මම හැමදිනකම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන ‘තාල’ සිනමා නිර්මාණය මේ වනවිට තිරගත වෙයි. ඔහු හේමාල් රණසිංහය. මේ කතාබහ ඔහු සමගය.

20190310hemal-1

මේ වනවිට ‘තාල’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ රංගන කටයුතු සාර්ථකයි කියලා හිතනවද?

‘තාල’ වගේම මේ මොහොතේ තිරගත වන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයත්  ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරීයාම ගැන මට තිබෙන්නේ ලොකු සතුටක්. ‘තාල’ චිත්‍රපටය තුළ informal education හා formal education ගැන කතා කරන්නේ. අපි චිත්‍රපටය තුළින් කතා කරන්න උත්සහ කරන්නේ සරල සහ පර්යේෂණාත්මක විදි මගින් දරුවන්ට තමන්ට රිසි සේ අධ්‍යාපනය ලබාදෙන ක්‍රමයක් ගැන. මේ වෙද්දි එයට ලැබෙන ප්‍රතිචාරත්  එක්ක බලද්දි මට හිතෙනවා සාර්ථකයි කියලා.

ලංකාව තුළ පවතින අධ්‍යාපන ක්‍රමවේදය ගැන ඔබ තුළ තිබෙන පෞද්ගලික අදහසත් එවැන්නක්ද?

මම පෞද්ගලිකවත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කියන්න උත්සහ කරන කාරණාවත් එක්ක එකඟ වෙනවා. උදාහරණයක් විදිහට අපි පුංචි කාලෙදි ඉංග්‍රීසි හෝඩිය ගත්තත් ඉගෙන ගන්නේ ‘A’  කිව්වොත් for Apple, B for Bat ආදි ලෙස. මේක තමයි අපිට උගන්වලා තියෙන විදිහ. ඉච්චානුක ක්‍රියාවක් සේ ඉන්පසු අප තුළින් ඉස්මතු වන්නේ එයමයි. කුඩා දරුවෙක් කියන්නේ නිර්මාණශීලී කෙනෙක්. නමුත් මේ පවතින ක්‍රමවේදය තුළ ගුරුවරයාටත්, දරුවාටත් නොදැනීම ඒ නිර්මාණශීලීත්වය කොටු වීමක් සිදුවෙනවා  කියලා මට හිතෙනවා. රුවන් ඉගෙන ගන්නවා වෙනුවට දරුවන්ට උගන්වන රටාවක් අපි දකින්නේ. එහෙම වුණාම නිර්මාණශීලී දරුවා, අත්හදා බැලීම් කරන්න යොමුවෙන දරුවා එක තැනකට රාමුගත වෙනවා. ඒක තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය. ලංකාවේ පමණක් නොවෙයි, දියුණු වෙමින් පවතින තුන්වන ලෝකේ රටවල තවමත් පවතින්නේ යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදයක්.

සිනමා නිර්මාණයකින් මෙවැනි සමාජ කාරණාවක් කතා කිරීම හා ඉන්පසු  ප්‍රේක්ෂකාගාරය තුළ ඇතිවන කතිකාවත ගැන අදහස මොකක්ද?

හැත්තෑව අසුව වැනි දශකය සමග බලන විට මේ වනවිට ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරය ඉතා කුඩායි. මේ තත්ත්වය ඇති වෙන්න කර්මාන්තය තුළ තිබෙන අභ්‍යන්තර කාරණා වගේම, ප්‍රේක්ෂකාගාරයේ යම් යම් ගැටලු හේතුවෙනවා. ලංකාවේ පවතින කුඩා සිනමා ප්‍රේක්ෂකාගාරය එක්ක මේ වෙලාවේ අපි පිළිගත යුතු  මාධ්‍යය මේකයි, කතා කළ යුත්තේ මෙයයි කියලා යම් යම් කාරණා  සමාජගත කරන්න අපහසුයි. අනෙක් අතට චිත්‍රපටයක් තුළින් පණිවුඩයක් දෙන්න ඕනම කියලා මම විශ්වාස කරන්නෙත් නැහැ. සිනමා නිර්මාණයක් හොඳ නරක යැයි වෙන්කිරීමත් සාපේක්ෂ දෙයක්. නමුත් මේ සාපේක්ෂ හොඳ නරක සමග හෝ ප්‍රේක්ෂකයන් ගනුදෙනු කරනවා නම් එය හොඳ තත්ත්වයක් ලෙස මම දකිනවා.

20190310hemal-2

සිනමාව තුළ මේ වනවිට තරුණ නිර්මාණකරුවන්ගේ පිබිබිදීමක් දකිනවා. රංගන ශිල්පියෙක් ලෙස ඔබ ඔවුන් සමග කටයුතු කරනවා. තරුණ නිර්මාණකරුවන් මේ කටයුත්තට යොමුවීම ගැන ඔබේ අදහස මොකක්ද?

මම හැමදිනකම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්. ඒ නිසා අතීතයේ හෝ වර්තමානයේ යම් යම් වැරදි සිදුවෙලා ඇති, සිදුවෙනවා ඇති. නමුත් අපට කළ හැකි දේ උපරිමයෙන් කරන්න යොමුවෙලා ඉන්නවා. නව පිබිදීමක් ඇතිව තිබෙනවා. අලුත් අධ්‍යක්ෂකවරුන් සිනමාවට අවතීරණ වෙනවා. පාලිත පෙරේරා කියන්නෙත් එවැන්නෙක්. නව අධ්‍යක්ෂකවරයෙක් වුණාට ඔහු වසර ගණනක පළපුරුද්ද ඇති දක්ෂ කැමරා ශිල්පියෙක්. එවැන්නෙක් අධ්‍යක්ෂණයට යොමුවීම සිනමාවට ආයෝජනයක්. රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් සිනමාවට ප්‍රවේශ වීම තුළ නව අදහස් හුවමාරු වෙනවා. එය සිදුවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ වර්තමානය ලෙස අපි සලකන අද දවස හෙට වෙද්දි අතීතය බවට පත්වෙනවා. හෙට දවසේ එලෙස ගත කරන අයටත් නවකයන් සමග එක්ව මේ ගනුදෙනුව කරගෙන යන්න වගකීම තිබෙනවා. එහාට මෙහාට ඇඟිලි දික්කර කර ඉඳලා හරියන්නෙ නැහැ. සිනමාව කියන්නේ සාමූහික හැඟීමකින් ඉදිරියට යන්න ඕන දෙයක්. තනිව මේ දේ කරන්න හැකියාවක් නැහැ. සාමූහිකව කටයුතු කිරීමෙන් තමයි මෙලෙස ඇතිවන පිබිදීම්වල මල් ඵල ගැන්වෙන්නේ. එහෙම නැත්නම් හැමදාමත් වගේ අතීතයට පැසසුම් දීලා වර්තමානයට ඇඟිල්ල දික් කරකර තමයි ඉන්න සිද්ද වෙන්නේ.

එකම ක්ෂේත්‍රයක් තුළ පැවැත්ම කියන කාරණය ශිල්පීන්ට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. එවන් වාතාවරණයක ඔබ සිනමා රංගන ශිල්පියෙක් ලෙසම කටයුතු කරනවා?

මේක සිනමාවට පමණක් නොවෙයි, ලංකාවේ පවතින සියලු ක්ෂේත්‍රවලට බලපාන කාරණාවක්. එකම ක්ෂේත්‍රයක් තුළ රදා පවතින්න බැහැ. නමුත් එහෙම බැහැ කියලා අතහැරලා දානවට වඩා මම උත්සහ කරන්නේ ඒ වෙනුවෙන් කැපවෙලා දෙයක් කරන්න. මට හැකි කලක් එලෙස කරගෙන යනවා. එය ලෙහෙසි පහසු නැහැ, ගොඩක් අමාරුයි. අපි සියලු දෙනාට වගකීමක් තිබෙනවා. මම සිනමාව වෙනුවෙන් කැපවෙනවා. ඒ වෙනුවෙන් නැති වුණ දේවල් ගැන මම දුක්වෙන්නෙත් නැහැ. මගේ එකම බලාපොරොත්තුව ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණයක් ලබාදීම. එහිදී ප්‍රේක්ෂකයන් අතර ඇතිවන කතිකාවේ හොඳ නරක බාරගෙන ඉදිරියට යා යුතුයි.

20190310hemal-3

ඒ ගමනේ දී ඔබ ජනප්‍රියම නළුවා බවට පත්වෙනවා. ඒ ජනප්‍රියත්වය පවත්වාගැනීම  වෙනුවෙන් නිර්මාණ භාර ගැනීම හෝ වාරණ මත කටයුතු කිරීම සිදුවෙනවද?

 කිසිම ලෙසකින් මම එහෙම සිදු කරන්නේ නැහැ. ජනප්‍රියත්වය කියන එකට අපි සියලු දෙනාම කැමතියි. ජනයාට ප්‍රිය වෙන්න කවුද අකමැති. එහෙම කියලා ආත්මය විකුණගෙන කන්නේ නැහැ. ඒ නිසා නිර්මාණයක් කරන විට ඒ නිර්මාණය තුළ මට කොතරම් දෙයක් කළ හැකිද? ඒ කර තිබෙන දේ සාධාරණද නැද්ද යන්න තමන්ගේ හෘද සාක්ෂිය එක්ක තිබෙන ගනුදෙනුවක්. සම්මානයක් කියන්නේ ලොකු ගෞරවයක්. නමුත් නිර්මාණයකට දායක වීමේදි මම  රංගන ශිල්පියෙක් ලෙස  ගනුදෙනු කරන්නේ මගේ  හෘද සාක්ෂිය එක්ක. ජනප්‍රියත්වය ඊළඟ වසරෙත් රැකගෙන සම්මාන ගන්න මම කරන්න ඕන නිර්මාණ තෝරනවාට වඩා, මට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අලුත් නිර්මාණයක් කරන එක. ඒ නිර්මාණය තුළ මට කළ හැකි දේ ගැන හිතලා කටයුතු කිරීම තමයි මම වැඩියෙන්ම හිතන්නේ. කිසි දිනක සම්මාන වෙනුවෙන් මම  රඟපාලා නැහැ.

 

නිදුක් මදුෂික

20190310hemal-4 20190310hemal-5