රට හැදීමට පෙර ස්වයං සංස්කෘතික විනය හදා ගමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රඟහල තුළට ජංගම දුරකතන රැගෙන ඒම තහනම් කරමු

‘මට තාම හතළිහයි’ වේදිකා නාට්‍ය උළෙල පිළිබඳ තබනා සටහනකි

20190903Jude-1

ප්‍රවීණ නාට්‍ය සංවිධායක ජූඩ් ශ්‍රීමාල්ගේ ‘මට තාම හතළිහයි’ වේදිකා නාට්‍ය උළෙල පසුගියදා නිමාව දුටුවේය. කෙසේ වෙතත් එහිදීද ඔප්පු වූයේ රටක් වශයෙන් තවමත් නාට්‍යයක් නැරැඹීම සඳහා සුදුසු ස්වයං හික්මීමක් සහිත ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කර ගැනීමට අප අසමර්ථ වී ඇති බවයි. ඇතැම් විට ඔවුන් එම හික්මීම ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ඊළඟ ජනාධිපතිවරයාගෙන් විය හැකිය. විශේෂයෙන් ජංගම දුරකතන විසන්ධි කර හෝ නිහඬ කර නාට්‍ය නරඹන්න යැයි නිවේදනය කරද්දීම ජංගම දුරකතන විසන්ධි නොකොට නාට්‍ය නැරැඹීම, අනෙකා හිරිහැර වන ලෙස ආලෝකය නිකුත් කිරිම, අන්තර්ජාලයට පිවිසීම, ඡායාරූප ගැනීම, සෙසු ප්‍රේක්ෂකයන්ට අවහිරයක් වන සේ කතාබහ කිරීම බොහෝ පිරිස් සිදුකළහ.

එහෙත් ‘මට තාම හතළිහයි’ යනු ප්‍රේක්ෂකයන්ට කලාතුරකින් නැරැඹීමට ලැබෙන නාට්‍ය උළෙලකි. ඉතා සුවිශේෂී වූ නාට්‍ය උළෙලකි. ඊට ඇතුළත් කරන ලද නාට්‍යවලද පැවැතියේ දුලබ සහ වටිනා ගුණයකි. විවිධ ශානරවල නාට්‍ය රැගත් සමබර නාට්‍ය උළෙලක් ලෙස වේදිකාගත වූ එම නාට්‍යවලින් බොහොමයක් මේ වන විට වැඩි වාර ගණනක් සංවිධානය නොවූ නාට්‍ය වීමද විශේෂත්වයකි. ගජමන් පුවත,කුවේණි,භව කඩතුරාව සුදු සහ කළු යන නාට්‍ය මේ අතරින් කැපී පෙනේ.

එසේම වසර ගණනාවකට පසු ගුණසේන ගලප්පත්තිගේ දියණිය වන විශේෂඥ වෛද්‍ය සාගරිකා ගලප්පත්ති නිෂ්පාදනය කළ නාට්‍යයක් ලෙස ‘මූදු පුත්තු’ සංවිධානය වීම වේදිකා නාට්‍යයක සංවිධාන ශක්තිය කියා පාමිනි. ආචාර්ය ධර්මසේන පතිරාජ රචනය කරන ලද ‘වංකගිරිය’ වේදිකා නාට්‍යයද එම නාට්‍ය උළෙලේදී වේදිකාගත වූ තවත් නාට්‍යයකි. කෙටි නාට්‍යයක් ලෙස වේදිකාගත වුවද, එහි පළමු දර්ශන වාරය ප්‍රේක්ෂකයාට සමීප කළේ ‘මට තාම හතළිහයි’ නාට්‍ය උළෙල විසිනි. එසේම බෙංගාලි ලේඛක රබීන්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ට කෙටි කතාවක් ඇසුරින් පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ ‘‘ගිරා පන්තිය’ වේදිකා නාට්‍යයද පළමු වරට වේදිකාගත වූයේ මෙම නාට්‍ය උළෙලේදීය.

එබැවින් සමස්තයක් ලෙස ගත කල්හි ‘ජූඩ් ශ්‍රීමාල් සංවිධානය කළ ‘මට තාම හතළිහයි’ වේදිකා නාට්‍ය උළෙලට ප්‍රධාන වශයෙන් ධාරා කිහිපයක් යටතේ නාට්‍ය කෘති තෝරාගෙන ඇතැයි අපට සිතේ. ඒ නාට්‍ය උළෙලේ පළමු අර්ධයේදී වේදිකාගත වූ ගජමන් පුවත,කුවේණි සහ මූදු පුත්තු යන පළමු නාට්‍ය ත්‍රිත්වයම ස්ත්‍රිය පාදක කර ගත් නාට්‍ය වීම හේතුවෙනි.

20190903Jude-5දයානන්ද ගුණවර්ධන නිර්මාණය කළ වාර්තා රංගයක් වන ‘ගජමන් පුවත’ ඒ අතරින් සුවිශේෂී නිර්මාණයකි. ගුණවර්ධනයන්ගේ විශ්වාසයට අනුව වාර්තා රංගයක් යනු පුවතක් එය සිදු වූ අයුරින්ම කීමක්ද නොව, එම පුවතේ තොරතුරු අදට වැදගත් විය යුතු බවයි. එම ගුණය එහි වත්මන් රංගය හරහා අදටත් තීව්‍ර කරන්නේ වත්මන් දේශපාලනික,ආර්ථිකමය සහ සංස්කෘතිකමය ඛේදවාචකය කියා පාමිනි. විශේෂයෙන් තංගල්ලේ පිහිටි පත්තායමේ ලේකම්ගේ නිවසට ගජමන් නෝනා ලේකම් මාමා හමුවීමේ මොහොතේදී ලාංකේය කවියේ අනාගතය පිළිබඳ කළ උපහාසාත්මක අනාවැකිය, නාට්‍ය තුළදීම ධනවාදයේ ගොදුරක් ලෙස රංචාගොඩ ළමයා හරහා මනාව ප්‍රත්‍යක්ෂ කිරීමට ගුණවර්ධනයන් සමත්ව තිබේ.

එසේම මෙම නාට්‍ය උළෙලේදී වේදිකාගත වූ හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ පිළිබඳවද සටහනක් නොතියාම බැරිය. දශක පහකට අධික කාලයක් පුරා වේදිකාගත වන මෙම නාට්‍යය, දැන් වේදිකාගත වන්නේ ප්‍රසන්නජිත් අබේසූරියගේ අධ්‍යක්ෂණයක් ලෙසිනි. විශේෂයෙන් මහාචාර්ය සරත්චන්ද්‍රයන් දියත් කළ නාට්‍ය සම්ප්‍රදායට නතු නොවූ අති විශිෂ්ට ස්වතන්ත්‍රයක් ලෙස හෙන්රි ජයසේනයන්නේ ‘කුවේණි’ හඳුන්වා දිය හැකි ය. යකින්නියක ලෙස සමාජයේ හංවඩු ගැසූ කුවේණියගේ කතා පුවත වර්තමානයට ගලපමින් මෙකී නාට්‍යය තුළ මනා සේ විදහා පෑමත්, අතීත කුවේණිගේ කතාව වර්තමානය හා මනාව සැසඳීමත් එහිදී කැපී පෙනේ. ජයසේනයන් මේ හරහා අභියෝගයට ලක් කරන්නේ ඉතිහාසයයි. ඉතිහාසය හේතුවෙන් කුවේණියට සිදුවූ අසාධාරණයයි. අසාධාරණය වෙනුවෙන් ඔහු සිය හඬ අවදි කරවන්නේ එලෙසිනි. එහි එන දඩයක්කරුද වත්මන් සමාජයට ඉතා ප්‍රබල පණිවිඩයක් සංකේතාත්මකව ලබා දෙයි.

එහෙත් ඉතා සීරුවෙන් වත්මන් සමාජයටද ගැලපෙන ලෙස නිෂ්පාදනය කර ඇති මෙහි පැවැති ප්‍රධානතම දුර්වලතාවය කුවේණි සඳහා ලාබාල තරුණියක් යොදා ගැනීමයි. එම චරිතය සඳහා මැදිවියේ රූපණ ශිල්පිනියකු තෝරා ගත්තා නම් නව නිෂ්පාදනය මීට වඩා සන්නිවේදනය වීමට ඉඩකඩ තිබිණ.

දශක ගණනාවකට පසු වේදිකාගත වන ‘මූදු පුත්තු’ නාට්‍යය පිළිබඳවද මෙහිදී සටහනක් නොතබාම බැරිය. ඒ එම නිෂ්පාදනයේදී මීට වඩා වෘත්තිමය සාධාරණයක් ප්‍රේක්ෂකයාට ඉටු කිරීමට තිබුණු බැවිනි. තදාත්මය නිසා යාදිනිය ඇතුළත් දර්ශනයේදී උඩුමහලේ හුන් එක්තරා යොවුන් ප්‍රේක්ෂිකාවක් අසනීප තත්ත්යකට පත්වුවද සමස්තයක් ලෙස ගත් කල්හි මෙම නාට්‍යයේ නිෂ්පාදනය, ප්‍රවීණ නළු නිළියන් යොදා ඉටු කළා නම් මීට වඩා සාර්ථක වීමට ඉඩ තිබිණ.

කෙසේ වෙතත් මෙහිදී වේදිකාගත වූ ‘වංකගිරිය’ සහ ‘ගිරා පන්තිය’ යන නව කෙටි නාට්‍ය ද්ව්ත්වයම ඉතා සාර්ථක වේදිකා නාට්‍ය නිෂ්පාදන බව කිව යුතුය. ඒ අතරින් ආචාර්ය ධර්මසේන පතිරාජ රචනා කරන ලද ‘වංකගිරිය’ සුවිශේෂී පිටපතකි. 1960 දශකයේදී ‘‘කොරා සහ අන්ධයා’ සමග පතිරාජයන් විසින් රචනා කළ අනෙක් නාට්‍යය වන ‘‘වංකගිරිය’, එතුමා අතින් නිෂ්පාදනය නොවූවකි. මිනිත්තු 34ක නිෂ්පාදනයකි. ‘මට තාම හතළිහයි’ වේදිකා නාට්‍ය උළෙලේදී පරාක්‍රම නිරිඇල්ලගේ අධ්‍යක්ෂණයක් ලෙස එය පළමු වරට නිෂ්පාදනය වන්නේ මේ අනුවයි. එහි මංගල දර්ශනය සිදුවන්නේද පතිරාජයන්ගේ වියෝවෙන් පසුව වීම විශේෂත්වයකි.

20190903Jude-2

පරාක්‍රම නිරිඇල්ලගේම කෙටි නාට්‍යයක් වූ ‘ගිරා පන්තිය’ ද පළමු වරට වේදිකාවට පැමිණියේ ‘මට තාම හතළිහයි’ නාට්‍ය උළෙල ඔස්සේය. ලෝක පූජිත සාහිතධරයෙකු වන රබින්ද්‍රනාත් තාගෝර්ගේ ‘The Parrot’s Tale’ නම් උපමා කතාව අනුසාරයෙන් නිෂ්පාදනය කරන ලද එම නාට්‍යය, ඉතාලියේ කොමීඩියා ඩෙල්ආටේ සම්ප්‍රදාය අනුගමන කරමිනි. ඒ අනුව වෙස් මුහුණු, ඇඳුම් නිර්මාණ කර වෙනමම ශෛලියක ප්‍රහසනයක් ලෙස නිර්මාණය කෙරුණු ‘ගිරා පන්තිය’ ශ්‍රී ලංකා නිෂ්පාදනයක් ලෙසද තාගෝර්ගේ දර්ශනය මනාව කාලීන කර තිබේ. සර්වකාලීන ගුණයද සුරක්ෂිත කර ගෙන තිබේ.

එසේම ‘මට තාම හතළිහයි’ නාට්‍ය උළෙලේදී වේදිකාගත වූ ‘සුදු සහ කළු’ වේදිකා නාට්‍යය පිළිබඳවද මෙහිදී සඳහන් කළ යුතුමය. ඒ ‘එකල පැවැති වාරණ ගැටලු නිසා මෙහි පූර්ව පිටපත් රචනයේදී සයිමන් නවගත්තේමයන්ට ‘සුදු සහ කළු' නාට්‍යයේ පසුතලය අප්‍රිකානු රටකට ගෙන ඒමට සිදුවුණු බැවිනි. එවැනි ඛේදනීය පසුබිමක් මත මෙම නාට්‍යය එකල පළමු වරට වේදිකාගත වන්නේ 1978 වසරේදී නැම්බියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමිනි. එහෙත් ස්වතන්ත්‍ර පිටපතක් ලෙස රචනා වීමද, මෙහි කතා තේමාව ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය නොමැති රටකට අත්වන ඛේදවාචකය අපූරුවට සංකේතවත් කිරීමද සුවිශේෂී විශේෂත්වයකි. නව නිෂ්පාදනයේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ද නැමිබියාවේ කළු ජාතික ගරිල්ලන්ගේ විමුක්ති සටන ඉතා අපූරුවට තීව්‍ර කරන්නේ සමකාලීන අත්දැකීම් අප හිත් තුළ හිරිවට්ටමිනි.

මෙම නාට්‍ය උළෙලේදී ආර්.ආර්.සමරකෝන්ගේ ‘කැලණි පාලම’ සහ මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන්ගේ ‘භව කඩතුරාව’ යන නාට්‍ය කෘතිද වේදිකාගත වූ නමුත් සමස්තයක් ලෙස ගත් කල නැවතත් ඇසිය යුතු වන්නේ ඉදිරියේදී පැවැත්වෙන නාට්‍යයකදී සිට හෝ නාට්‍යයක් නැරැඹීමේදී පැවැතිය යුතු විනය සකස් කර ගන්නේ කවදාද යන්නයි. එනිසාවෙන් තාවකාලික පියවරක් ලෙස හෝ රඟහල තුළට ජංගම දුරකතන ගෙන ඒම තහනම් කළ යුතු බව අපේ යෝජනාවයි. නාට්‍ය සංවිධායකයන් සහ රඟහල් බලධාරීන් මේ සඳහා නොපැකිළව කටයුතු කරනු ඇත යන්න අපගේ බලපොරොත්තුවයි.

 

මාලන් විදානපතිරණ

20190903Jude-3 20190903Jude-4