සමාජ සේවයට සම්මානයක් ලැබුණු පොඩි පත්තරකාරී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සල්සපුනා නාට්‍යයේ පොඩි පත්තරකාරී ලෙස ජනප‍්‍රිය වූ මිචෙල් දිල්හාරා මේ වන විට කලා ක්ෂේත‍්‍රයේ කොයි කා අතරත් කතාබහට ලක් වන චරිතයක්. ඇය පසුගියදා විශේෂිත වූ සම්මානයකින් ද පිදුම් ලැබුවා. ඒ .. ''Asia Inspiration Award'' . සම්මානය. ඒ පිළිබඳව සහ ඇගේ කලා ලොවේ තොරතුරු ගැන කතා කරන්නටත් සමගින් ඇය වෙනුවෙන් මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

20181210Michel-1මොකක්ද මේ ලබපු ජයග‍්‍රහණය ?

2018 දකුණු ආසියානු තරුණ සමුළුව මගින් පවත්වන ලද සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ ලංකාවෙ කොළඹ ගලදාරි හෝටල් පරිශ‍්‍රයේ. මේ වෙනුවෙන් දකුණු ආසියානු තරුණ සමුළුවේ රටවල් 80කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් 450කට අධික සංඛ්‍යාවක් සහභාගී වුණා.

SAARC සමුළුවේ අධීක්ෂණයෙන් පැවැත්වුණේ. එහිදී මට සම්මානයක් ලැබුණා. .. ''Asia Inspiration Award''.. මම කරපු සමාජ සේවා අගය කරලා තමයි මේ සම්මානය ලැබුණෙ.

මොනවද මිචෙල් කරලා තියෙන සමාජ සත්කාර ?

මම තවම පුළුවන් විදියට සමාජ සත්කාර කරන්න උත්සාහ කරනවා. දැනට නම් කරලා තියෙන්නේ ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ අවශ්‍යතා ඇති පාසල්වල යහපත වෙනුවෙන් මට කරන්න පුළුවන් විදියට උදව් උපකාර තමයි.

මගේ 21 වෙනි උපන් දිනය මම සැමරුවේ ළමා නිවාසයක ළමයින් පිරිසක් එක්ක.  ඔවුන් පෞද්ගලිකව මගෙත් එක්ක කතා කරද්දි මගේ ඡුායාරූප වගයක් දැකලා, ඒ වගේ මම හොටෙල් එකක කෑම කන ඡුායාරූපයක් දැකලා මගෙත් එක්ක කිව්වා ඔවුන් කවදාවත් ඒ විදියෙ හොටෙල් එකකට ගිහින් කෑම කාලා නෑ, අපිට කවදාවත් මේ වගේ තැනකට යන්න වෙන්නෙ නෑ කියලා. ඇත්තට ඒ මොහොතෙ මට දැනුණෙ මාරම දුකක්. ඒ දවසෙ මට හිතුණා මගේ 21 වෙනි උපන්දිනයට ඒ අයව එක්ක ගෙන ගිහින් කෑම වේලක් ලබා දෙන්න. ඉතින් මම ඒ අයව සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට එක්කන් ගිහින් කෑම අරන් දුන්නා.

ඒ වගේම 22 වන උපන්දිනය සැමරුවෙ මගේම වයස සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා. පින්නකැලේවත්ත ගමේ පවුල් 250කට හාල් කිලෝ 1400 ලබා දුන්නා. ඒ වගේම පින්නකැලේවත්ත පාසලකට උදව් උපකාර කරමින් යනවා. කම්පියුටර් ලැබ් එකක් හදමින් යනවා. ඒවා තමයි දැනට කරන සමාජ සත්කාර.

ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුණෙ?

ඇත්තටම මම මේ ක්ෂේත‍්‍රයට එන්නත් කලින් තමයි මේ වගේ දේවල් පටන් ගත්තේ. මට දෙයක් ලැබෙනවට වඩා මම කැමතියි කාට හරි දෙයක් ලබා දීලා ඒ අය සතුටු වෙද්දී ඒ සතුට විඳගන්න. මම පොඩි කාලේ ඉඳන් මේ වගේ දේවල්වලට ගොඩක් කැමැතියි.

ගොඩක් දෙනා ප‍්‍රසිද්ධිය ලබා ගන්නත් සමාජ සත්කාරවල නියැළෙනවනෙ. මිචෙල්ගේ අදහසත් ප‍්‍රසිද්ධිය ලබා ගැනීමද?

අනේ නෑ. මම මේ ක්ෂේත‍්‍රයට එන්න කලිනුත් මේ වගේ සමාජ සත්කාරවල නියැළිලා හිටියා. අපිට තිබෙන දෙයක් නැති කෙනෙකුට දීලා ඔවුන් ඒවා දැකලා සතුටු වෙද්දි අපිත් මාරම සතුටක් ලබනවනෙ. මම හිතන්නේ මට මේ දේවල් පවුල් පසුබිමෙන් එන දෙයක්. ප‍්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් මේ දේවල් කරන්නේ මොකටද? නමුත් මම විශ්වාස කරනවා මේ දේවල් දැකලා සමාජයට හොඳ පණිවිඩයක් යනවා නම් ඒකත් හොඳයි කියලා. මොකද ඒ මගින් තව කෙනෙක් මේ දේවල් කරන්න පෙළඹීමක් හරි ඇති වෙනවනෙ. ඉතින් මගේ පරමාර්ථය ප‍්‍රසිද්ධිය නෙමෙයි. අපි හොඳ දෙයක් කරනවා නම් මිනිස්සු ඒක භාර ගන්නවා. මම තවම හැම පැත්තෙන්ම සාර්ථක වෙලා නෑ. තවත් දේවල් ඉදිරියට කරන්න උත්සාහ කරනවා.

මේ සම්මානය මිචෙල්ට ලැබෙන්නේ කොහොමද?

රටවල් 80 ගණනක් සම්බන්ධ වුණු මේ සම්මාන උළෙළ පැවැත්වුණේ ලොකු සමීක්ෂණයකින්. ලංකාවෙන් මේ කැටගරි එකට මට විතරයි සම්මානයක් ලැබෙන්නේ. ඉන්දියන් වෙබ් සයිට් එකක මගේ ආර්ටිකල් එකකුත් ගිහින් තිබුණා. ඒවත් මේ වෙනුවෙන් අදාළ කරගෙන තිබුණා.

මෙවැනි සම්මානයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන සතුටුයි. මම මේ දේවල් කළේ සම්මාන බලාපොරොත්තුවෙන් නොවෙයි. නමුත් මම කරපු දේවල් අගය කරලා සම්මානයක් ලබා දීම ගැන සතුටුයි. මේ වගේ සම්මාන උළෙලවල් පවත්වලා තවත් දිරියක් ලබා දුන්නු ජාත්‍යන්තර තරුණ සමුළුවෙ සභාපතිතුමා කේ.කේ. සිං මහතාට විශේෂ ස්තුතිය පුද කරන්න  ඕන.

ජීවිතේ මීට පෙර මෙවැනි ඇගයුම් සම්මාන ලැබිලා තියෙනවද?

නෑ. මේ මගේ පළමු ඇගයුම් සම්මානය.

මේ දේවල් එක්ක සිදුවන කලා කටයුතු කොහොමද?

මේ දිනවල මම දායක වෙන ටෙලි නාට්‍ය තුනක් විකාශනය වෙනවා. පූරි, ක‍්‍රයිම් ස්කෑන් සහ කන්තෝරු මෝරු. ඊට අමතරව තව ටෙලි නාට්‍යය කිහිපයක වැඩ කරගෙන යනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙයි. ඊට අමතරව සිරස නාළිකාවෙ 16 ඡුකමි වැඩසටහනේ නිවේදනයෙනුත් සම්බන්ධ වෙලා ඉන්නවා.

ධනු විජේරත්න

20181210Michel-2 20181210Michel-3