හදවතින්ම ආදරේ නම් ලස්සන වෙන්නෙ ඉබේටම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය වෘත්තියෙන් ශාස්ත‍්‍රීය මට්ටමේ විශාරද ගායිකාවක් මෙන්ම නිපුණතාවයෙන් හෙබි නිවේදිකාවක් වසර තිස් දෙකක් පුරාවට ලොතරැුයි දිනුම් ඇදීමේ වැඩසටහන් නිවේදනය කරන ඇය විශාරද චරිතා ප‍්‍රියදර්ශනී පීරිස්ය. තරුණ දියණියකගේත් පුතෙකුගෙත් ආදරණීය මවක් වන ඇය විශාරද එඞ්වඞ් ජයකොඩි මහතාගේ ආදරණීය බිරිඳය. ජීවන ගමනේ විවිධ කඩඉම් පසුකර තිබුන ද  ඇය තවමත් රූපයෙන් සුන්දරය. ප‍්‍රියමනාපය. ලස්සනට ඉන්න රහස සොයා මම ඇය හමුවූවෙමි. 

20181129Charitha-1එන්නම එන්නම තරුණ වෙනවා. ලස්සන වෙනවා මොකක්ද රහස. අපිත් කැමතියි දැන ගන්න.

අනේ...... කිව්වට විශ්වාස කරයිද දන්නෑ හමේ පැහැය රැක ගන්නවත් මුහුණේ තරුණ බව රැකගන්නවත් කියලා මම මොකුත් කරන් නෑ. කාලයෙන් කාලයට එන හම ලස්සන කරන ක‍්‍රීම් වර්ග,  විටමින් වර්ග ඔය කියන එන්නත් වර්ග කවදාවත් අරං නැහැ. මංගල උත්සවයකට යනකොටත් සාරිය පවා ඇඳ ගන්නේ මම තනියම. වාහනයට නැගලයි පවුන්ඬේශන් ටිකක් ගාලා, පව්ඩර් ටිකක් දා ගන්නේ. කලාතුරකින් තමයි මගේ හිතවතියන්ගේ සැලොන් එකකට ගිහින් ඇඳපැළඳ ගන්නේ. ඔහොම තමයි වැඩ ටිකනම් කෙරෙන්නේ. හැබැයි ඔයාලා විශ්වාස කරයිද දන්නෑ. නිතරම සැලොන්වලට යන පුරුද්දක් නැහැ. එක් මාසයකට සැරයක් නම් මගේ හිතවතියකගේ සැලොන් එකකට ගිහින් මුහුණ හා ගෙල හොඳින් පිරිසිදු කරන ක්ලීන් එකක් කර ගන්නවා.

ඔබ කෑම බීම කෙරෙහි සැලකිලිමත්ද?

ඔව්. අපේ ආරයෙන් ඇඟ මහත් වෙන ගතිය වැඩියි. ඉස්සරනම් අතට අහුවෙන හැමදේම කෑවත් දැන්නම් කෑම බීම ගැන සැළකිලිමත්. මොකද ලෙඩ වෙලා කරදර වෙනවට වඩා ලෙඩ නොවී ඉන්න පුළුවන්නම් ඒක හොඳයි නේ නේද? තෙල් කෑම, පිටි කෑම කන්න එළියෙන් පිළියෙල කරන කෑම බීම කන්න අකමැතියි. පුරුද්දක් විදිහට මම එළවළු තම්බලා කන්න ආසයි. එළවළු පළා වර්ග සලාද වැඩිපුර කනවා. ඒත් පලතුරු නම් කන්න එච්චර කැමැත්තක් නැහැ. ඇඟ මහත් වෙන එක පාලනයට ව්‍යායාමයක නිරත වෙනවා. නිවසේ ව්‍යායාම උපකරණ භාවිත කරනවා.

එතකොට ලස්සන වීමේ රහස?

මම හිතන්නේ නම් සිතුවිලි ලස්සන වීම. තව කෙනෙකුට වෛර නොකර තව කෙනෙක්ව හෙලා දකින්නේ නැතුව හදවතින්ම කෙනෙක්ව අගේ කරන්න පුළුවන්නම් හැම දෙයක්ම කෙරෙහිම මෙත් සිතින් බලන්න පුළුවන්නම් ඇත්තටම අපේ සිතුවිලි ලස්සන වෙනවා. එහෙම වෙන කොට අපි ඉබේටම ලස්සන වෙනවා. දැන් මට අවුරුදු 51 ක්. ඒත් මම අදටත්  ගායන ප‍්‍රසංගයකට ගිය වෙලාවක හරි, නිවේදන කටයුත්තකට සහභාගි වූ විට බොහෝ දෙනෙක් මාව දැක්කොත් කියනවා ‘‘ආනේ චරිතා ඔයා එදා වගේම ලස්සනයි කියලා’’. පසුගිය දවසක අපේ 25 වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ නිමිත්තෙන් මම විවාහ වූ දිනයේදී මෙන්ම මනාලියක් ලෙසට සැරසුනාම අවුරුදු 25කට පෙර ගත්ත මංගල ඡුායාරූපය 25 වන සංවත්සරය දිනයේදී ගත්ත ඡුායාරූපයයි සංසන්දනය කළාම මම එදා වගේමයි. පොඞ්ඩක් මහත් වෙලා. එච්චරයි.

ගෙදර අය ඔබට ලස්සනයි කියා අගය කරනකොට මොකද හිතෙන්නේ?

පුතාට දැන් අවුරුදු 25යි. දුවට අවුරුදු 18යි. දෙන්නම විටින්විට ඇවිල්ලා අම්මා ඔයා ගොඩක් ලස්සනයි. අපිට ලස්සන අම්මා කෙනෙක් ලැබිලා තියෙනවා කියලා මූණ ඉඹගෙන ඉඹගෙන යනවා. ඒ අය හරිම ආදරෙන් මාව අගය කරනවා. මහත්තයත් එහෙමයි. ඒ ආදරණීය අත්දැකීමට මම ගොඩක් ආසයි.

මෝස්තර තෝරා ගැනීමේදී ඔබ සැලකිළිමත්ද?

ඔව්. මම නිවේදන ක්ෂේත‍්‍රයට ආවේ තාරුණ්‍යයේදීම. කවදාවත් මම මෝස්තර කරද්දී අනිත් අයට පේන්න අනිත් අයගේ ඇස් විශේෂයෙන් මගේ ගාවට ගන්න ඇඳුම් පැළඳුම් ඇන්දේ නැහැ. අදටත් විලාසිතා කිරීමේදී සැලකිලිමත්. තරුණ පුතෙකුයි, දුවෙකුයි ඉන්න මවක් විදිහට ඒ අය සමග එළියට යනකොට මගේ ඇඳුමෙන් ‘‘අම්මා’’ කියන උතුම් චරිතයට හානියක් නොවෙන්න ඇඳුම් පැළඳුම් තෝරා ගන්න මම හරිම සැලකිළිමත්.

ඔබට වඩාත්ම ගැලපෙන ඇඳුම සහ පාට මොකක් කියලද හිතන්නේ.

ම්... මම නම් හිතන්නේ මගේ ඇඟට හැම ඇඳුමක්ම ලස්සනයි. ඒත් සාරිය ඇන්දම අමුතුම පෙනුමක් ලැබෙනවා කියලා හිතෙනවා.

පාට නම් මම ලා පාටින් ඇඳුම් අඳින්න ආසයි. කළු පාටට නම් එච්චර කැමති නැහැ. ඉඳලහිටල රාත‍්‍රි සාදයකට වගේ කළු පාටින් සාරියක් ඇන්දත් මම එච්චර ඒකට කැමති නැහැ.

ඒ වාගේමයි වටිනාකමෙන් වැඩි සාරි වැඩි ඇඳුම් අඳින්න  ඕනේ කියලා මතයක් මගේ ලඟ නැහැ. වටිනාම සාරි වගේම වටිනාකමෙන් අඩුම සාරිත් ඇඳලා තියෙනවා. ගොඩක් වටින සාරියක් ගත්තොත් නම් ඉතින් පනස් සැරයක් විතර ඒක අඳිනවා.

එක වෙඩින් එකකට අඳින සාරියක් ඒ හෝටලයේම තියෙන වෙනත් කෙනෙකුගේ මංගල උත්සවයකට ආයේ අඳින්න මම මැලි වෙන් නෑ. සමහරු කැමති නැහැනේ ඒ සාරිය දැකලා තියෙනවා කියලා අඳින්න.

මට එහෙම සිතිවිල්ලක් නැහැ. අපි අඳින සාරිය එකමද කියලා හිතනවට වඩා හිතන්න ගොඩක් දේවල් මිනිස්සුන්ට හිතන්න තියෙනවා නේද?

යම් ක්ෂේත‍්‍රයක රැුඳෙන්න ලස්සන වැදගත් කියලා ඔබ හිතනවාද?

නැහැ නේද? දක්ෂතාවය තමයි වැදගත්. ප‍්‍රියමනාප බව දක්ෂ කෙනෙකුගේ වෘත්තිය ගමන සාර්ථක වෙන්න පිටිවහලක් වෙන්න පුළුවන්. ඒත් වෘත්තියක නිපුණතාවක් රැුඳෙන්නේ කැපවීම සහ දක්ෂතාවය සහ අවංක වීම මත. මම ක්ෂේත‍්‍රයට එන්නේ ගුවන් විදුලි නිවේදිකාවක් ලෙසට. රූප දැක නොවේ මිනිසුන් මා අගය කළේ.

ලස්සන කියා ඔබ හිතන්නේ මොකක්ද?

හිත ලස්සන නම් මුහුණ ඉබේම ලස්සන වෙනවා කියලා මම නම් හිතන්නේ.

මම පෞද්ගලිකව හිතනවා මේ ලෝකයේ හැම කෙනෙක්ම හරිම ලස්සනයි කියලා. ලස්සන දිහා බලන විදිහ හරි ලස්සන දකින විදිහ හරි සාපේක්ෂ විය හැකියි. හමේ පාට සුදු අය විතරක්ම නොවේ ලස්සන. හරිම ලස්සන සිරියාවන්ත ප‍්‍රියමනාප පෙනුමක් තියෙන කළු සම තියෙන අයත්  ඕන තරම් ඉන්නවා.

සිතුවිලිවලින් ලස්සන වෙලා පුළුවන් හැම වෙලාවකම කෙනෙකුට වචනයෙන් හරි උදව් කරලා බෙදා හදාගෙන ජීවත් වෙන්න පුළුවන්නම් ඇත්තටම මේ ලෝකය ගොඩක් ලස්සනයි.

බැබලෙන මැණික් අතරේ වටිනාකමෙන් වැඩි බැබලෙන මැණිකක් වෙන්න ලැබිලා තියෙන රූපයට යහපත් ගුණාංගයන් එක්කර ගත යුතුයි කියා මම හිතනවා.

අසුන්තා එදිරිසූරිය / ඡායාරූපය: සඳුන් ගමගේ