හන්තානේ කතාවට යන දවසේ අඳින්න කලිසමක් තිබුණේ නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181205Kalan-3

අපි ඔබේ පාසල් ජීවිතේ ඉඳන් මේ කතාබහ පටන්ගමු.. ඔබට පාසල් කිහිපයකම අධ්‍යාපනය ලබන්න සිදුවුණා නේද..?

ඔව්.. මම මුලින්ම ඉගෙනගත්තෙ කිරිබත්කුඹුරේ ශ්‍රී ස්වර්ණජෝති විද්‍යාලයෙ. මම පළවැනි පන්තියෙ ඉඳන් දෙවැනි පන්තියට පාස්වෙනවත් එක්කම අපේ තාත්තා මාව ඉංග්‍රීසි ඉස්කෝලෙකට දාන්න ඕන කියලා හිතාගෙන පේරාදෙණියේ ශාන්ත ක්‍රිස්ටෝපර් විද්‍යාලයට ඇතුළත් කළා. ඒ විද්‍යාලයෙදී මාව දෙකේ පන්තියේ ඉඳන් තුනේ පන්තියට දාන්නෙ නැතිව හතරවැනි පන්තියට දැම්මා. ඒ ඉස්කෝලෙ ආනන්ද ගුරුගේ කියන මගේ ඥාති සහෝදරයාත් ඉගෙන ගත්තා. ඉතින්.. ඉංග්‍රීසි හොඳට ඉගෙනගන්න ඕන නිසාම තාත්තා මාව පස්සෙ මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කළා. ධර්මරාජ විද්‍යාලයෙදී මාව තුනේ පන්තියට ඇතුළත් කරන්නෙ නැතිව හතරවැනි පන්තියට ඇතුළත් කළා. දෙකේ ඉඳන් හතරට ගිය මම සංසාරේ දෙයක් දන්නෙ නැහැ. ඉංග්‍රීසි භාෂාව අපිට තේරුණෙත් නැහැ.

පන්තියෙ ළමයින්ගෙ හිත් දිනාගන්න ඔබ එක එක උපක්‍රම යෙදුවා නේද..?

ඔව්.. මුලදී ධර්මරාජෙ මට යාළුවෝ හිටියෙ නැහැ. ඉතින්.. ගිය අලුත මම යාළුවන්ගෙ හිත් දිනාගන්න අපූරු වැඩක් කළා. ඉස්සර මගේ තාත්තට කඩයක් තිබුණා. ඉතින් දවස් කිහිපයක්ම රූට මම කඩේ ඇතුළෙ නිදාගත්තා. මහරූට හොරෙන් නැඟිටලා ලාච්චුවෙන් සත පහක් වගේ ගාණක් හොරකම් කරගෙන පසුවදා උදේට පන්තියෙ ළමයින්ට එක එක දේවල් කන්න අරගෙන දුන්නා. ඉස්සර සත පහක් කියන්නෙ ලොකු ගාණක්. හැබැයි ඔය වැඩේ මට වැඩි කාලයක් කරන්න ලැබුණේ නැහැ. දවසක් මගේ මුත්තා මේ හොරකම දැකලා තාත්තට කියලා මට දඬුවම් කළා.

ඔබ පාසල් අධ්‍යාපනය ලබන කාලෙදීම ඔබේ මව්පියන්ගෙ වියෝවත් සිදුවෙනවා..?

ඔව්.. මගේ තාත්තගේ නම ෆ්‍රැන්සිස් අප්පුහාමි. අම්මගේ නම බංගමගෙදර පොඩි හාමිනේ. මගේ අම්මා නැතිවෙද්දී මට වයස අවුරුදු දාසයක් විතර ඇති. තාත්තා නැතිවෙද්දී මම විභාගය සමත්වෙලයි හිටියෙ. මව්පියො නැතිවුණාට පස්සෙ අපි පුදුමාකාර විදිහට දුක් වින්ඳා. ඒක පුදුමාකාර දුකක්. අපේ පවුලේ දරුවන් හත්දෙනෙක් හිටියා. මව්පියන් නැතිවුණාට පස්සෙ අපිට කිසිම ආදායමක් තිබුණෙ නැහැ. අපේ තාත්තට ලොරි තිබුණා. නමුත් අපේ අයියා නාස්තිකාරයා. ඒ හැමදෙයක්ම එයා විකිණුවා. ක්ලබ් ගියා. බූරුවා ගැහුවා. ඒ හැමදේකින්ම අපි පාරට වැටුණා. අපි හිටියෙ පන්සලක ඉඩමක. කුලිය විදිහට රුපියල් පහක් ගෙවන්න බැරි නිසා දවසක් ගමටම අණබෙර ගහලා අපිව එළියට ඇදලා දාලා අපේ ගෙදරට ඇණ ගැහුවා. අපිට යන්න එන්න තැනක් තිබුණේ නැහැ. මට මතකයි අපේ ගෙවල් ළඟ හිටපු ඉඳිආප්ප නැන්දා &උඹලව මට වැඩි නැහැ. ඔන්න ඔය අපේ කුස්සි කෑල්ලෙන් නිදාගනිං* කියලා අපේ දොර ගාව තිබුණු පැදුරු කඩමළුත් උස්සගෙන ඒ නැන්දගේ ගෙදරට අපිව එක්කගෙන ගියා. ඊටපස්සෙ මම ඒ නැන්දට ඉඳිආප්ප හදන්න උදව් කළා. කඩවලට ඉඳිආප්ප ගිහින් දැම්මා. ඒ වගේ පුදුමාකාර දුකක් අපි වින්ඳා. මම ගමේ මිනිසුන්ගෙ කුඹුරුවල වැඩට ගියා. පොහොර කම්මලේ වැඩට ගියා. දොදොල් හැඳිගාන්න ගියා. ඒ හැම එකක්ම හරි අමාරුයි. ඒත් දවසට හම්බවෙන සත පනහේ කුලියට මම ඒ වැඩවලට ගියා.

ගමේ කුලී වැඩ කරපු කලං, මහියංගණයට ගියේ කොහොමද..?

දවසක් පාරේ අනතුරක් වෙච්ච මහත්තයෙක්ව මම ඉක්මනට ඉස්පිරිතාලෙට අරගෙන ගියා. මම ඒ මහත්තයට උදව් පදව් කළා. ඒ මහත්තයා කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන මහත්තයෙක්. කම්කරු දෙපාර්තමේන්තුවේනම් මට රස්සාවක් ගන්න පුළුවන් වේවි කියලා මම හිතුවා. කකුල කැඩිලා ඉස්පිරිතාලෙ හිටපු හැම දවසෙම මම ඒ මහත්තයට බනිස් ගෙඩියයි, ප්ලේන්ටියයි අරගෙන බලන්න ගියා. ඉතින්.. මහත්තයාට ටිකක් හොඳවේගෙන එද්දී &මහත්තයෝ.. මට රස්සාවක් දෙන්නකො* කියලා මම ඉල්ලුවා. ඒ වෙද්දී මගේ වයස අවුරුදු දහඅටයි. මම ගැන අනුකම්පා හිතිලා ඒ මහත්තයා මාව මහියංගණයට එක්කගෙන ගියා. ඒ ගිහින් හසලක තිබුණු ගල් වැඩපොළක රස්සාවට දැම්මා. දවසක වැටුප රුපියල් එකයි සත හැත්තෑ පහයි. ඉතින්.. මම ඒ වැඩපොළේ ගල් ඇද්දා. ඉන්න තැනක් නැහැ. බොහොම අමාරුවෙන් ඉස්තෝප්පුවේ නවාතැන් ගත්තා. නයි පොළොංගු එන නිසා බිම නිදාගන්න බැහැ. ඒ නිසා ඉස්සරහ ලෑලිවලින් හදපු අඟල් හයක පමණ බැම්මෙ තමයි මම නිදාගත්තෙ. මුල් දවස් දෙකේ නිදාගන්න අමාරු වුණාට පස්සෙ ඒකට පුරුදු වුණා. මාස නවයක් විතර මම එතැන වැඩ කළා.

20181205Kalan-2එතැනින් අයින් වුණේ ඇයි..?

එක දවසක් මම නොකරපු වරදකට එතැන හිටපු මහත්තයා මට දොස් කියලා පයින් ගහලා මට අම්මාව මතක් කරලා බැන්නා. ඇත්තටම ඒ වෙලාවේ මට කේන්තියටත් වඩා ගොඩක් දුක හිතුණා. ඒ හැමදෙයක්ම මම හිතේ තියාගෙන කරබාගෙන හිටියා. මාසෙ අන්තිමට පඩිය අරගෙන කල්පනා කර කර ඉඳිද්දී අර මහත්තයා වැඩපොළට ආවා. මම ළඟට ගිහින් &මහත්තයා.. මම යනවා මහත්තයා. දවසක් මට ගැහුවා. මගේ අම්මා මතක් කරලා බැන්නා.* කියලා කියද්දීම ඒ මහත්තයා සරමත් කැහැපට ගහගෙන මට ගහන්න ගියා. ඒ වෙලාවේ මම ඒ මහත්තයාට ගැහුවා. ඒකෙන් මහත්තයගේ හක්ක කැඩුණා. මට කරන්න දෙයක් නැහැ. මම කැලේ පාරෙන් පාරට ඇවිත් නුවර ආවා.

ඇත්තටම ඒ මහත්තයාට මොකද වුණේ..?

ඒ කාලේ මහියංගණේ රෝහල තිබුණේ නැහැ. ඒ නිසා ඒ මහත්තයාව මහනුවර ඉස්පිරිතාලෙට ගෙනත් කියලා මට ආරංචි වුණා. පසුවදා මහ පාන්දර මම කාටත් හොරා ඒ මහත්තයගේ ඇඳ ළඟට ගියා. මාව දැකපු ගමන් ඔහු බය වුණා. &හෙට උදේට මම ආයෙත් මහත්තයා බලන්න එනවා. මහත්තයා හිටියොත් මම මරනවා* කියලා කිව්වා. ඒ කිව්වා වගේම පසුවදා උදෙත් මම ගියා. හැබැයි ඒ මහත්තයා හිටියෙ නැහැ. ඉස්පිරිතාලෙන් පැනලා ගිහින්. මම යද්දීත් ඉස්පිරිතාලෙ අය ලෙඩාව හොයනවා.

ඒ රස්සාවටත් ආයුබෝවන් කියපු ඔබ යුද හමුදාවට ඇතුළත් වුණෙත් මේ කාලෙමයි. එහෙම නේද..?

ඔව්.. මම යුද හමුදාවේ අවුරුදු හයක් පමණ සේවය කළා. හමුදාවට ගිහින් මම මනුස්සයෙක් වුණා. හොඳ නරක තේරුම් ගත්තෙ ඒ කාලය ඇතුළතයි. ඒ කාලය ඇතුළත මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. හමුදාවේ එක උසස් නිලධාරී මහත්තයෙක් දවසක් මගේ පොතක හරි අපූරු කියමනක් ලිව්වා. "ඔබට පුළුවන්නම් ගරු කරන්න.. ඔබට පුළුවන් අණ කරන්න* කියලා ලිව්වා. අපි ගරු කරන මහත්තයා වැරුද්දක් කළොත් ඒ වෙනුවෙන් වැරුද්ද පෙන්වලා දෙන්න අපිට හයිය තියෙනවා. ඒක තමයි මම හමුදාවෙන් ඉගෙන ගත්තෙ. ලෝකෙ ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන් හයියක් හමුදාවෙන් මට ලැබුණා. මම යාපනය, කළාලි, අම්පාර වැනි බොහෝ පැතිවල රාජකාරිය කළා. අවුරුදු හයක් හමුදාවේ සේවය කරලා අස්වෙලා මම පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා.

ඒ රෙදිපිළිවලට සම්බන්ධ ව්‍යාපාරයක් නේද..?

ඔව්.. මම ඒ ව්‍යාපාරය පටන් ගත්තෙ පොඩියටයි. පිටරටවලින් ගෙනෙන පරණ කලිසම්, කමිස, කෝට්වලින් තමයි මුලින්ම මම ඒ ව්‍යාපාරය පටන් ගත්තෙ. ලංකාවට මුලින්ම පිටරටින් ඩෙනිම් ගෙනාවෙ මමයි. ඊටපස්සෙ මම සාප්පු තුනක් විවෘත කළා. මගේ ව්‍යාපාරය ගොඩක් දියුණු වුණා. සේවකයො බොහෝ පිරිසක් සේවය කළා.

මොන තරම් දියුණු මිනිසෙක් වුණත් ඔබට කවදාවත් මුල අමතක වුණේ නැහැ..?

ඔව්.. මම ඒ අතීතය අමතක කරන්නෙ කොහොමද..? මගේ මව්පියො නැතිවුණාට පස්සෙ ගමේ මිනිස්සු අපිව බොහොම අසරණ කළා. ගමේ මිනිස්සු අපිට හිඟන්නන්ට වගේ තමයි සැලකුවෙ. හැබැයි මාත් එක්ක ඉස්කෝලෙ ගිය යාළුවෝ මට ගොඩක් උදව් කළා. ඒ අය මට හරි ආදරෙයි. ඒ කවුරුත් අපිව උඩරට පහතරට භේදය සලකා පාච්චල් කළේ නෑ. එදා මට හිනාවුණු මිනිස්සුන්ට පසු කාලෙදී මම උදව් කළා.

සිනමාවට පිවිසුණේ කොහොමද..?

ඒකත් වුණේ හරියට අහම්බෙන් වගේ. ඔය කාලෙදී පතිරාජ මම ගැන කිහිපදෙනෙකුට කියලා තිබුණා. එක දවසක් මම කමිසයකුත් නැතිව ස්ටේෂන් එකේ ඉඳගෙන හිටියා. මගේ රෙදිපිළි බෑග් එකකුත් පැත්තක තිබුණා. මගේ ළඟට මහත්වරු දෙන්නෙක් ඇවිත් &මල්ලි මේ මොනවද..?* කියලා බෑග් එක පෙන්නලා ඇහුවා. &මේ පිටරට කලිසම්* කියලා මම කිව්වා. ඒ වෙලාවේ &මල්ලිට රඟපාන්න බැරිද..* කියලා ආයෙත් මගෙන් අහද්දී &මම දන්නෙ නැහැනෙ* කියලා වැඩිය ගණන් ගන්නෙ නැතුව මාත් උත්තර දුන්නා. ඉතින්.. ඒ මහත්වරු දෙන්නා මගෙන් ගෙදර ලිපිනයත් අරගෙන ගියා. සුමාන තුනකට පස්සෙ ගෙදරට කැඳවීම් ලිපියක් ආවා.

ඒ ගිය ගමනත් හරි අපූරුයි. එහෙම නේද..?

ඔව්.. මම මේ ගැන මගේ යාළුවන්ට කිව්වාම මගේ යාළුවෝ සුදු කලිසමකුයි සුදු කමිසයකුයි හොයන්න පුදුම විදිහට මහන්සි වුණා. මගේ ගාව ඕනතරම් ඇඳුම් විකුණන්න තිබුණාට ඒ අය කිව්වෙ වැදගත් ගමනක් යද්දී සුදු ඇඳගෙන යන්න ඕන කියලා. ඉතින්.. මගේ තිස්ස කියලා යාළුවෙක් හිටියා. මිනිහා මාර උසයි. තිස්ස දීපු කලිසම මාර දිගයි. &කලං.. හැබැයි ඔන්න කපන්නනම් එපා* කියලා කිව්වා. මමත් ඒ කලිසම කපන්නෙ නැතිව කලිසමේ කකුල් නවලා ඇල්පෙනිති ගහගෙන ඉන්ටර්විව් එකට ගියා. ඒකට බොහෝ දෙනෙක් ඇවිත් හිටියා. හැබැයි මාව ඒකට තෝරාගත්තා. ඒ තමයි %හන්තානේ කතාව^ සිනමා නිර්මාණය. එතැනින් පස්සෙ අහස් ගව්ව, නිම්වළල්ල, තරංගා, අපේක්ෂා, බඹරු ඇවිත්, අනුපමා, පොඩි විජේ ඇතුළු බොහෝ නිර්මාණවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.

ඔබේ බිරියව මුණගැහුණේ කොහොමද..?

නුවර මගේ සාප්පුවේ තියලා වේදිකා නාට්‍යවල ටිකට් විකිණුවා. ඒ කාලේ ටිකට් එකක් රුපියලයි. ඒ කාලේ මට සාප්පු දෙකක් තිබුණා. ඉතින්.. දවසක් ගෑනු ළමයි ටිකක් ඇවිත් 'සුභ සහ යස' වේදිකා නාට්‍යයේ ටිකට් ඉල්ලුවා. මම ටිකට් ටික දුන්නා. එතැන ටිකක් මහත ළමයෙක් හිටියා. මම වෙන ගෑනු ළමයෙක්ගෙන් අර ගෑනු ළමයගේ නම ඇහුවා. "ආ.. එයා තමයි අජන්තා" කියලා කිව්වා. එදා එච්චරයි. නාට්‍ය බලන්න ආපු දවසේ නාට්‍යයේ බාගයක් බලලා ආයෙත් මේ ගෑනු ළමයි ටික මගේ සාප්පුවට ආවා. "ඇයි යන්නේ* කියලා මම අහද්දී, "ගෙවල්වලට යද්දී රූ වෙනවා. ඒ නිසා අපි කලින් යනවා" කියලා ගියා. ආයෙත් මාස ගාණකට පස්සෙ ළමයි තුන් හතර දෙනෙක් මගේ සාප්පුවට ඇවිත් ඇඳුම් තෝරන ගමන් එක ගෑනු ළමයෙක් මට සමරු පොතක් දුන්නා, මොනවා හරි ලියලා දෙන්න කියලා. එයා තමයි මගේ බිරිය අජන්තා කලංසූරිය. ඒකෙන් තමයි අපි හිතවත් වුණේ. අදටත් ඒ සමරු පොත අපි ළඟ තියෙනවා.

ඒ සමරු පොතේ ලිව්වේ මොනවද..?

ඔන්න අහගන්න..

ඔයා මට හමුවුණේ එක දවසයි. ඒ කොතැනද කියා ඔයාටත් මතක ඇති. අපි කතා කළේ සීමිත දෙයක්. අපි ඒ තුළින් අසීමිත තෘප්තියක් ලැබුවා කියා මට හිතෙනවා. එදා ඇතිවූ යාළුකම සදාකාලික එකක්.

කලං..

ඒ හමුවීමෙන් පසු ඔබත් අජන්තාත් විවාහ වුණා..?

ඔව්.. අපි විවාහ වුණා. අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. බාල දියණිය ඉන්නෙ විදෙස්ගතවෙලයි.

ඔබ පසුගිය කාලෙදී දැඩි ලෙස අසනීප වුණා..?

ඔව්.. ටික කාලයක් මට කැස්සක් තිබුණා. දරුවන් පෙරුත්ත කළත් මම ප්‍රතිකාර ගන්න වැඩිය යොමු වුණේ නැහැ. දවසක් ලොකු දුව ඇවිත් "තාත්තා අපි බෙහෙත් ගන්න යමු.." කියලා මාව පෞද්ගලික රෝහලකට අරගෙන ගියා. මට මතක එච්චරයි. දවස් විසි නවයක් විතර මම සිහිය නැතිව ඉඳලා තියෙනවා. ඇඟ පුරාම බට දාලා ලංකාවේ තියෙන හැම බෙහෙතක්ම මට දීලා තිබුණා. සමහර වෛද්‍යවරුන්ට පවා මගේ ජීවිතය ගැන විශ්වාසයක් තිබිලා නැහැ. බොහෝ දෙනෙක් මාව බලන්න රෝහලට ඇවිත් තිබුණා. ඒ කිසිම දෙයක් මට මතක නැහැ. අන්තිමට දවස් විසි නවයකට පස්සෙ තමයි මට සාමාන්‍ය සිහියක් ලැබුණේ. දැන් මට ටිකක් සුවයි.

Text - Dishani   /   Pic - Sumudu

20181205Kalan-1