ලැබෙන මුදලට වඩා වටින්නෙ ආත්ම තෘප්තිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181105Kalana-1

ඔහු කළණ ගුණසේකර වුවද, පේ‍්‍රක්ෂක සන්තානයේ ඔහු සලකුණු වී සිටින්නේ ප‍්‍රියන්ත මහඋල්පතගම ලෙසය. කූඹියෝ නාට්‍ය මාලාවේ ඔහු රඟපෑ චරිතයට කළ විශිෂ්ට දායකත්වය ඊට හේතුවය. කූඹියෝ ප‍්‍රියන්ත මහඋල්පතගම වූ කළණ අද දවසේ ටෙලි තිරයෙන් අපට හමුවන්නේ, උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණය කළ ක‍්‍රයිම් සීන් ටෙලි මාලාව සමගය. කූඹියෝ චරිතයෙන් අනතුරුව මෙලෙස ඔහු ක‍්‍රයිම් සීන් සමග හමුවන්නේ ‘ක්‍ෂඹ අමිත්’ ලෙසය.

කළණ ප‍්‍රියන්ත මහඋල්පතගමගෙන් පසුව නැවතත්?

කූඹියෝ ප‍්‍රියන්ත මහඋල්පතගමගෙන් පසුව ඊට සමාන වූ තවත් චරිත ලැබුණා. ඒත් බාර ගත්තෙ නැහැ. හැබැයි උදාරගෙ ‘ක‍්‍රයිම් සීන්’ වෙනස් අත්දැකීමක්. කොහොමටත් ක‍්‍රියාදාම සහිත නිර්මාණයක රඟපෑමේ ආසාව මට තිබුණු දෙයක්. මේක ඇත්තටම වෙනස්ම අත්දැකීමක් වේවි.

කළණගෙ වෘත්තිය මොකක්ද?

වෘත්තිය රංගන ශිල්පියෙක්. හැබැයි එහෙම කියන ගමන් මමම කල්පනා කරන්නෙ රංගන ශිල්පියා කියන්නෙ වෘත්තියක් ද කියලයි. මොකද මෙහි ඒ වෘත්තියට පදනමක් නැහැ.

කොහොම වුණත්, ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක්. ඇයි ලැබෙන චරිත බාර නොගන්නෙ?

මම  ඕනෑම චරිතයක් කරන්න කැමතියි. ඒත් එහි විවිධත්වය තිබෙන්න  ඕනෑ. රංගනය කියලා කියන්නෙ රංගන ශිල්පියා විවිධ චරිත කිරීමයි. ලැබෙන මුදලකට වඩා ඔහුට වටින්නෙ ලබන ආත්ම තෘප්තියයි. මුදල ඉක්මනටම ඉවරවෙනවා. ආත්ම තෘප්තිය සදාකාලිකව පවතිනවා.

මොනවා වෙනුවෙන්ද මුදල් ඉක්මනටම වියදම් කරන්නෙ?

මේ පවතින ආර්ථිකය එක්ක උදේ අවදි වූ වෙලාවේ ඉඳලා දවස ගෙවන කල් ඉතා දරුණු විදියට මුදල් වියදම් කරන්න වෙනවා. ඒ ගැන ලංකාවේ පාඨකයින්ට අමුතුවෙන් කියන්න  ඕනෑ නැහැ.

දැන් කළණගෙ ජීවිතේ කොහොමද?

අනෙක් මිනිසුන්ට දැනෙන විදියට සියල්ල මටත් දැනෙනවා. සරලයි සාපේක්ෂයි. ජීවිතය එහෙමයි.

යම් හෙයකින් මේ විදියට රංගන විෂයට ඔබ නොආවේ නම්?

දන්න දවසේ ඉඳලාම කරලා තිබුණෙ රංගන විෂයයට සම්බන්ධ දේ. එහෙම නොවූයේ නම් වෙන මොකක් හරි කරාවි.

රංගන ශිල්පියකු ලෙස කළණට අද ජීවිතය දැනෙන්නෙ මොන විදියට ද? විශේෂයෙන්ම ලැබෙන ප‍්‍රතිචාර එක්ක?

කූඹියෝ හරහා සෑහෙන ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ගිනිඅවි සහ ගිනිකෙළි නාට්‍යයේ ‘සුන්නා’ චරිතයටත් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ විදියට විකාශය වූ ටෙලිනාට්‍ය දහයකට විතර මේ දක්වා දායක වුණා. ‘කූඹියෝ ප‍්‍රියන්ත’ නිසා සෑහෙන පිරිසක් මගතොටදී කතා කරනවා, සෙල්ෆි ගහනවා. අද දවසේ ‘ක‍්‍රයිම් සීන්’ ගැනත් කතා වෙනවා. ඒ විදියට අගැයීමකට ලක්වීම මානසික ශක්තියකට හේතුවක්. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. රංගන ශිල්පියකු ලෙස ජනප‍්‍රිය වෙනවා කියන්නෙ රංගන ශිල්පියා යන කාරණාවට වඩා කෘතියේ වටිනාකම එක්ක එය වැළඳ ගත්තාම පේ‍්‍රක්ෂකයාගෙන් ලැබෙන ආදරය තමයි.

20181105Kalana-2

අද දවසේ කළණ රටේ පුරවැසියකු ලෙස රට ගැන හිතන්නෙ කොහොමද?

(හඬ නගා සිනාසෙයි)

මම විශ්වාස කරන්නෙ රටක ජීවත්වන මනුස්සයකු ඔහුගේ ආයු කාලයේදී සතුටින් තැබීම පවතින ආණ්ඩුවක වගකීමක්. මනුස්සයකුගේ මූලික අයිතිවාසිකම් දිනා දිය යුතුයි. ඒ වගේම රටක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතුයි.

මේ වෙලාවෙ ඔබ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු නම්?

එහෙම වෙනවා නම්, එය ටෙලි හෝ සිනමා නිර්මාණයකදී විතරයි. මේ මොහොත වන විට මට හරියට දැනෙන්නෙ අත්දෙක පිටිපස්සට තියලා බැඳලා, නහය උඩ අසූචි ගොඩක් තියලා තියෙනවා වගේ හැඟීමක්. ලංකාවේ බොහෝදෙනාට තමන්ගේ වෘත්තීය ගැන විශ්වාසයක් නැහැ. රඟපාන්න ඇවිත් අන්තිමට නතර වන්නෙ පාර්ලිමේන්තුවෙ. කලාකරුවකු හෝ වෙනත් වෘත්තියක අයෙක් රට පාලනය කරන්න පුළුවන් කියලා හිතන්නෙ හරි සැහැල්ලූවටයි. ඒක ලොකු ප‍්‍රශ්නයක්. කලාව තියෙන්නෙ රාජ්‍ය තාන්ත‍්‍රික පාලනය සඳහා නෙවෙයි. රසවින්දනය සඳහා පමණයි. අපි හිතමු පිකාසෝ වගේ චරිතයක් ජාත්‍යන්තර වී රටේ ප‍්‍රශ්න විසඳන්න කියලා ආවා කියා. එතකොට වෙන්නෙ රටේ ප‍්‍රශ්න විසඳීම කෙසේ වෙතත්, කලාව විනාශ වීමයි.

ක‍්‍රයිම් සීන් එකෙන් පසුව, ඊළඟට මොන සීන් එකේද ඉන්නෙ?

දැනට ඊළඟට එන්න තව ටෙලි නිර්මාණයක් නැහැ.

නමුත් ඔබ රඟපෑ තිරගත වීමට නියමිත චිත‍්‍රපට ගොන්නක්ම තියෙනවා. ඒ ගැන සඳහනක් කළොත්?

බහුචිතවාදියා (මාලක දේවප‍්‍රිය), ඉක්කා (කෞෂල්‍ය මාධව), නයිට් රයිඩර් (කසුන් පතිරණ), මුරුගසන්නිය (ජගත් මනුවර්ණ) සහ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ අලූත්ම චිත‍්‍රපටය සහ තවත් චිත‍්‍රපට පහකට විතර දායක වෙලා තියෙනවා.

 සඳුන් ගමගේ