මම ටෙලිනාට්‍යයට වැඩිය දායක වෙන්නේ නැති රංගන ශිල්පියෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181105Dineth-3සුමති හා සරසවි සම්මාන උළෙලවල නැගී එන නළුවා ලෙස සම්මානයට පාත්‍ර වන ඔහු පසුගියදා පැවැති හිරු රන් සම්මාන උළෙලේ මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා ලෙස  සම්මාන ලබාගත්තේය. නමින් දිනෙත් ද සිල්වා වන ඔහු සමග කෙරෙන කතාබහකි මේ.

පසුගියදා පැවැති හිරු සිනමා සම්මාන උළෙලේදී සම්මානයකට හිමිකම් කියන්න ඔබට හැකි වෙනවා. ඒ ගැන මුලින්ම කතා කරමු?

ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා. හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ් මේ වන විට තුන් වතාවක් පවත්වා තිබෙනවා. මට ආරාධනා ලැබුණු පළමු අවස්ථාව මෙය. ඒ පළමු අවස්ථාව නිසා මම එයට දායක වුණේ. සම්මානයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මම ඒ  උළෙලට  සහභාගි වුණේ. නමුත් මම එයට සහභාගි වූ පළමු වතාවේම සම්මානයක් හිමිවීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.

‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ රංගන දායකත්වය  වෙනුවෙන් ඔබ කිහිපවරක්ම ඇගයුම් ලැබුවා?

මගේ පළමු චිත්‍රපටය තමයි ‘ආලෝකෝ උදපාදි’ කියන්නේ. හිරු සම්මාන උළෙලේ වැඩියෙන්ම සම්මාන හිමි වුණේ මේ චිත්‍රපටය සඳහා. චත්‍රට හා භාරතට මුළු හදවතින්ම මම ඒ වෙනුවෙන්  සුබ පතනවා. ඔවුන් තමයි මාව විශ්වාස කරලා ඒ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලබා දෙන්නේ. ඔවුන් මං ගැන තිබූ විශ්වාසය මට නැවත වරක් තහවුරු කරන්න හැකියාවක් ලැබුණ එක ගැන මේ මොහොත වෙද්දි මට ලොකු ආඩම්බරයක් තියෙනවා.

ඉන් පසු ඔබට එවැනිම ‍ඓතිහාසික කතා තේමාවල චිත්‍රපට කිහිපයකටම දායක වෙන්න ලැබුණා?

ඔව්, ‘බිම්බාදේවි හෙවත් යශෝදරා’ චිත්‍රපටයට මට ආරාධනා ලැබෙන්නේ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය නිසා. ඉන් පසු එවැනි චිත්‍රපට කිහිපයක්ම ලැබුණා. ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය තමයි අද මම යම්කිසි තැනක ඉන්නවා නම්, ඒ අඩිතාලම හදන්න මූලික වුණේ. මේ වන විටත් ‍ඓතිහාස කතාවක් පාදක වූ ‘ශ්‍රී සිද්ඨා’ චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටිනවා. එහි නිෂ්පාදකවරයා වන්නේ තුසිත විජේසිංහ මහත්මයා. ඔහු තමයි ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයටත් නිෂ්පාදනයෙන් දායක වුණේ.

මෙවැනි එකම ධාරාවක චිත්‍රපටවලට දායක වීම  ගැන රංගන ශිල්පියෙක් ලෙස ඔබ තුළ ඇති අදහස කුමක්ද?

මගේ පෙනුම, රගපෑම් විලාසය, ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ මම කළ සටන් ජවනිකා වැනි දේවල් එපික් කියන චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්න බලපෑවා කියලා මට හිතෙන්නෙ. මට රූපවාහිනියේත්, සිනමාවෙන් බොහෝ ආරාධනා ලැබුණේ එවැනි කතා තේමාවක් ඇති චිත්‍රපටවලට හා ටෙලිනාට්‍යයවලට. මම කළ රඟපෑම්වලින් අධ්‍යෂක්‍ෂවරුන් නිෂ්පාදකයන් දැකපු දේවල් නිසා තමයි දිගින් දිගටම එවැනි නිර්මාණවලට දායක වෙන්න ආරාධනා කරන්නෙ.

එය රංගන ශිල්පීයෙකු ලෙස සීමාවකට කොටු වීමක් ලෙස ඔබට දැනෙන්නේ නැද්ද?

වැඩිපුර මෙවැනි චිත්‍රපටවලට ආරාධනා ලැබුණත්, විවිධාකාර වූ චරිතවලට දායක වෙන්න වෙනත් ධාරාවල චිත්‍රපටවලටත් මට  ආරාධනා ලැබිලා තිබෙනවා. ඓතිහාසික කතාවලටම සීමා නොවූ චරිත රඟපාන්න මම ඒ  අවස්ථාව යොදා ගත්තා. ඒ නිසා මම හිතන්නේ නැහැ මම ඓතිහාසික කතා තේමාව ඇති චිත්‍රපටවලටම සීමා වූ රංගන ශිල්පියෙක් කියලා. ඉදිරියේදී ඒ නිර්මාණ ඔබට දකින්න පුළුවන්. විශේෂයෙන්ම ක්‍රිෂාන්ත මනම්ප්‍රේරි අධ්‍යක්‍ෂණය කළ ‘හිතුමතේ ජීවිතේ’ කියන සත්‍යය කතාවක් පාදක වූ චිත්‍රපටයත්, ඉන් පසු හර්ෂ උඩකන්දගේ ‘ෆේස්ටු ෆේස්’ චිත්‍රපටය, ‘නයින්ටීන් සෙවන්ටී ලව්ස්ටෝරි’ යන අරුණ ජයවර්ධනගේ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. ඒ වගේම ඉන්දික අතුළ ප්‍රියන්තගේ ‘ඉත්තා’ කියන චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. ඒ චිත්‍රපට වල එකිනෙකට වෙනස් චරිතවලට මම දායකත්වය ලබා දෙන අයුරු දකින්න පුළුවන්.

ඒ කියන්නේ ඔබ දායක වූ චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතව තිබෙනවා. මෙලෙස චිත්‍රපට තිරගත වීම පමා වීම රංගන ශිල්පියෙක් ලෙස දකින්නේ කොහොමද?

ඒක චිත්‍රපට ක්‍ෂේත්‍රයේම තිබෙන අවාසනාවන්ත තත්ත්වයක්. ඒක හා අපගේත් අවාසනාවක්. නළුවෙක් නිළියෙක් ලෙස අප මුහුණපාන ලොකු අභියෝගයක් මෙය. එයට හේතුව අපි චිත්‍රපටවලට දායක වෙලා වසර දෙක තුනකින් තිරගත වෙද්දි ඒ පෙනුම පවා වෙනස් වෙනවා. චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ වගේම චිත්‍රපටයේ තේමාව ගත්තත් ඒ වන විට ඒ විලාසිතා ඇඳුම් නිර්මාණ  සමාජයෙන් බැහැර වෙලා. මෙවැනි ගැටලු තිබෙනවා. එහෙම වුණාම එය නරඹන ප්‍රේක්‍ෂකයාට මෙය දැනෙන චිත්‍රපටයක් බවට පත්වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. ඒ ගැන ලොකු කනගාටුවක් තිබෙනවා. මේ තුළින් සිදු වෙන්නේ සිනමා ප්‍රේක්‍ෂකයා චිත්‍රපටවලින් ඈත් වීම. එය රංගන ශිල්පියෙක් ලෙස ලොකු අසාධාරණයක් කියලා හිතනවා. ඔහුට පමණක් නොවෙයි නිෂ්පාදකවරයා සේම ප්‍රේක්‍ෂකයාටත් ඒ තුළින් අසාධාරණයක් වෙනවා කියලා මම හිතන්නේ.

20181105Dineth-2මෙවැනි වාතාවරණයක් තුළ බොහෝ නළුවන් ප්‍රේක්‍ෂකයන්ට සමීප වීමට යොදා ගන්නේ ටෙලිනාට්‍යය. ඔබ ඒ තුළ ඉන්නවද?

මම ටෙලිනාට්‍යයට වැඩිය දායක වෙන්නේ නැති රංගන ශිල්පියෙක්. නමුත් මම දකින දෙයක් තිබෙනවා. නළුවෙක් නිළියක් ලෙස සිනමාවට, ටෙලිනාට්‍යයට වේදිකාවට කොටු වුණ නළුවෙක් වෙන්න බැහැ. ඔහු පොදු වස්තුවක්. ඔහු හැම ක්‍ෂේත්‍රයටම පොදුයි. අපේ යුතුකම බවට පත්වෙන්නේ එය. එය රූපවාහිනියේද, සිනමාවේද කියලා වෙන්කර ගන්න බැහැ. මම නිර්මාණ තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ. මට දෙයක් කළ හැකියි කියලා හිතෙන චරිතයක් ලැබුණොත් ඒ වේදිකාවද, සිනමාවද, ටෙලිනාට්‍යයද කියලා බලන්නේ නැහැ. මම කැමැත්තකින් ඒ කටයුත්ත සිදු කරනවා

නිරූපණ ශිල්පියෙක් ලෙසත් කටයුතු කිරීමට ඔබ යොමු වෙනවා?

අදටත් මම නිරූපණය තුළ යෙදෙනවා. මම එයට ලොකු කැමැත්තක් දක්වනවා. ඒ ක්‍ෂේත්‍රය තුළින් තමයි මගේ පළමු අඩිතාලම නිර්මාණය වුණේ. ඒ නිසා තමයි මම රංගන ශිල්පියෙක් බවට පත්වුණේ. මම එයට අදත් ගෞරව කරනවා. මේ නිරූපණ ක්‍ෂේත්‍රයට කරන සේවයක් ලෙස මට හැකි ලෙසින් මම නිරූපණ පාසලක් පවා ආරම්භ කර තිබෙනවා.

එලෙස නිරූපණ ශිල්පීන්  බිහිකළත්, ඔවුන්ට කටයුතු කළ හැකි වෙළෙඳ පොළක් මේ වන විට  නිර්මාණය වී තිබෙනවද?

අපි මේ ක්‍ෂේත්‍රයට පැමිණි කාලයට වඩා නිරූපණ ක්‍ෂේත්‍රය තුළ දැන් බොහෝ අවස්ථා තිබෙනවා. තරග අවස්ථාවන් මීට පෙර ඉතා  සීමිතව පැවතුණේ. අද හොඳ හැදෑරීමක් ඇතුව මේ ක්‍ෂේත්‍රයට  එන්න  වගේම ක්‍ෂේත්‍රය තුළ පවතින්නත් හැකියාව ලැබී තිබෙනවා. මේ ක්‍ෂේත්‍රය තුළ රැ‍ඳෙන්න නම් හොඳ අධ්‍යයනයක් තිබිය යුතුමයි කියලා මම හිතනවා. ඒ අධ්‍යයනයත් එක්ක තමයි සියලු කටයුතු කළ යුත්තේ.

ඔබේ නිර්මාණ ජීවිතයේ ඉදිරි වැඩකටයුතු හා මතක් කළ යුතු පිරිසක් ඇති?

රංගනය වෘත්තියක් වුණත් මම එය වෘත්තියක්ම ලෙසම සිදු කරන්න බලාපොරොත්තුවෙ නැහැ. මම තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වන නිසා මට මෙය වෘත්තියක් කරගෙන යැපෙන්න බැහැ. මම මේ කලාවට ආදරෙයි. සිනමාවට ආදරෙයි. මේ සමාජයට ආදරෙයි. එහි චරිතවලට ආදරෙයි. මේ චරිතවලට මට යන්න පුළුවන් එකම මාධ්‍යය රංගන ක්‍ෂේත්‍රය. මේ තුළින් මිනිසුන්ගේ ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපණය කරන්න අවස්ථාව ලැබෙනවා. එලෙස සිදුකර ඒ දේවල්වලින්  බොහෝම තෘප්තියක් ලබන කෙනෙක් තමයි මම. මේ සියලු කටයුතුවලට මට උදවු කරන මගේ දෙමවුපියන්, සහෝදරයෝ, බිරිඳ, බිරිඳගේ පවුලේ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. මෙතෙක් මේ අවුරුද්ද පුරා මා ලද සම්මාන පිටිපස්සේ සිටි සියලුම අධ්‍යක්‍ෂවරුන්ට ස්තුති කරන්න කැමැතියි. ඒ වගේම මාත් එක්ක හැමදාම සිටින ප්‍රේක්‍ෂකයන්ටත් ස්තුතිවන්ත විය යුතුයි.

 

නිදුක් මදුෂික / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

20181105Dineth-1