දෛවය කියන පිටපතට අවශ්‍ය විදිහට හැමදේම විසඳෙයි



ජනප්‍රිය රංගන හා නිරූපණ ශිල්පියෙකු වූ  දසුන් නිශාන් ද සිල්වා හදිසියේම ඊයේ (25දා) සිය දිවියෙන් නික්ම ගියේය. ඔහුගේ හිස්බව සිය මිතුරන්ට මෙන්ම ඔහුට ආදරය කරන ලද රසිකයන්ට බොහෝ සේ දැනෙනු ඇත. ඔහු කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වීමට පෙර කටයුතු කළේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරියෙකු ලෙසය. මෙම තරුණ රංගන ශිල්පියා පසුගිය දිනවල ආලින්දයට එනුයේ, ‘පැහැසරා’, ‘කවුරුන්ද නුඹ මගේ’ හා ‘මුතුමලී’ යන නාට්‍යය සමගය. දසුන්, වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පියෙකු හා විලාසිතා නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ ජීවිතයේ හදිසි සමුගැනීමත් සමගින් ඔහුගේ මතකයන් අමතක වීමට බොහෝ ඉඩකඩ ඇත. ජීවිතය ගැන ඔහු පැවසූ වදන් අදට වලංගු වී තිබේ. මීට මාස කිහිපයකට පෙර ඔහු ‘අද’ සමග මෙලෙස කතාබහක නිරත විය.

20170925Dasun-1ක්‍ෂේත්‍රයට එන්නේ?

නිරූපණ ශිල්පියෙකු ලෙසයි මම ක්‍ෂේත්‍රයට එන්නෙ, 2009 වර්ෂයේ අන්තිම වගේ.

දැනුත් නිරූපණය කරනවාද?

නැහැ නවත්වලා තියෙන්නෙ.

වෙන අරමුණක් තිබුණේ නැද්ද?

වෙන අරමුණක් තිබුණේ නැහැ. මම අයි.ටී. පැත්තෙන් තමයි ඉගෙන ගත්තේ. උපාධියත් සම්පූර්ණ කළා. කාලයක් මූලික අරමුණ වෙලා තිබුණේ ඒක. නිරූපණයට සම්බන්ධ වුණාම මම වෙළෙඳ දැන්වීම් 60කට විතර සම්බන්ධ වුණා. ඊට පස්සේ මම තේරුම් ගත්තා කලාව කියන්නේ රසවින්දනය තියෙන තැනක්. මට හරියන්නේ එතැන කියලා මම හිතුවා. ඊට පස්සේ පූර්ණ කාලීනව රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න තීරණය කළා.

ඔබව කලා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනන්නෙ කොහොමද?

මම මුලින්ම ප්‍රධාන චරිතයක් කළේ ‘අපේක්ෂා’ ටෙලි නාට්‍යයයි. ඒකේ තියෙන ‘භූමි’ කියන චරිතය නිසා තමයි ගොඩක් දෙනෙක් මාව හඳුන්වන්නේ. ඊට පස්සේ ‘සූර්යයා’ කියන චරිතයත් බොහෝ දෙනා අතරට ගියා.

සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ ප්‍රමාණය?

මේ වෙනකොට 06ක් විතර විකාශනය වෙලා තියෙනවා. තව 10ක් විතර එන්න තියෙනවා.

හොඳම චරිතය ලැබුණේ කොයි ටෙලිනාට්‍යයේද?

මම ආසයි විවිධ චරිත කරන්න. පෙම්වතා පමණක් වීමට ආසාවක් නැහැ. වෙනස් චරිතයක් කළා ‘නේරංජනා’ නාට්‍යයේ. ඒකට මම කැමැතියි.

ඒ කියන්නෙ පෙම්වතා වෙන්න අවස්ථාවක් නැද්ද?

පෙම්වතා වෙන්න චරිතය ලැබෙනවා. ඒක අනිවාර්යය දෙයක්. හැබැයි ඒ රාමුවෙන් එහා යන්න මම ගොඩක් කැමැතියි. මම කරන ඕනෑම චරිතයකින් මම ඇත්තටම සතුටු වෙනවා.

සැබෑ ජීවිතයේදී ඔබ පෙම් කරනවා කෙනෙකුට, ඒ අතරට තව කෙනෙක් එනවා. ඔබ කොහොමද ප්‍රේමය ජයගන්නේ?

ටෙලිනාට්‍යයක් හරි, චිත්‍රපටයක් හරි නම් ඒකට පිටපතක් තියෙනවා. නමුත් සැබෑ ජීවිතයට පිටපතක් කියන එකක් නැහැ. මම හිතනවා දෛවය කියලා පිටපතක් තියෙනවා. ඒකට අවශ්‍ය විදිහට හැමදේම විසඳෙයි කියලා. මට අනාගත බලාපොරොත්තු ගොඩක් නැහැ. ජීවිතය ගලා යන්න ඉඩ දීලා තියෙන්නේ. ගලන පැත්තට මම යනවා.

20170925Dasun-2ක්‍ෂේත්‍රයට ආවේ ජනප්‍රිය වෙන්නම හිතාගෙනද?

මම ජනප්‍රියත්වය පස්සේ පන්නන කෙනෙක් නෙමෙයි. මම කොතැනක ගියත් කැපී පෙනෙන්න උත්සාහ කරන්නේ නැහැ. මට මගේ පාඩුවේ මගේ නිදහස විඳින්නයි ඕන. මට ඕන ජනප්‍රිය වෙන්න නෙමෙයි, වැඩ්ඩෙක් වෙන්න.

වැඩ්ඩෙක් වෙන්න කලාවම තෝරගත්තෙ ඇයි?

මම ඉස්සෙල්ලා කිව්වේ දෛවය තමයි මාව මෙතැනට ගෙනාවේ. ඒක එහෙමයි කියලා මම හිතනවා. වෙන්න තියෙන දෙයක් වෙන්න තියෙනවා නම්, ඒක වළක්වන්න බැහැ. මම ඉගෙන ගත්තේ වෙන විෂයක්. මම ආවේ වෙනත් විෂයකින්. උසස් පෙළට කළේ ජීව විද්‍යාව. ඒ වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙනයි. එතැනත් හොඳ ප්‍රතිඵල ලැබුණා. අද වෙනකොට මම උපාධිධාරියෙක්. ඒත් කිසිම රැකියාවක් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ.

ඒ කියන්නෙ මූල්‍යමය පැත්තෙන් ඔබ පොහොසත්?

මට ජීවත් වෙන්න තරම් ඇති කියලා හිතනවා. මොකද මට බොරු ආටෝප නැහැ. පවුලෙන් හොඳ පසුබිමක් ලැබුණා මේ දේවල්වලට. ඉතිං එහෙමයි මේ ජීවිතේ.

පවුලේ විස්තර කිව්වොත්?

අම්මයි, තාත්තයි සිවිල් ඉංජිනේරුවරු දෙන්නෙක්. ඉන්නේ කැනඩාවේ. මල්ලි කෙනෙක් ඉන්නවා, තාම ඉගෙන ගන්නවා.

ජීවිතේ මොකක් කියලද හිතෙන්නේ?

මම හිතන්නෙ ඔය ප්‍රශ්නයට උත්තර හොයා ගත්තා නම්, අපි සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ. ජීවිතෙත් එක්තරා පිටපතක්. ඒ පිටපතට රඟපාන එකයි අපි කරන්නෙ. නොදන්න තිර පිටපතකට අනුව අපි රඟපාන එකයි කරන්නෙ.

තිර පිටපත කවුරු ලිව්වා කියලද හිතන්නේ?

ඒක ලියලා තියෙන්නෙ දෛවය. ඒක අපි කරන්නේ සකස් කරගෙන ඉදිරියට යන එකයි.

සමාජ වෙබ් අඩවිවල ඔබ නිතර දකින්න ලැබෙන චරිතයක් නේද?

ඔව්. මම සමාජ ජාල වෙබ් අඩවි වැඩියෙන් භාවිත කරනවා.

ඒකට ඇබ්බැහි වෙලාද?

ඇබ්බැහි වීමක්ද කියලා හරියට කියන්න බැහැ. නමුත් දුරකථනය නිතරම අතේ තිබෙන හින්දමද දන්නේ නැහැ, ඒ දේවල් පරිහරණය කරන එක වැඩියි. නැතිවුණා කියලා ලොකු හානියකුත් නැහැ.

අවසාන වශයෙන් ඔබේ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?

ලංකාවේ තාම කලාව ඉතුරු වෙලා තියෙනවා. ඒ කලාව ඉතුරු වෙලා තියෙන්නේ ක්‍ෂේත්‍රයට එන නවකයන් සහ ප්‍රවීණයන් එක්කයි. ඒ නිසා ඒ අයව අතහැරලා දාලා යන්න එපා. වෙන මාධ්‍යවලින් ප්‍රචාරය කරන අපට ආවේණික නොවෙන නිර්මාණ රැසක් තියෙනවා. ඒවා බලන්න. නමුත් ශ්‍රී ලාංකිකත්වයටත් ඉඩ දෙන්න කියලා කියනවා.

ඡායාරූප - සඳුන් ගමගේ

20170925Dasun-3 20170925Dasun-4