෙවැනි ඉනිම’’ ටෙලි මාලාව නිසා නේද?

ඇත්තටම ඒ නාට්‍ය ඉතා ඉක්මනට ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය නරඹන බහුතරය අතර ජනප‍්‍රිය වූ බව පෙනෙනවා. ‘‘ආනන්ද’ නමැති එහි මා දායක වන චරිතයත් හරි අපූරු බව කියන්න පුළුවනි.

 

‘‘ආනන්ද’’ ගැන ඔබට දැනෙන්නෙ කොහොමද?

ඇත්තටම හරි අපූරි චරිතයක්. ‘‘අනේ ඒ වගේ අයියා කෙනෙක්’’ අපටත් හටියා නම්? අනේ ඒ වගේ තාත්තා කෙනෙක් අපටත් හිටියා නම්? කියන ප‍්‍රතිචාර තමයි ආනන්ද නිසා මට වැඩිපුර ලැබෙන්නෙ. මගෙ මූණටම පේ‍්‍රක්‍ෂකයින් එහෙම කියනවා. ඉතින් ඇත්තටම ඒක මට හරි සතුටක්. ඇත්තටම එය රචනය කර ඇති රිද්මය අපට රඟපෑමට ඉතා පහසුවී තිබෙනවා. සමන් එදිරිමුණිට ඒ ගැන ස්තූතිය පුදන්නට ඕනෑ. එවැනි පිටපතක් තෝරාගෙන අධ්‍යක්‍ෂණය කරන්න නිර්භයව ඉදිරිපත්වූ සාරංග මෙන්ඩිස්ටත් ස්තූතිය පුදන්න ඕනෑ.

 

සාමාන්‍ය ජීවිතයේදී ‘‘ආනන්ද’’ සහ ඔබ මොන වගේද?

ආනන්ද වගේම නෙවෙයි. ඊට වඩා ටිකක් වෙනස් නැත්නම් බාගෙට බාගයක් ඒ වගේ කියලා කියන්න පුළුවනි.

 

ඔබ අද වේදිකාවටත් ‘‘නැතුවම බැරි මිනිහෙක්’’ වෙලා. ඒ තරමටම ඔබට වේදිකාවෙන් ඉල්ලූමක් තියෙන්නෙ කිව්වොත්?

එය රාජිතගෙ ‘‘නැතුවම බැරි මිහිහෙක්’’ නාට්‍ය එක්ක පටබැඳෙන එකක්. කාලයක් මට ‘‘මචං’’ චිත‍්‍රපටයෙහි රඟපෑම නිසා පිරිසක් මට ‘‘මචං’’ කියන්න පටන් ගත්තා. මේ දිනවල මේ නාට්‍යයේ නමත් එක්ක පට බැඳුණු එකක්. ඇත්තටම සතුටුයි ඒ ගැන. මොකද එය බලහත්කාරයෙන් ලබාගත්ත දෙයක් නොවන නිසා. හැබැයි ඉතින් එහෙම ආමන්ත‍්‍රණය කරද්දී මට පොඩි චකිතයකුත් එනවා. ඇත්තද? මං ඒ වගේද? කියලා?

 

කොයි හැටි වෙතත්. ‘‘මේ නැතුව බැරි මිනිහට’’ නැවතත් සම්මානයක් හිමිවුණා. මේ කී වැනි වතාවටද, එලෙසින් සම්මාන ලැබුණෙ?

දෙවැනි වතාවටයි මෙවර මේ රාජ්‍ය නාට්‍ය උළෙලේ දක්‍ෂතම නළුවා ලෙස සම්මානය ලැබුවේ. ඊට පෙර චාමික හත්ලහවත්තගෙ ‘‘හයිනා’’ නාට්‍යයේ මට හොඳම නළුවා සම්මානය ලැබුණා.

 

‘‘නැතුව බැරි මිනිහෙක්’’ ජයන්ත යනු මුළු වේදිකා නාට්‍ය කාල පරාසය පුරාම සක‍්‍රීයව රංගනයෙන් යෙදෙන චරිතයක්. ඒ අපූරු රංග වින්‍යාශය ඔබ ඇතිකර ගත්තෙ කොහොමද?

ඔබ කියන දේ එහෙම නම්? එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ එහි නිර්මාණකරුවන රාජිත දිසානායකටයි. සියයට සීයක් චරිතය සාර්ථක නම්. සියයට අසූවකම ගෞරවය ලැබිය යුත්තේ ඔහුටයි. අලූත් නාට්‍යයක අලූත් චරිතයක් කරද්දී, ඒ චරිතයෙහි භූමිකාව සොයා යන්න මගේ චර්යා රටා පවා වෙනස් කර ගන්න රාජිතගෙ මෙහෙයවීම ප‍්‍රධාන වුණා. ඒ චරිතය තුළ ජීවත්වීමට ඔහු මාව ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස් කළා. මට ඒක හරි අපූරු අත්දැකීමක් වුණා. ඒක තමයි මෙම චරිතයෙහි තියෙන සුවිශේෂීකම වුණේ.

 

ඒ ‘‘ජයන්තගෙ’’ දෙබස් කණ්ඩයකුත් කියමුද?

‘‘නැතුව බැරි මිහිහෙක්’’ නාට්‍යයේ චරිත ගලා යන විදියට, එක්තරා අවස්ථාවක මගේ දුව ගැන මිතුරු කරුට මෙහෙම කියනවා.

‘‘මගේ දුව මාව රිද්දුවා වැඩියි ඕයි. ප‍්‍රභාකරන්ගෙ දරුවොත් ඌත් එක්ක හිටියා ඕයි’’ එය හරි හැඟුම්බර අවස්ථාවක් වුණා.

 

ශ්‍රී ලාංකීය වේදිකාවේ මොන තරම් කැපවීමෙන් කටයුතු කළත්, ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ ඉතා අවමයි. ඒත් ඔබ වේදිකාවට හරිම කෑදරයි වගෙයි පෙනෙන්නෙ? මේ වේදිකාවේ කැපවීම හැමදාටම ඔබ කරාවිද?

ඒ ගැන මම මෙහෙම කියන්නම්. එක්තරා අවස්ථාවක මට විදෙස් සංචාර කීපයක්ම ලැබුණා. දින 35 ක් ‘‘මචං’’ චිත‍්‍රපටය සමග ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල ගත කරන්න. නමුත් වැනීසියේ චිත‍්‍රපට උළෙල සඳහා දින පහක නියෝජනයක් කරලා මම ආපසු ලංකාවට ආවා. පේරාදෙණිය සරසවියේ වලේ නාට්‍ය දර්ශනයකට සහභාගී වීම වෙනුවෙන්. මොකද මම ඒ වෙනුවෙන් කළින් ගිවිස ගෙනයි සිටියෙ. නමුත් ඉතාලිය හැර දමා ඒ දින 35 සංචාරයෙන් දින පහක් විතරක් ගත කර නැවත පැමිණීම හිතට ගෙන දුන්නෙ ලොකු දුකක්. හිටියා නම් මුළු ඉතාලිය පුරාම සියලූ පහසුකම් සහිතව සංචාරය කරන්න තිබුණා. ඒ කෙසේ වෙතත්, පේරාදෙණිය ‘‘වලට’’ බැහැලා එදා රඟදැක්වූයේ රාජිතගෙම ‘‘ආපහු හැරෙන්න බැහැ’’ නාට්‍යයි. ඉතින් එදා හාරxපන්දහක පේ‍්‍රක්‍ෂකාගාරයක් එහි තිබෙනු දුටුවාම, අර සියලූ දෝමනස්සයන් පහව ගියා. මුළු ලෝකයටම ගියාක් මෙන්වූ හැඟීමක් ඇති වුණේ.

 

ඒ නිසා ඉතාලිය බලා ආපසු හැරෙන්න හිතුණෙ නැහැ?

අනිවාර්යයෙන්ම ඔව්. එදාම මම නාට්‍ය ඉවර වෙලා පේ‍්‍රක්‍ෂකාගාරයට මම කිව්වෙ, පොඞ්ඩක්වත් දැන් මට දුක නැහැ කියලයි. ඔබ අහපු පැනයට මම ගෙන හැර පෑ එක් අවස්ථාවක් පමණයි ඒ. මේ වගේ අවස්ථා තවත් තියෙනවා. එක්තරා අවස්ථාවක ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ‘‘මකරාක්‍ෂයා’’ දර්ශනයක් පොළොන්නරුවෙ වේදිකාගතවීමට තිබුණා. ඊට පෙර මම ඊජිප්තුවට ගිහින් හිටියෙ, නාට්‍ය උළෙලකට. දින 15 ක් එහි සිටීමට නියමිතව තිබියදී දින 5 න් නැවත ලංකාවට ආවා. ඇවිත් ගුවන්තොටුපළේ සිට මගේම රථය පදවාගෙන පොළොන්නරුවට ගියේ ‘‘මකරාක්‍ෂයා’’ රංගනය වෙනුවෙන්. ඉතින් එහෙම තමයි, නාට්‍ය වෙනුවෙන් වචනයක් දුන්නේ නම්? මම එය ඉෂ්ඨ කරලා තියෙනවා. ඒත් ඒ ගැන මහා හපන්කමක් විදියට හිතන්නෙ නැහැ. ‘‘මේ කාලයේ අපට ලැබෙන දේ හොඳින් කරන්න උත්සාහ’’ ගනිමු කියන දේ නාට්‍යවේදී රාජිතම කියන දෙයක්. ඒක එක අතකට හරි. මොකද අපි වයස්ගත වෙද්දී ශරීර සෞඛ්‍යයෙන් පවා ජවය නැතිව යනවා. වේදිකාවේ බොහෝ දේ කිරීමට ඒ ජවයත් අත්‍යවශ්‍ය දෙයක්. පුළුවන් කාලයේදී දෙයක් ලැබෙන විට අපි එයට උපරිමයෙන් දායක විය යුතු බව මගේ අදහසයි.

 

මේ විදියට මේ ගමන යන්න ඔබට නිදහස් පරිසරය ඇතිවුණේ කොහොමද?

බැල්මකින්වත් මාව අපහසුතාවයට පත් නොකොට, මේ සියලූ දේ අතරේ වෙනසක් නොපෙන්වා හිත කඩන්නේ නැතුව මගේ බිරිඳ මගේ පිටුපස සිට දරුවන්ට සහ පවුල වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු යම්කිසි යුතුකම් ඇය විසින්ම උසුලා දරා ගැනීම නිසයි. ඇය ඒ සියල්ල නිහඬව ඉටු කිරීම ගැන සැබැවින්ම ගෞරවාන්විතව මම ඇයට ස්තූතිවන්ත විය යුතුයි.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

  2017-04-21-ent-12 2017-04-21-ent-11