අයියගේ ලක්ෂ 25ක රෝහල් බිල ගෙවන්න මට උදවු කරන්න‍



2017-06-14-ent-45

 



ප්‍රින්ස්ගේ නැගණිය රසිකයන්ගෙන් ඉල්ලයි
 


 

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ අභාවයත් සමගම ඔහුගේ රෝහල් බිල ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ප්‍රින්ස්ගේ නැගණිය වන ශිරෝමි ප්‍රනාන්දු මහත්මිය පවසයි. ලක්ෂ ක පමණ රෝහල් බිල ගෙවීම සඳහා පිහිට වන ලෙස ඇය රසිකයන්ගෙන් ආයාචනා කරයි. ඒ සම්බන්ධව හා ප්‍රින්ස්ගේ ගීතවලට අත්වන ඉරණම පිළිබඳව ඇය හා කළ සංවාද සටහනකි මේ.

 

ඇත්තටම ප්‍රින්ස් උයද ප්‍රියන්තට හිටි හැටියේ මොකද වුණේ?

අයියට මේ සැරේ මහා ලොකුවට අමාරුවක් වුණේ නැහැ. අයියා ඇතුළු අපි හැමෝටම උණ හැදුණා. අයියට කලිනුත් නිවුමෝනියා තත්ත්වය තිබුණනේ. ඒ නිසා අපි එයාව රෝහල්ගත කළා. දැඩි සත්කාර ඒකකයේ දවස් 10ක් හිටියා. අයියට හැදිල තිබුණේ වෛරස් උණ නිසා අයියගේ පෙනහලු දෙකේ සෙම පිරිලා පැසවලා. කොහොමහරි සෙම ඉවත් කළා. ඒත් විෂබීජය අයියගේ අවයව වලට පැතිරිලා. ඒක තමයි වුණේ. බෙහෙත් වලට හොඳ කරගන්න බැරිවුණා. අන්තිම මොහොත වෙනකල් අයියට සිහිය තිබුණෙ නැහැ. එයා නැති වෙනවා කියල එයාවත් දන්නෙ නැහැ.

 

ප්‍රින්ස්ගේ මළගෙදර සෙනඟ ආවෙ නෑ කියල විවිධ මාධ්‍යවල පළවෙනවා මෙය ඇත්තක්ද?

ඒක සම්පූර්ණයෙන් බොරු කතාවක්. අයියට කලින් ඉඳන් උදවු කළ අය, දේශපාලඥයන්, නළු නිළියන්, රසිකයන්, නෑ හිතමිතුරන් ගොඩක් අය ආවා. අපේ ගාල්ල ඇල්පිටිය ගෙදරදි මම හිතුවා තෙරපිලා තුවාලයක්වත් වෙයි කියලා. ඒ තරම් සෙනඟක් ආවා. ඈත පළාත්වල අය රෑ එළිවෙනකල් මෙහි නතර වෙලා ඉඳලා පවා ගියා. අයියට මිනිස්සු මෙච්චර ආදරෙයි කියලා අයියවත් දැනගෙන ඉන්න නැතුව ඇති.

 

තවමත් ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා නැහැ නේද?

ඇත්තටම ඔව්. ලක්ෂ 25ක අයියගේ රෝහල් බිලක් තියෙනවා. මාසයක් ඇතුළත එය ගෙවනවා කියල පොරොන්දුවෙලා තමයි අයියව රෝහලෙන් ගන්න හැකිවුණේ. මම අයියගේ රසිකයන්ගෙන් අවසාන වරට ඉල්ලනවා මේ වතාවෙත් මට පිහිට වෙන්න අයියගේ රෝහල් බිල ගෙවා ගන්න කියලා. ඒ වෙනුවෙන් ලබාදෙන සෑම මුදලකටම පිංසිදු වෙනවා. අයියා ජීවත්ව නැති නිසා ආයෙ මම එහෙම ඉල්ලීම් කරන එකක් නැහැ. පෙර වගේ මට උදවු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

 

ගීත දෙකක් විකිණීමට ගිය එකට මොකද වුණේ?

ඒක ඒ වෙලාවේ කරන්න වුණේ නැහැ. මට දැන් සිංදු විකුණන්න නෙමෙයි ආරක්ෂා කරගන්නයි ඕන. ප්‍රින්ස් උදය ප්‍රියන්ත පදනමක් තියෙනවා. ඒක ක්‍රියාකාරී නොවී මෙච්චරකල් තිබුණේ. මම ඒක ශක්තිමත් කරලා අයියගෙ සිංදු ටික ඒකට භාරදෙන්න කටයුතු කරනවා. මොකද දැන් අයියගේ සියලුම ගීතවල වගකීම මටයි තියෙන්නේ.

 

තවමත් වෙනත් අය ප්‍රින්ස්ගේ ගීත ගයනවා නේද?

ඔව්, ගයනවා. කිසිම අවසරයකින් තොරව. අයියා ජීවත්ව සිටි අවසාන කාලයේ මම පදනම හරහා කෙනෙක් දාලා ඇස්සුවා ඒ ගායකයගෙන් ඇයි ප්‍රින්ස්ගේ සිංදු කියන්නේ කියලා. එයා කියනවා උපහාර පිණිසලු කියන්නෙ. එතකොට කිව්වම එහෙනම් ඒ ගීත වලට ලැබෙන මුදලින් යම් කොටසක් ප්‍රින්ස්ගේ බෙහෙත් වලට දෙන්න කියලා. අපෝ මම මුදල් ගන්නෙ නෑලූ. රසිකයෝ මට බනිනවලු. බීලා මැරෙන්න යන අයගේ සිංදු කියනවා කියලත්. එහෙම තියෙද්දිලු මෙයා කියන්නේ. මොන බොරුද? හෙණ ගහනවා මෙහෙම කියන අයට. දැන් වසර දෙකක් තිස්සේ අයියා විකුණගෙන කන මේ නවක ගායකයා අයියගේ මළගෙදරවත් ආවෙ නෑ. පුදුමාකාර වේදනාවක් දැනෙන්නේ. වසර ගාණක් අසනීප වෙලා ඉඳලා මැරුණ අයියට කියනවා බීලා මැරුණලු. පුදුම මිනිස්සු.

 

2017-06-14-ent-51

 

ගීත සම්බන්ධව නීතිමය පියවර ගන්න පුලුවන් නේද?

ඔව්. අයියගේ ගීතවල අයිතිය සම්පූර්ණයෙන් මගේ යටතට පවරගෙන අයියගේ ගීත අවසරයකින් තොරව කියන ඕනම කෙනෙකුට නීතිමය පියවර ගන්නවා. එහෙම එක එක අයට දැන් නටන්න දෙන්නෙ නැහැ.

 

ඔබ ප්‍රින්ස්ගේ ගීත ගයන්න යන බව පෙර පැවසුවා. එම තීරණය වෙනස් වී තිබෙනවාද?

තාම මම ඒ ගැන හිතුවෙ නෑ. තාම මම අයියට වෙච්ච දේ ගැන හිත හිතා ඉන්නෙ. අනිවාර්යෙන් මම දෙයක් කරන්න ඕන. අයියා නිසා මම දැන් ලක්ෂ 50ට වඩා ණයයි. ඒවයින් නිදහස් වෙන්න ඕන. අයියගේ සිංදු පවත්වාගෙන යන්නත් ඕන. ඒ නිසා ඉදිරි මාස කිහිපය ඇතුළත යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

අවසන් වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?

මගේ අයියා ගොඩාක් හොඳ කෙනෙක්. අයියට මෙහෙම වෙන්න ඇත්තේ පෙර ආත්මවල කරපු අකුසල කර්මයක් හින්දා වෙන්න ඇති. අයියා ගැන බොරු කියන අයට කියන්නේ කරුණාකරලා එහෙම කරන්න එපා. අයියගේ රෝහල් බිල ගෙවන්න හැකි විදියට මට උපකාර කරන්න. ඒ හැමටම ගොඩක් පිං.

දුරකථන අංකය -0777366128

එස්.පී ප්‍රනාන්දු - 100948803862 - ජාතික ඉතිරි කිරීමේ බැංකුව - ඇල්පිටිය ශාඛාව,

එස්.පී ප්‍රනාන්දු - 8103017799 - කොමර්ෂල් බැංකුව - ඇල්පිටිය ශාඛාව

 

 

මහේෂ් මලවරආරච්චි

 

 2017-06-14-ent-52  2017-06-14-ent-50 2017-06-14-ent-49 2017-06-14-ent-48 2017-06-14-ent-47 2017-06-14-ent-46