ඇත්තටම එයා ගැන මට ලොකු පැහැදීමක් තිබුණා



20180207Thisuri-(7)සුසන්තා.. කුමරු එක්ක විවාහ වුණේ කොයි කාලෙද?

අපි විවාහ වුණේ 1991 මාර්තු මාසේ දොළොස්වැනිදා. විවාහ වුණාට පස්සේ ඕනෑම දෙන්නෙක්ගේ ආසාව වගේම අපි දෙන්නගේ ආසාව වුණේ දරු පැටියෙක් තමයි. මම දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නෑ කියන ආසාවේ හිටියට කුමරු හරිම ආසාවෙන් හිටියේ දුවෙක්ටයි. හැබැයි අපි ස්කෑන්  කරලා බැලුවේ නෑ. මට ඕන වුණේ කලින් දැනගත්තට වඩා ඒ සතුට එදාටම විඳින්නයි. ඉතින් මාව සීසර් කරලා තමයි දුවව ගත්තේ. මට තාම මතකයි මට යන්තමට මතකේ තියෙද්දී ඩොක්ටර්ස්ලා තියටර් එකේදීම මගේ මූණ ළඟට දුවව ළංකරලා ‘ඔයා වගේම ලස්සන නිළියක් ඉපදුණා’ කියලා කිව්වා. මම මගේ දුව හින්දා කියනවා නෙමේ. ඇත්තටම තිසුරි පුංචි කාලේ රෝස මලක් වගේ හරිම ලස්සන චූටි දුවක්.

 

චූටි කාලේ එයා මොන වගේද?

ගොඩක් අය කියන කතාවක් තමයි මමයි කුමරුයි දෙන්නම එක වගේ කියලා. අපි දෙන්නව දන්නේ නැති අය අහන දෙයක් තමයි කුමරු කියන්නේ මගේ අයියද කියලත්. ඉතින් දුවගේ හැඩරුවත් අපි දෙන්නගෙන් කවුරු වගේද කියලා කියන්න තේරෙන්නෙත් නැහැ.

 

තිසුරි පුංචි කාලේ දඟයිද?

ඔව්... දඟයි... ඒ වුණාට අහිංසකයි. පුංචි කාලේ ඉඳන් තිසූ මගේ ඇඟේම දැවටි දැවටි හිටපු දරුවෙක්. තිසූ පොඩි කාලේ කුමරු වැඩියෙන්ම හිටියේ නැවේ. මාස නවයකට සැරයක් තමයි කුමරු ලංකාවට ආවේ. ඉතින් තිසූ වැඩිපුරම හිටියේ මගේ ගෙදර අය එක්ක. පුංචි කාලේ තිසූ හරිම ආත්මාර්ථකාමියි. මම එයාගේ විතරයි. තාත්තත් එයාගේ විතරයි. හැමෝම එයාගේ විතරයි. කාවවත් බෙදාගන්න එයා කැමති නෑ. මම වෙන දරුවෙක් වඩාගෙන හුරතල් කරනවටවත් තිසූ කැමති වුණේ නෑ. මෙයාට ඕනේ එයාට විතරක් ආදරය කරන්නත්, වර්ණනා කරන්නත් හැමදේම එයා වින්දේ තනියමයි. ඒ ආදරයට එයා පුංචි කාලේ ඉඳන් ලෝභ වුණා. ඒ නිසා එයාගේ තනියට මල්ලියෙක් හරි නංගියෙක් හරි එනවට එයා ආසා කළේ නෑ.

 

20180207Thisuri-(6)

තිසුරි පාසැලේදී මොන වගේ චරිතයක්ද?

එයා ගියේ නුගේගොඩ අනුලා බාලිකාවාට. තිසූ හරිම දඟයි. එයාට හිතුණ දේ එයා කරනවා. පුංචි කාලේ ඉඳන් තිසූ හරියට ආදරේ හොයනවා. හැමවෙලේම ටීචර්ලාගේ සාරි පොටේ එල්ලිලා ඒක ඔළුව වටේ ඔතාගෙන ටීචර්ලා පස්සෙන් යන හරි ආදරණීය දරුවෙක්. හැබැයි පන්තියෙන් එළියට යන්න ඕන වුණොත් “ටීචර් මම එළියට යනවා” කියලා එයා ගියා. ටීචර් “හා” “එපා” කියන්නත් කලින් මෙයා ගිහින් ඉවරයි. මව්පිය රුස්වීමට ගියාම ටීචර්ලා මට කියන්නේ “අනේ චන්ද්‍රමාලි ඔයාගේ දුවට හෙමින් ගමනක් ඇත්තෙම නැහැ” කියලයි. ටීචර් පොඩ්ඩක් එළියට යනකන් ඉඳලා මෙයා ඩෙස්ක් උඩ එහාට පනිනවලු, මෙහාට පනිනවලු. හරිම දඟයිලු. මොනදේ කළත් මෙයා පන්තියේ වැඩ ටික හොඳට කළා.

 

තිසුරිගේ හොඳම යාළුවා වුණේ එයාගේ අම්මා නේද?

ඔව්.... ඒක එයා දකින්න ඇත්තෙත් මගෙන්. මට යාළුවෝ ඉන්නවා. හැබැයි මගේ ජීවිතේ අංක එක වුණේ මගේ ගෙදරයි. මගේ ලෝකය වුණේ මගේ ගෙදරයි. දුව ඒක දැක්කා. නොදැනුවත්වම එයාට මගෙන් වැටකඩොළු තැනෙන්නත් ඇති. එයා අපේ එකම දරුවනේ. මෙයාව කොහේවත් අපි යාළුවෝ එක්ක යැව්වේ නැහැ. යන්න ඕනෙ කියලා කිව්වොත් මමත් එයත් එක්ක යනවා. ඒ ගිහින් එයාට යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න ඉඩ දුන්නා. හැබැයි ඒ හැම දෙයක්ම කළේ අපේ ඇස් මානේ තියාගෙනයි. ඒ හැමදේකින් එයාට මම ගොඩක් ළංවුණා. දෙයියනේ කියලා තිසූ අපිට හොඳ දරුවෙක් වුණා. එයා තමන්ගේ ප්‍රමාණය දැනගෙන ජීවත් වුණු දරුවෙක්. අපි ගම්වල ජීවත් වුණු අය. ඒ නිසා අනාගතයේදී එයාට පැලක ජීවත් වෙන්නත් පුළුවන්. මාලිගාවක ජීවත් වෙන්නත් පුළුවන්. ඒ විශ්වාසය මට තියෙනවා.

 

එහෙම ඇස් දෙක වගේ බලාගත්තු දුව ළඟදිම මනාලියක් වෙන්න සූදානම් වෙනවා. අම්මා තාත්තා තනි ෙවනවා නේද?

ඒක ඉතින් ස්වභාවයනේ. හැම අම්මෙක්ටම ඒ තනිකම ඉවසන්න පුරුදු වෙන්න වෙනවා. අපි අමාරුවෙන් හරි ඒ තනිකම, ඒ දුක විඳදරාගන්න පුරුදු වෙන්න ඕනේ. මගේ ජීවිතේ අත්දැකීම් එක්ක මාත් ටික ටික ඒකට හුරු වේවි. මම හැමවෙලේම උත්සාහ කළේ අපේ දරුවව මේ සමාජයේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් දරුවෙක් කරන්නයි. තිසූ හැමවෙලේම වෙලි වෙලී හිටියේ මාත් එක්ක. මගේ ජීවිතේ අති පෞද්ගලික දේවල් පවා තිසූ එක්ක මම කතා කරනවා. ඉතින් එහෙම ළඟින්ම හිටපු මගේ කෙල්ල යද්දී ලොකු දුකක් හිතට දැනේවි. ඒ දෙන්නා විවාහ වෙලා මේ ගෙදර ජීවත් වුණත් දුක දැනේවි. එතකොට තිසූ වෙනස් කෙනෙක්නේ. ඒ දුක මටත් දැනේවි. අම්මා කෙනෙක් විදිහට ඒ වේදනාව දැනේවි. ඒ වුණාට මගේ දරුවගේ සතුට ගැන හිතලා මේ අම්මට ලොකු සතුටක් දැනේවි. හැබැයි මගේ හිත නිදහස් වේවි. හැබැයි ඊට පස්සේ මම හිතන්න පුරුදු වේවි. මට එතකොට වෙන ලෝකයක් නැහැනේ. නින්දට ගියත්, නින්දෙන් ඇහැරුණත්, කන්න ගියත්, තේ එකක් බොන්න ගියත් මට නිතරම මතක් වේවි මගේ දරුවාව. ඒක හැම අම්මා කෙනෙකුගේම ජීවිතේට සතුටක් එක්ක එකතු වෙලා එන මහ පාළුවක්. මම ඒ පාළුව විඳ දරා ගනීවි.

 

ඔබේ ආදරණීය සැමියා රැකියාවෙන් ඉවත්වෙලා ලංකාවේ ඉන්නවා නේද?

ඔව්.... ඒකත් කිව්වේ තිසූම තමයි. තිසූ ඕනෑවටත් වඩා දේවල් ගැන හිතනවා. පුංචි හරි අසනීපයක් හැදුනත් එයා ලොකුවට ඒ දේවල් ගැන හිතනවා. එයා හරිම සංවේදී දරුවෙක්. ඉතින් තිසූ හැමවෙලේම කුමරුට කිව්වා “තාත්තා දැන් ගෙදර නවතින්න” කියලා. ඉතින්... ඒ නිසාම කුමරු ලංකාවේ නැවතුණා. තිසූ ඕනෑම දෙයක් ඕනෑවට වඩා හිතනවා. හැබැයි ජීවිතේ ගැන තිසූට හොඳ අවබෝධයක් තියෙනවා.

 

20180207Thisuri-(8)

මේ දවස්වල අම්මටයි, තාත්තටයි, දුවටයි වැඩ වැඩියි වගේ..

ඔව්... තිසූගේ වෙඩින් එකට අපි මේ දවස්වල හෙමි හෙමීට සූදානම් වෙනවා. ඉතින් අපි තුන්දෙනා ඒ වැඩවලට මහන්සි වෙනවා. ගෙදර ඉඳිද්දී ආස කරන කෑමක් උයා පිහාගෙන කාලා ගෙදර ඉන්නවා. අපි ‍තියෙන ඉඩ ප්‍රමාණයේ මල් පැළ වවලා තියෙනවා. ඉතින් ඒවට සාත්තු කරනවා. හිතුණම අපි තුන්දෙනා වාහනයට නැග්ගා ඔය කොහේහරි විනෝද ගමනක් යනවා. කොහොමහරි කාලේ ගෙවෙනවා කියලා නොතේරෙන තරමට අපි දෙයියනේ කියලා හොඳින් ජීවත් වෙනවා. දරුවෙක් හැදුවා. අපිට සතුට ගෙනාපු ඒ දරුවා හොඳ දරුවෙකුට බාර කරන්න දැන් මේ අම්මටයි තාත්තටයි කාලය ඇවිත් තියෙන්නේ.

අම්මගෙන් දුව ගැන විස්තර අහපු එකේ දුවගෙනුත් විස්තර ටිකක් අහන්න අපිට හිතුණා. ඒ නිසාම තිසුරිවත් අපි මෙහෙම කතාවට එක්කර ගත්තා.

 

තිසුරි.. මේ අවුරුද්දේ ළඟදිම දවසක ඔයාගේ විවාහය සිද්ධ වෙනවනේ... කියමුකෝ ඔහු ගැනත් ටිකක්.

එයා නැවක සේවය කරන කෙනෙක්. මගේ තාත්තාගේ හොඳම යාළුවාගේ පුතා තමයි සුරාජ් විජේසිංහ. අපි පුංචි කාලේ ඉඳන්ම අපේ පවුල් දෙක හරිම හිතවත්. මම එයාව දන්නේ පුංචි කාලේ ඉඳලා. තාත්තලා දෙන්නගේ යාළුකම නිසාම පවුල් දෙක හඳුනාගෙන එයා මගේ හොඳ යාළුවෙක් වුණා.

 

යෝජනාව ගෙනාවේ සුරාජ්ද නැත්නම් ගෙදර අයද?

එයා තමයි මගෙන් ඇහුවේ. එයයි, මමයි, එයාගේ මල්ලිලා දෙන්නයි පොඩි කාලේ ඉඳන් එකට සෙල්ලම් කළා. දවසක් එයා මගෙන් කෝල් කරද්දි ඇහුවා. එයාගේ හිතේ හුඟ දවසක ඉඳන් මම ගැන අදහසක් තිබිලා තිබුණා. හැබැයි අහලා අපේ යාළුකම නැතිවෙයි කියලා බයටම එයා මගෙන් අහන්න බය වෙලා තිබුණා. ඉතින්... කොහොමහරි කෝල් කරලා මගෙන් එයා ඇහුවා.

 

ඇත්ත කියන්න.... සුරාජ් අහද්දිත් තිසුරිගේ හිතෙත් ආදරයක් තිබුණා නේද?

ඇත්තටම එයා ගැන මට ලොකු පැහැදීමක් තිබුණා. ඒ කාලේ මට ගොඩක් යෝජනා ඇවිත් තිබුණා. හැබැයි මම ඒ එකකටවත් කැමති වුණේ නෑ. මම කාත් එක්කවත් යාළු වුණෙත් නෑ. සුරාජ්ට කැමති වෙන්න මූලිකම හේතුව වුණේ සුරාජ් සහ එයාගේ පවුලේ අයව මම හොඳින් දන්නවා. අපි දොගොල්ලන්ට හංඟන්න දේවල් නෑ. යාළුවෙක් විදිහට ආශ්‍රය කරද්දිත් ඔහු හරි හොඳ කෙනෙක්. ඒ නිසා අහන්න කලින් හොඳ පැහැදීමක් තිබුණා. මගෙන් ඇහුවමත් මගේ යටි හිත “මෙයා හොඳයි” කියලා කිව්වා. හැබැයි මම ටික කාලයක් ඉල්ලුවා.

 

ඒ ටික කාලය කොච්චර කල්ද?

ඒක හරියටම අවුරුදු තුනහමාරක්, හතරක් විතර වුණා. ඇත්තටම මේක මුළු ජීවිත කාලයටම ගන්න එක තීරණයක්. ඒ නිසා ඒ තීරණය එක පාර ගන්න මම බය වුණා. ඒ කාලය පුරාවට ඔහු මම වෙනුවෙන් බලන් හිටියා. යාළුකම සුපුරුදු පරිදිම ගෙවුණා. මම හොඳාකාරවම දැනගෙන හිටියා මව්පියන්ගෙන් ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඒත් පොඩි බයක් තිබුණා. මම හැම දෙයක් ගැනම ටිකක් වැඩිපුර හිතනවා. ටික කාලයක් ගියාට පස්සේ මම මේ ගැන මගේ අම්මට කිව්වා. කොහොමහරි සුරාජ් ගෙවල්වලින් ඇහුවා. අන්තිමට දෙපාර්ශවයේම ආශිර්වාදය අපිට ලැබුණා. මම හිතපු නැති විදිහට විවාහය ඉක්මනට ගමු කියලා කට්ටිය කතා වුණා.

 

පවුලේ එකම දරුවා. විවාහ උත්සවය සැලසුම් කරගෙන තියෙන්නේ කොහොමද?

ලොකුවටම නැතිව හෙමීට හෙමීට අපි ඒ දේවල් ප්ලෑන් කරගෙන යනවා. මටවත්, සුරාජ්ටවත් ලොකු විවාහ උත්සව ගන්න එහෙම ලොකු ආසාවක් නෑ. ඒ වුණාට අපේ පවුලේ මම තනි දරුවා. මගේ අම්මටයි, තාත්තටයි ආසාවල් ඇති. එයා පවුලේ ලොකු පුතා. ඉතින්... ඒ අම්මට තාත්තාටත් ආසාවල් ඇති. ඉතින්.... ඒ ආසාවල් එක්ක අපි විවාහ උත්සවයක් ගන්න තීරණය කළා. ඒ දේවල් මේ දවස්වල ප්ලෑන් කරගෙන යනවා.

 

ඔයා වැඩිපුරම කිට්ටු අම්මට... ඔයයි අම්මයි, තාත්තායි බොහොම සමීපයි. විවාහ වුණ ඕනෑම දරුවෙක්ට අම්මා, තාත්තාගෙන් පොඩ්ඩක් ඈත්වෙන්න සිද්ධ වෙනවා...?

ඕනෑම දරුවෙක් විවාහ වුණාම පොඩි ඈත්වීමක් වෙනවා. හැබැයි මම හිතනවා සුරාජ් මාව දන්නවා. මගේ අම්මා, තාත්තා එයා දන්නවා. අපේ පවුල් දෙක හිතවත්. ඒ නිසා මම අම්මගෙන් තාත්තාගෙන් කවදාවත් ඈත් වෙන්නේ නෑ. හෙටටත් මම එයාලාගේ ආදරණීය දුව. ජීවිතේ කවුරු මට සමීප වුණත් මගේ අම්මා තාත්තට දක්වන ආදරය සෙනෙහස මගෙන් ඈත් වෙන්නේ නෑ.

20180207Thisuri-(1) 20180207Thisuri-(2) 20180207Thisuri-(3) 20180207Thisuri-(4)

Text -Dishani /  Pic - Sumudu

DESHAYA