මම වැඩියෙන්ම නිර්මාණය කළේ විරහා ගීත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181129Jude-2ජනප්‍රිය ගීත කිහිපයක්ම නිර්මාණය කර ඔහු ‘සීදුව’ සකුරා සංගීත කණ්ඩායමේ න්‍යාමක ගායන ශිල්පියාය.ඔහුගේ නවතම ගී නිර්මාණය වන්නේ “පින්සාර කවිකාරි” ගීතයයි. ඔහු ජුඩ් රොගන්ස්ය. මේ කතාබහ ඔහු සමගිනි.

‘පින්සාර කවිකාරි’ ඔබගේ නවතම ගීතය ගැන මුලින්ම කතා කරමු?

මම වැඩියෙන්ම නිර්මාණය කළේ විරහා ගීත, ඒ වගේම ළයාන්විත ගී නිර්මාණ කිහිපයකුත් මට කරන්න හැකියාව ලැබුණා. ‘පින්සාර කවිකාරි’ ගීතයේ ශබ්ද රසය මෙන්ම, අර්ථ රසයෙත් ලොකු වෙනසක් තිබෙනවා. මෙහි පද රචනය සිදුකළේ රිචඩ් මානමුදලි, සංගීතය අමිල රසාංග විසින් සිදුකළා. ගී නිර්මාණයට  ‘ගජමන් නෝනා’ ලෙස අපි හඳුනන පැරැණි කතාව අභාසයක් ලෙස යොදා ගත්තා. ගජමන් නෝනට ඇලපාත මුදලිතුමා ආදරය කළත්, ඔවුන්ට විවාහ වෙන්න ලැබෙන්නෙ නැහැ. මෙලෙස අහිංසක, ආඩම්බරකාර ලබාගන්න බැරිවුණ ආදරයක් ගැන තමයි මේ ගීතයේ අන්තර්ගතය තුළ තිබෙන්නේ. මේ වනවිට පද රචනයේ අන්තර්ගත වීඩියෝවක් යූටියුබ්වලට අප්ලෝඩ් කර තිබෙනවා.

වසරක පමණ කාලයකට පසුව තමයි ඔබ ගී නිර්මාණයක් සිදුකරන්නේ, ඒකට හේතුව රිගින් ටෝන්වලට පැවැති වෙළෙඳ පොළ නොමැති වීමද?

මේ වෙලාවෙත් රිගින් ටෝන් සඳහා මාර්කට් එකක් තිබෙනවා. නමුත් මම ඒ පැත්ත ගැන වැඩිය හිතලා නිර්මාණ කරන්න යොමු වුණේ  නැහැ. මේ නිර්මාණය ගත්තත්  රිගින් ටෝන් බලාගෙන සිදු කළ නිර්මාණයක් නෙමෙයි. ඇත්තම කතාව තමයි මෙවැනි අර්ථවත් ගීතයක් කරන්න මම කාලයක සිට ලොකු  ආසාවකින් හිටියේ. නමුත් එහෙම නිර්මාණයක් කරන්න එකතුවෙන කෙනෙක් මුණගැහුණෙ නැහැ. මම මේ වන තුරු කළ නිර්මාණ අර්ථවත් නැහැ, ඵලක් නැහැ කියන දේ නෙමෙයි එතුළින් අදහස් කරන්නේ. ඒ වගේම මේ වනතුරු මා සමග ගී නිර්මාණ කළ කිසිම කෙනෙකුට දෝෂාරෝපණ එල්ල කරනවත් නෙමෙයි. නමුත් මේ ගීතය මට විශේෂයි. ගීතය ගත්තත් එහෙමයි. අනෙක් කාරණය, මගේ පාසල් ජීවිතය තුළත් මට බොහෝ උපකාර කළ ගුරුවරයෙක් තමයි රිචඩ්මාන මුදලි කියන්නේ. වසර දහතුනකට ඔහුගේ පද රචනාවක් මට ලැබුණා. ඒක මට ලොකු ආශිර්වාදයක්, එයත් විශේෂයි.

මෙවැනි නිර්මාණයකට ගුවන් විදුලි හෝ රූපවාහිනි මාධ්‍යය තුළ ඉඩක් ලැබෙයිද?

මේ වන තුරුත් රූප රචනාවක් නොමැති නිසා රූපවාහිනියේ විකාශය වෙයි කියන බලාපොරොත්තුවක් නැහැ. නමුත් ගුවන් විදුලි මාධ්‍ය්‍යට උචිත ලෙසින් මේ ගීතයේ සංගීත නිර්මාණය සිදුකරන්න අපි කටයුතු කළා. රාගධාරි ලෙසින්ම මෙය සිදුනොකර, රාගයක් ඇසුරු කරගෙන තමයි මේ නිර්මාණය සිදු කළේ. ඒ නිසා මේ ගීතය ගුවන් විදුලි මාධ්‍යයට ලබා දුන්නම ප්‍රචාරය වෙයි කියන බලාපොරොත්තුව තියාගන්න පුළුවන්. මේ වනවිට අන්තර්ජාලය තුළ ගීතය නිකුත් කර තිබෙනවා. ආදරය, විරහව, රාගය, ප්‍රසංග වේදිකාව, මාධ්‍යය ගීතය නිර්මාණය කරද්දි මේ කාරණා පහ ගැන තමයි මම අවධානය යොමු කළේ, අමිල රසාංග එය සංගීතවත් කළේ එයට උචිත ලෙසින්. දිනක් තුළ මෙය අන්තර්ජාලය තුළින් නැරඹූ සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙනවා. මම හිතනවා එය සාර්ථකයි කියලා.

මේ ගීතයට රූප රචනාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද?

මේ වනවිටත් එයට ආරාධනා ලැබුණා. නමුත් තවම එය සිදු කළේ නැහැ. පද රචනය, අන්තර්ග කර අන්තර්ජාලයට මුදාහළ පළමු ගීතය මෙය. පෙර නිර්මාණ සේම, රූපරචනාවක් කරන්න යොමුනොවී මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර කෙබඳු ද කියලා දැනගන්න බලන් ඉන්නේ. අපි හැම කෙනෙකුටම අවශ්‍යය වුණේ ගීතය තුළින් මිනිසුන්ට රස විදින්න කතාවක් දෙන්න. මේ ගීතය හොඳ නිර්මාණයක් ලෙස රසිකයන් පිළිගන්නවා නම්, මම එයට රූප රචනාවක් නිර්මාණය කරනවා.

මේ වනවිට ඔබේ සංගීත කණ්ඩායම සමග කටයුතු වෙන ආකාරය ගැන කතා කළොත්?

මේ කාලවකවානුව තුළ පවතින කාලගුණික ප්‍රශ්න නිසා බොහෝ ප්‍රසංග පවත්වන්න අපහසුතත්වයක් තිබෙනවා. ජෙනරේටර් උපයෝගිකර ගනිමින් විදුලිය ලබාගන්නේ. මේ තත්ත්වයත් එක්ක ප්‍රසංග අඩුවෙන් පවත්වන්නේ. ඒ වගේම මේ දේශගුණික තත්ත්වය නිසා ප්‍රසංග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් ගත්තත් අඩුමට්ටමක තමයි ඉන්නේ, ලබන මාසය වනවිට මේ තත්ත්වය වෙනස්වෙයි කියලා හිතනවා.

මතක් කළ යුතු පිරිසක් ඇති?

ඔව්, විශේෂ ස්තුතිය කළ යුතුයි මගේ රසිකයින්ට. ඔවුන් මගේ නිර්මාණවලට දක්වන ප්‍රතිචාරත් එක්ක තමයි මම අද මෙතන්ට පැමිණ තිබෙන්නේ. මේ ගීතයෙත් හොඳ නරක ගැන කියන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මේ ගීත නිර්මාණය සාර්ථක කර ගන්න උපකාර කළ සියලු දෙනාවමත් මතක් කරනවා.

 

නිදුක් මදුෂික

20181129Jude-1