ඉස්කෝල කාලෙ පන්තියේ හිටපු නිහඬම කෙල්ල මම තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

20190910EKaleman-3

 

‘සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ

නෙළාගන්න හිතයි දෝතට

මල් කොහොම වඩින්නේ

කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ

නෙළාගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ’

විශාරද නිර්මලා රණතුංග ඇයගේ සෙව්වන්දි දියණිය සමග ගායනා කරන මේ අරුත්බර ගීතයේ මිහිර ඔබ විඳ ඇතුවාට සැකයක් නැහැ. මෙවන් ගීත රැසක් ගායනා කර ජාතියට දායාදකර තිබෙන නිර්මලා රණතුංග නම් ප්‍රවීණ ගායිකාවයි මෙවර ‘ඒ කාලේ මං’ විශේෂාංගයෙන් ඔබව හමුවන්නේ. දැන් අපි ඇගෙන් විමසා දැනගනිමු ඇගේ ඒ කාලේ තොරතුරු වලින් ටිකක්.

 

මුලටම ඔබේ සම්පූර්ණ නම සහ ඔබ උපන් ගම් ප්‍ර‘දේශය හඳුන්වා දෙන්න?

උපන් ගම නුගේගොඩ. සම්පූර්ණ නම නිර්මලා ප්‍රියදර්ශනී පීරිස්.

මහ කුරුළු යුවළත් හඳුන්වන්න?

තාත්තගේ නම හැරිසන් පීරිස්, ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියෙක් සහ කවියෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. එකල තාත්තා සේවය කළේ ‘කැනලික් මැසෙන්ජ්’ ප්‍රවෘත්ති පත්‍ර‘යේ. අම්මා රෙජිනා පීරිස්. ඇයට ඉංග්‍රීසි කවි ලිවීමේ හැකියාව තිබුණා. ඒවා ඉංග්‍රීසි පුවත්වල පළවී තිබුණා.

සහෝදර සහෝදරියන්?

පවුලේ වැඩිමලා මල්කාන්ති අක්කා. ඊළඟට කුමාර් අයියා. ඊළඟට මම. මට බාල නිරංජලා, සකුන්තලා සහ මනෝජ් මල්ලී.

නිර්මලාගේ පුංචි කාලේ කොහොමද?

මං තමයි නිතරම තාත්තගේ අතේ එල්ලිලා හිටියේ. පොත් කියවන්නත් ආසයි. ඒ නිසා මං පුංචි කාලේ ඉඳලම පුංචි පුස්තකාලයක් තියාගත්තා. ඒ පොත්පත් තවමත් මගේ ළඟ තියෙනවා. ඒ වගේම අම්මා ලියා පුවත්පත්වල පළවූ ඉංග්‍රීසි කවි එකතු කිරීමේ පුරුද්දක් මට තිබුණා.

කොහොමද ගී ගැයීමේ හැකියාව?

අපි ඔක්කෝටම පල්ලියේ ගීතිකා ගායනය කිරීමේ හැකියාව තිබුණා. ඒ ඇරුණම අදටත් ජනප්‍රියත්වයක් උසුලන එල්විස් ප්‍රෙස්ලි, බොනියම්, ක්ලිෆ් රිචඩ් ආදී ගායකයන්ගේ ගීත තමයි අපි ඔක්කෝමලා ගෙදරදී ගායනා කළේ.

ඒ ඇරුණාම දඟකාරකම්?

අනේ නැහැ. හරි ලැජ්ජා බයයි. ඉස්කෝලේ පන්තියේ හිටපු නිහඬ කෙල්ල තමයි මං.

20190910EKaleman-1මොන පාසලේද?

කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ.

කොහොමද පන්තියේ හිටපු නිහඬ නිර්මලාගේ ඉගෙනීම් කටයුතු?

හොඳයි. මං නිහඬව හිටියට මට සිංදු කියන්න පුළුවන් නිසා පාසලේ ප්‍රසංගවලට මාව බලෙන්ම සම්බන්ධකර ගත්තා. පාසලේ උත්සවයක තිබුණා ගායනා තරගයක්. ඒ තරගයට මමත් ඉදිරිපත් වුණා. මං ගායනා කළේ සී.ටී. ප්‍රනාන්දු මහත්මයාගේ ‘අඹරුක් සෙවනැල්ලේ’ ගීතය. ඒ තරගයෙන් මට ප්‍රථම ස්ථානය හිමිවුණා. එදා මට ත්‍යාග පිරිනැමුවේ ඒ කාලේ අතිශය ජනප්‍රිය නළුනිළි යුවළක් වූ ස්ටැන්ලි පෙරේරා සහ ශර්ලි ගුණවර්ධන යුවළ. ඒ කියන්නේ සබීතා පෙරේරා නිළියගේ අම්මයි තාත්තයි.

ගායනය විතරද? රඟපෑමට සම්බන්ධ වුණේ නැද්ද?

නන්දා මාලනී සහ ගෝකුල මහත්තයා එක්ව නිෂ්පාදනය කළ ‘රුවැති ළඳක්’ ළමා ගීත නාටකයේ මං රඟපෑවා. මේ නාට්‍යය ඒ දවස්වල ලංකාව පුරාම වේදිකාගත කළා.

ඒ ගීත නාටකයෙන් පස්සේ රඟපෑමට හිත ගියාද?

ඇත්තටම එහෙම හිතුණා. ඒ දවස්වල අපේ මල්කාන්ති අක්කා ‘ගොළු හදවත’ චිත්‍රපටයේ පාසල් සිසුවියකගේ චරිතයක් රඟපාමින් සිටියා. මමත් එයාගේ තනියට ගිහින් තමයි ඔය ආසාව ඇතිවුණේ. ඊට ටික කාලයකට පස්සේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ‘ගැහැණු ළමයි’ චිත්‍රපටයේ වඩපටන් ගන්නකොට මටත් ඒ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් අරන් දෙන්න කියලා මං තාත්තාට කිව්වා.

අපේ තාත්තයි, ලෙස්ටර් මහත්මයයි ගජ යාළුවෝ. මේ මිත්‍රකම කොච්චරක්ද කිව්වොත් අපේ අම්මයි, තාත්තයි විවාහ වූ දවසේ ජෝඩුව ගිහින් තියෙන්නේ ලෙස්ටර් මහත්මයාගේ කාර් එකේ. කාර් එක පදවලා තියෙන්නේ එතුමා. මගේ ඉල්ලීම ගැන කතා කරන්න ගියාම පුංචි වැඩියි කියලා ලෙස්ටර් මහත්මයා මාව ගත්තෙ නැහැ.

ඉතින් දුක් වුණාද?

එහෙම  දුකක් ඇතිවුණේ නැහැ. තව ටික කාලයක් ගතවෙන කොට මට තවත් ආසාවක් ඇතිවුණා.

ඒ මොකක්ද?

කන්‍යා සොහොයුරියක් වෙන්න.

ඒ මොකෝ?

ඒ සඳහා මං ළඟ සුදුසුකම් තිබුණ නිසා. පාසලේ ඉන්ටර්වල් එකේදී කන්න නැති ළමයෙකුට මගේ කෑම එක පරිත්‍යාග කරලා මං බඩගින්නේ හිටියා. ඒ දිහා බලලා මං ගොඩක් සතුටු වුණා.

ඒ සිහිනයට මොකද වුණේ?

මං අම්මට කිව්වම අම්මා සද්ද නැතුව ඉඳලා මාව ඇතුල් කළා පියානෝ වාදනය ඉගෙන ගන්න පන්තියකට.

ඊට පස්සේ?

ඒ සිහිනය බොඳවෙලා ගියා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඒ දවස්වල මං ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට සහභාගී වෙමින් හිටියේ. මල්කාන්ති අක්කත් සහභාගී වුණා ළමා මණ්ඩපයේ ගීත සඳහා.

සංගීතය සැපයූ වාදක මණ්ඩලයේ සිටි තාල තරංග වාදකයා කවුද?

විජේසිංහ රණතුංග මහත්මයා.

එයාගේ ගති ලක්ෂණ ඔබ දුටුවේ කොහොමද?

එයා හරිම චාම්. මමත් චාම් කෙනෙක් නිසා ඒ ගතිගුණ මං ප්‍රිය කළා. ඒ වගේම එයා වැඩි කතාබහක් නැහැ. හරිම ආඩම්බරකමට හිටියේ.

ඉතින්?

ඒ වුණාට එයා මාත් එක්ක නම් හොඳට කතා කරන්න පටන් ගත්තා.

කතාව ගෙදරටත් ආරංචි වෙන්න ඇති?

ඔව්. අක්කා ගෙදර ඇවිත් කිව්වා. අම්මේ.. අර තබ්ලා ගහන විජේරත්න රණතුංග මහත්මයාත් එක්ක නංගිගේ කතාව වැඩියි කියලා. ඊළඟ දවසේ ගීත රචක පුණ්‍යසිරි මහත්මයා සහ ඩන්ස්ටන් කියන එයාගේ යාළුවො දෙන්නා අතේ අහලා එවලා තිබුණා කැමතිද කියලා.

මොකද කිව්වේ?

අකමැති වෙන්න හේතුවක් නැහැනේ. මං කැමතියි කිව්වා.

ගෙදරින්?

අවසරය ලැබුණා. ආශිර්වාදයත් ලැබුණා.

20190910EKaleman-2

ඊට පස්සේ?

අපි විවාහ වුණා. විවාහ වුණාට පසුව මගේ ගායන දිවිය සාර්ථක කරගන්න විජේ මට විශාල සහයක් දුන්නා. සංගීතය වැඩිදුර ඉගෙනගන්න බී.වික්ටර් පෙරේරා ගුරුතුමා ළඟට මාව යැව්වා. එතුමාගෙන් සංගීත විෂය ඉගෙන ගෙන මං විශාරද විභාගයත් සමත් වුණාම එතුමා මට කියා සිටියා සංගීත ගුරුවරියක් වෙන්න තරම් මාව දැන් සුදුසුයි කියලා.

ඒ වගේම අපේ මල්කාන්ති අක්කා සමග විවාහ වී සිටින මහාචාර්ය සනත් නන්දසිරි හා ආචාර්ය වික්ටර් රත්නායක අයියලා මට විශාල සහායක් ලබාදුන් බවත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

ඔබ ගැයූ ගීත කිහිපයක් සඳහන් කළොත්?

‘මහ මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි’, ‘ගලන ගලන දොර පාරේ’, ‘සඳුද වසා හිරුද වසා’, ‘මධු බඳුන් දෙතොලේ විෂ බඳුන් කළේ මිනිසුනේ ඔබයි..’ ආදී ගීත රැසක්.

ගීත ගායන දිවියේ සිදුවූ හොඳම සිද්ධිය සඳහන් කළොත්?

‘විෂ බඳුන් දෙතොලේ’ ගීතය ජනප්‍රිය වුණාම මෙහි රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා මට කිව්වා නිර්මලා දැන් ඔබ අහවල් ගායකයා සමග ගීතයක් ගායනා කරලා හොඳ ස්ථාවරයක් ගොඩනගා ගන්න කියලා. ඊට පස්සේ මං ඒ ගායකයාගෙන් ඉල්ලා සිටියා මට සහයවෙන්න කියලා. එයා ගත්කටටම කියා සිටියා පස්සෙ බලමු කියලා. එදා මට හරියට දුක හිතුණා. එදා විජේ කිව්වා නිර්මලා ඔයා මැරෙනතුරු ඒ ගායකයත් සමග එක සිංදුවක්වත් කියන්න එපා කියලා. එදා මට අත නොදුන් ඒ ගායකයාත් සමග මං සිංදුවක්වත් කිව්වෙ නැහැ. පසුකලෙක ඒ ගායකයා මට ආරාධනා කළා. ඒත් එම ආරාධනාව මං ප්‍රතික්ෂේප කළා. නමුත් මම නම් ඕනෑම ආධුනික ගායකයෙකුට අතදෙන්න සූදානම්.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති විජේරත්න රණතුංග සංගීතවේදියා අද අප අතර නැහැ.

විජේ මිය යන්න දවස් දෙකකට පෙර මට මහා පුදුම කතාවක් කිව්වා.

මොකක්ද ඒ?

හීනයක් දැක්කලු. එයා අහසේ පාවෙලා පාවෙලා ගිහින් දිව්‍ය ලෝකයක් වගේ තැනකට යනවා. ඉතින් එයා මට කිව්වා එයා මැරුණොත් දුක්වෙන්න එපා, මරණයෙන් පස්සෙ එයා හොඳ තැනකට යන බව විශ්වාසයි කියලා.

දූ දරුවන්?

සෙව්වන්දි රණතුංග දැන් විවාහකයි. එයාගේ ස්වාමිපුරුෂයා සිරස මාධ්‍ය ජාලයේ නිහාල් වික්‍රම එදිරිසූරිය. පුතා නුවන් චාමර විවාහකයි. පුතා කොම්පියුටර් ඩිසයිනර් කෙනෙක්.

 

 

සටහන හා ඡායාරූප - අමරදාස සිල්වා