පුංචි තිරයෙ පෙම්වතා වෙන්න තවම බැරිවුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181129Viraj-1මේ දිනවල පුංචි තිරයේ ජනප‍්‍රිය චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කර ගන්න හිතුවා. ඔහු ලංකාවේ මියුසික් වීඩියෝ වැඩිම ප‍්‍රමාණයකට දායකත්වය ලබාදී තිබෙනවා මෙන්ම වෙළෙඳ දැන්වීම්වලත් නිතරම දකින්නට ලැබෙන චරිතයක්. මේ කතාබහ විරාජ් පෙරේරා වෙනුවෙන්.

විරාජ් ටෙලිනාට්‍ය රංගනයට ආවෙ මියුසික් වීඩියෝ රංගනය අතඇරලද?

අතඇරලම නෙමෙයි. මම මේ වෙද්දි මියුසික් වීඩියෝ බොහෝ ප‍්‍රමාණයකට සම්බන්ධවෙලා තියෙනවා. ඉතින් ඒ පැත්ත පොඞ්ඩක් නතර කරන්න හිතුණා. ඒ වගේම ටෙලිනාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒ ආරාධනාත් එක්ක ටෙලිනාට්‍ය පැත්තට යොමුවෙන්න හිතුණා. අවුරුද්දට එක ටෙලිනාට්‍යයකට වගේ දායක වෙනවා.

මේ දවස්වල ඔබ දායක වන ‘‘සිල්ලර සමණල්ලූ’’ තෝරාගත්තෙ ඇයි?

සිල්ලර සමණල්ලූ කියන්නෙ කොමඩි ටෙලිනාට්‍යයක්. ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා ඇයි මේ වගේ ටෙලිනාට්‍ය චරිතයක් තෝරාගත්තේ කියලා. මට  ඕනෑ වුණේ කොමඩි පැත්තත් මට කරන්න පුළුවන් කියන දේ පෙන්නන්න. මොකද මියුසික් වීඩියෝවල මම හිටියෙ ගොඩක් පෙම්වතාට. ඉතින් විවිධාකාර වූ චරිතවලින් සම්බන්ධ වෙන්න මම ගොඩක් කැමැතියි. ලංකාවේ තියෙනවනේ හිරවීමක්. කොමඩි චරිත කලොත් ඒවමයි ලැබෙන්නේ. මම ඒකට කැමැති නෑ. රංගන ශිල්පියෙක් වුණාම  ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව තියෙන්න  ඕනෑ. ඉතින් මමත් ආසයි විවිධාකාර චරිතවලින් සම්බන්ධ වෙන්න.

20181129Viraj-2‘‘පැටියා’’ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?

චරිතය මට ලැබෙන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා සහ චාමර සමරවික‍්‍රම හරහා. සංජය නිර්මාල් තමයි මෙහි අධ්‍යක්ෂ. මේ චරිතය ඇත්තටම මට අභියෝගයක් වුණා. හේතුව මම ටෙලිනාට්‍යවලට නවකයෙක්.

මෙහි මට රඟපාන්න තියෙන්නේ ජනප‍්‍රිය තලේ කොමඩි රංගන ශිල්පියෙක් වන රොහාන් එක්ක. අනිත් පැත්තෙන් ඉන්නෙ සම්මානනීය ජනප‍්‍රිය නළුවෙක් වන ධනංජය සිරිවර්ධන. ඒ දෙදෙනා මැදට තමයි මාව තෝරගන්නෙ මේ පැටියා චරිතයට. ඉතින් මේ දෙන්නා එක්ක කරට කර රඟපානවා කියන එක ලොකු අභියෝගයක්. මේ දේ මම හරියට කළේ නැත්නම් එතැනදිත් මම අසමත්. කෙසේ හෝ මම ඒ අභියෝගය බාරගෙන වැඩ කළා. ලැබෙන ප‍්‍රතිචාර එක්ක නම් හිතෙනවා වැඬේ සාර්ථකයි කියලා.

‘පැටියා’ චරිතයට ලොකු වෙනසක් එකතු කරලා තියෙනවා?

ඔව්. මම මෙහි කොමඩි කරද්දි මොන මොහොතකවත් බන්දු සමරසිංහගෙ රංගනයවත්, ටෙනිසන් කුරේගෙ, පිංපොංගෙ, ඒ කිසි කෙනෙක්ගෙ රංගනය පෙන්වන්න බෑ. මොකද දැන් ඒ රංගනයන් පේ‍්‍රක්ෂකයා රස විඳලා ඉවරයි. මමත් ඒකම කළොත් ඒ දේ අසමත්. ඒ නිසා මම වෙනම ස්ටයිල් එකක් හදාගන්න  ඕනෑ. මම දෙමළ සිනමාවට, හින්දි සිනමාවට පිස්සෙක්. වික‍්‍රම්, ධනුෂ්, තූර්යා ඒ අයගෙ රංගනයට මම ගොඩක් ආසා කරනවා. ඒ නිසා ඔවුන්ගෙ රංගනය බලලා වෙනම විදියෙ දෙයක් මගෙ මේ චරිතයෙ රංගනයට එකතු කර ගන්න හිතුවා. ඒ ඉන්දියන් විදියට. ඔවුන්ගෙ කොමඩි සාමාන්‍යයෙන් මගෙ චරිතය උඩින් ප්ලේ වෙනවා. ඉතින් නොහිතපු විදියෙ ප‍්‍රතිචාරයක් නම් දැනට තියෙනවා.

තවම පුංචි තිරයෙ පෙම්වතා වෙන්න බැරිවුණාද?

ඔම්. මම මියුසික් වීඩියෝ 230කට අධික සංඛ්‍යාවකට සම්බන්ධවෙලා තියෙනවා. ඒ අතර පෙම්වතාගෙ චරිතයනෙ වැඩිපුර කළේ. නමුත් පුංචි තිරයේ නම් තවම පෙම්වතා වුණේ නෑ. ඉදිරියේදීත් ඒ දේත් මට ලැබුණොත් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ලංකාවෙ මියුසික් වීඩියෝවල වැඩිපුරම අඬලා ඇත්තෙ විරාජ් වෙන්න ඇති නේද?

මට එහෙම කියනවා බොහෝ දෙනා. ලංකාවෙ වැඩිම මියුසික් වීඩියෝ ප‍්‍රමාණයක් කරපු චරිතය විදියට මගේ ගැන කතා කළා. දැන් මම ඒකෙන් ඈත්වෙලා ඉන්නේ. මොකද මට රැුකියාවක් එක්ක කරගෙන යන්න අමාරුයි. නමුත් එකක් දෙකක් වගේ තෝරා බේරාගෙන කරනවා.

මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කරන්න ඇති?

ඔව්. මේ තැනට එන්න ගොඩක් මහන්සි වුණා. කොල්ලෙකුට මේ ක්ෂේත‍්‍රයේ උදව් කරන්න කෙනෙක් නැති තරම්. නමුත් මම කැපවීමෙන් වැඩ කළා. අවංකව විනයක් ඇතිව වැඩ කළා. වාසනාවට මට මොනවත් ලැබුණෙ නෑ. වාසනාව ගන්න අපි උත්සාහ කරන්න  ඕනෑ. රැකියාවක් කරන ගමන් මම කලාව කරගෙන යන්නේ. මට මේ දේවල්වලට කාලය අඩුයි. ඉතින් ගොඩක් දුක් විඳලා තමයි මේ තැනට ආවේ. නමුත් අද මම ගොඩක් සතුටින් මට ලැබෙන පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරත් එක්ක.

මේ දේවල් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

මම විවාහකයි. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. බිරිඳ නර්ථන ගුරුවරියක්. මට ලැබිලා ඉන්නෙ මාව සහ කලාව සියල්ල තේරුම් ගන්න පුළුවන් උගත් බිරිඳක්. ඒ නිසා මට මේ හැම දේම කරගෙන යන්න හරි පහසුයි.

ධනු විජේරත්න

20181129Viraj-320181129Viraj-4