රිවස්ටන් යද්දී පිටවලපතන යන්න



2018-06-15-ent-74

සොබා දහමේ අපූරුතම නිර්මාණයක් ලෙස අප රට හඳුන්වා දෙන්න පුළුවන්. ලොව අන් කිසිදු රටකට නොමැති තරම් වූ විස්මිත නිමැයුමක් සහිත සොඳුරු පාරාසිදයක් වන අප රට තුළ අපූරු වෙරළබඩ ප්‍රදේශ, උස්බිම් හා කඳුබිම්වලින් සමන්විත වෙනවා.2018-06-15-ent-68

මේ නිසාම ලොව නන්දෙසින් අපේ රටේ සුන්දරත්වය විඳීමට බොහෝ පිරිස් මෙහි පැමිණෙනවා. මොහොතින් මොහොත වෙනස් වන දේශගුණික හා කාලගුණක විපර්යාස අත්විඳිය හැකි රටක් ලෙසද අපේ රට ලොව නම් දරා සිටිනවා.

මෙවන් රටක ඉපැදුණු කීදෙනක් සොබා දහමේ අපූර්වත්වය විදීමට ප්‍රිය කරනවාද? වර්තමානයේ ඒකාකාරී ජීවන රටාවකට හුරු සමාජයක, ඇතැම් පිරිස් තමන්ට ලැබෙන පුංචි විවේකය තම දරුවන් හා පවුලේ ඥාතීන්, හිතමිතුරන් සමග හිතට වගේම ගතටත් යම් සුවයක් ලබාගැනීමට ඉහත කී ඇතැම් සොඳුරු ඉසව් සොයමින් සංචාරය කරනවා. ඒ අතරින් තරුණ පිරිස් තම ජීවිතයට අලුත් දේවල් වගේම වෙනස් දෙයක්, අභියෝග, දුෂ්කරතා විඳීමට ප්‍රියකරන බව කිව යුතුයි.

මෙවර සංචාරය තුළින් අප ඔබව රැගෙන යන්නේ නුහුරු නුපුදුරුදු ප්‍ර‘දේශයක් වෙත නොවෙයි. නමුත්, මෙම සංචාරයේ දී බොහෝ දෙනෙකුට ඇස නොගැටුණ අපූරු අලංකාරවත් ස්ථාන කිහිපයක් හඳුන්වාදීමට අපි සිතුවා. ඔබගේ එළැඹෙන සංචාරය තුළ බොහෝ දේ දැක බලාගැනීමටත්, අත්දැකීම් ලබාගැනීමටත් මෙය ඔබට හේතුවේවි.

‘රිවස්ටන්’ මාතලේ දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට උස මීටර් 1265කින් පිහිටා තිබෙන ඉතාම ආකර්ෂණීය සංචාරක ප්‍ර‘දේශයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මදක් ඔබ්බට වන්නට ගිණිකෝණ සිට වයඹ දිසාවට හා හුන්නස්ගිරියේ සිට ලග්ගල දක්වා සැතපුම් 18ක් පමණ ප්‍ර‘දේශයක් පුරා විහිදී ඇති එම ප්‍ර‘දේශයට ආවේණික ජෛව විවිධත්වය හෙබී අපූරුතම ඉසව්වක් ලෙස හඳුන්වා දිය හැකියි.

බැලු බැලූ අත මීදුමින් වසා ගත් කඳු වළලුය. නිරතුරු අධික මීදුමින් පවතින නිසා දුම්බර කඳුවැටිය ලෙසද මෙය හඳුන්වනවා. එසේම, කඳුවැටියේ බෑවුම, බටවර්ගවලින් වැසී තිබුණ බැවින් පැරැන්නන් විසින් ‘බටදඬු කන්ද’ ලෙස මෙය හඳුන්වා ඇති බව සඳහන් වෙනවා. එසේම ඈත සිට බලන විට මිට මෙලවූ අතක ඇඟිල් ආකාරයට කඳුවැටියේ ශිකර 05ක් පෙනෙන නිසා ‘නකල්ස්’ කඳුවැටිය ලෙසද මෙය හඳුන්වනවා.

මෙම සංචාරයේ ආරම්භයේදීම හමුවන්නේ එකිනෙකා ක්‍ෂණිකව නොපෙනී යන මීදුමින් පිරුණු සුළං කපොල්ල. මෙය සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධ, සංචාරය කිරීමට ප්‍රියකරන ස්ථානයක්. ඉන්පසු හමුවන පුංචි ලෝකාන්තය වගේම, සංචාරකයන් තම ගමනාන්තය ලෙස සලකමින් විඩා නිවාගන්නා තෙල්ගමුව ඔයද ඉතා අපූරු ස්ථානයක් වෙනවා.

මෙම ස්ථාන ඔබ බොහෝ විට සංචාරය කළ ස්ථාන විය හැකියි. නමුත් ‘නකල්ස්’ යන ඔබට සංචාරයේ වෙනස්ම අත්දැකීම් සහිත වූ සංචාරක ප්‍ර‘දේශ කිහිපයක් හඳුන්වාදීමට අප සිතුවා.

තෙල්ගමුව ඔයට කිලෝමීටර් එකහමාරකට පමණ පෙර හමුවන්න ඉතාම දුෂ්කර බාධක මැද වැටී ඇති මාර්ගය දිගේ කිලෝමීටර් 03ක් පමණ ගිය පසු රතනේගම හමුවෙනවා. මෙය වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන්නේ එහි දී හමුවන අපූරුතම පුද්ගලයෙකු නිසයි. ඔහු නමින් නිමල්. වසර 30ක් පමණ මෙම ඝන කැලෑව වාස භූමිය කරගත් ඔහු දැන් වයස අවුරුදු 66ක පුද්ගලයෙකි. තම බිරිඳ සමග ඔවුනටම ආවේණික ජීවන රටාවක් ගෙවා දමන නිමල්ගේ ප්‍රධාන ජීවන උපාය වන්නේ කිතුල් පැණි, කිතුල් හකුරුය. ඒ වගේම ඔහු වගා කරන කළුකුමාර සහල්ද සංචාරක හෝටල්වල හරිම ප්‍රසිද්ධයි. තමා විසින් වගා කරගන්නා එළවළු, පලා, පලතුරු ආහාරයට ගන්නා නිමල්, දන්නා කාලයක නගරයකට ගොස් නැත. පැරසිටමෝල් පෙත්තක් පානය කර නැත. ඉතා නිරෝගීව සරල ජීවිතයක් ගෙවන මේ පුද්ගලයා පවසන්නේ, තමන්ට නගරයට හෝ වෙනත් කිසිදු අවශ්‍යතාවයකට නගරයට යාමට අවශ්‍ය නැති බවයි. තමන් ගෙවා දමන ජීවිතය ඉතාම සතුටින් ගෙවන බවත්, බිරිඳද එවැනි ජීවිතයකට හුරුවී ඇති බවත් ඔහු පවසයි.

ඔහුගේ නිවසද සොබා දහමට ගැළපෙන ලෙස නිර්මාණය කර ඇත. කළුගල් එකිනෙක තබා බිත්ති බැඳ ඇත්තේ බදාම වෙනුවට පස් යොදා ගනිමිනි. එක් දිනක් තුළ තම නිවස ඉදිකළ බවත්, සියලු ද්‍රව්‍ය පරිසරයෙන්ම සොයාගත් අමුද්‍රව්‍යවලින් නිර්මාණය කර ඇති බවත් ඔහු පවසයි.

‘රිවස්ටන්’ යන ඔබට නිමල් ජීවත්වන පරිසරය කදිම සංචාරයක් වනු ඇත. පරිසරයට වගේම සතා සිවුපාවුන්ට ආදරය කරන නිමල් හමුවීමත් අපූරු අත්දැකීමක් වනු නොඅනුමානය.

නිමල් මෙන්ම මෙම සංචාරයේ දී සංචාරය කිරීමට තවත් කදිම ප්‍ර‘දේශයක් ලෙස ‘පිටවලපතන’ හඳුන්වාදීමට පුළුවන්. මෙම ගම ඉතා දුෂ්කර ගමක්. ගැමියන් ඔවුනටම ආවේණික ජීවන රටාවකට අනුව ජීවත ගෙවනවා. ගමට යන මාර්ගයේ කූඩැල්ලන් පොකුරු ලෙස දැකගත හැකියි. නමුත්, සංචාරය කළ පසු ඔබට එය ලොකු බාධාවක් හෝ හිරිහැරයක් බව සිතෙනු නොඅනුමානයි.

පිටවලපතනට යන මාර්ග දෙපස, කුඹුරු දුම්කොළ වගාවන් හා ගොඩ ගොවිතැන් බහුලව දැකගත හැකියි. මොවුන්ගේ ජීවන වෘත්තීන්ද කිතුල් හා සම්බන්ධව සිදුකරනවා. පිටවලපතන ගම කඳුවලින් වටවූ සොබා දහමේ චමත්කාර දසුනක් ලෙස සඳහන් කළ හැකියි. ගමට යන මාර්ගයේ මල් වර්ගද බහුලව දැකගත හැකියි. මෙහි ගැමියන් ඉතා දුෂ්කර ජීවන රටාවක් ගෙවා දැමූවද මුහුණෙහි සිනහව අව්‍යාජ වූවක්. ගමට පැමිණෙන සැම අමුත්තෙකුම ඉතා සොඳුරු ලෙසි ඔවුන් පිළිගන්නවා. හැකි සැම අයුරින්ම සංග්‍රහ කරති. පිටවලපතන ගම සංචාරය කරමින් ඉදිරියට පැමිණීමේදී හමුවන්නේ තෙල්ගමුව ඔයයි. මෙය දියනෑමට වගේම, විවේක සුවය ගත කිරීමට කදිම තැනක් ලෙස හඳුන්වාදීමට පුළුවන්. ඉන්පසු නැවත රිවස්ටන් - වස්ගමු ප්‍රධාන මාර්ගයට පිවිසීමට හැකියාව තිබෙනවා.

‘රිවස්ටන්’ හි සංචාරය කරන ඔබට අප සඳහන් කළ මෙම සංචාරක ප්‍ර‘දේශ සැබැවින්ම නැවුම් අත්දැකීමක් එක් කරනු නොඅනුමානය.

 

ඡායාරූප විස්තර - ශාන් බන්දු වීරසිංහ

 

2018-06-15-ent-63 2018-06-15-ent-64 2018-06-15-ent-65 2018-06-15-ent-66 2018-06-15-ent-67  2018-06-15-ent-69 2018-06-15-ent-70 2018-06-15-ent-71 2018-06-15-ent-72 2018-06-15-ent-73  2018-06-15-ent-75 2018-06-15-ent-76 2018-06-15-ent-77 2018-06-15-ent-78