අමරසිරි පීරිස්ගේ හඬින් කැටවල බුද්ධසිරි හිමියන්ගේ ගීපද වැලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191107Peries-1

දරු දැරියන්ගේ කෑකෝ ගැසීම්වල අවසානයක් නොමැත. විවේක කාලය අවසන් වුවත් ළමයි සියල්ලන්ම පංති කාමරවලට ගියත් විදුහල මුළුමනින්ම ශබ්දවලින් තොරවන්නේ නැත.

එසේ වුවත් ගුරු විවේකාගාරයේ පැවැතියේ හුදෙකලා බවකි. එම කාල පරිච්ෙඡ්දය නිදහස් එකක් වූයෙන් බුද්ධසිරි හාමුුදුරුවෝ විවේකාගාරයේ තනිවූහ.

යාබද මේසය මත වූ පොත හාමුදුරුවන්ගේ ඇස  ගැටුණේ ඒ මොහොතේය. පොතක් පතක් දුටුවොත් එය ගෙන කියවීම පුංචි දවස්වල සිටම හාමුදුරුවන්ගේ  පුරුද්ද විය. ඉතින් බුද්ධසිරි හාමුදුරුවෝ යාබද මේසය මත තිබූ පොත අතට ගත්තේය.

‘ගුරු ගීතය!’

‘මම ගුරු ගීතය කියෙව්වේ සාමාන්‍ය පෙළ කරද්දී’

තමන්ටම කියාගත් හාමුදුරුවෝ ගුරු ගීතය  පොතේ පිටු පෙරලන්නට වූහ.

චිංගීස් අයිත්මාතෙව් ලියූ ගුරු ගීතය වූ කලී දුයිෂෙන් සහ අල්තීනායි ගේ ආදරයේ කතා පුවතයි. සෝවියට් දේශය තුළ එවකට ව්‍යාප්ත වූ ගොවි ගම්මානයක් පසුබිම් කරගත් මේ අපූරු කතා පොත දැදිගම වී රුද්‍රිගු විසින් සිංහලට නගනු ලැබ තිබුණේ මනරම් බස් වහරකිනි.

පොත පෙරලූ හාමුදුරුවන්ගේ ඇස ගියේ මෙන්න මේ ෙඡ්දයටයි.

”මලානික නිල්වන් වසන්තයේ හැන්දෑව කනගාටුදායක බවත් හදවත පාලූ කරන ගතියක් කියා පෑවේ අපේ වෙන්වීම කල් ඇතිව ඇඟවීමට මෙනි”

අල්තීනායිගේ මේ වදන් හාමුදුරුවන්ගේ සිත කම්පනයට පත් කළේය. සියලූ හමුවීම් වෙන්වීමකින් කෙළවර වන බව බුදු දහමේ ඉගැන්වෙයි. සියල්ල දුක් සහගත බව හාමුදුරුවන් නොදැන සිටියා නොවේ. එහෙත් කවියකින්, නවකතාවකින් මේ වෙන්වීමේ ඇති දුක්බර බව කියැවෙන විට හිත කම්පිතවීම මිනිසාගේ සහජ ස්වභාවයයි.

අරමුණක් නැතිව පොතේ පිටු පෙරලන විට හාමුදුරුවන්ගේ ඇස ගැටුණේ පොතේ පළමු පිටුවේ වූ නිල්පාට රවුම් ලස්සන අකුරු පෙළකි.

‘මගේ දුයිෂෙන්ට ආදරයෙනි’

මේ වැකියට යටින් වූයේ කිසියම් අත්සනකි. එහෙත් ඒ අත්සන අල්තීනායිගේ නොවේ. අපේ රටේ සිංහල කෙල්ලකගේය.

මේ නිල්පාට අකුරු වැලේ හිත සැරිසරන විට උන්වහන්සේටත් නොපෙනී ගුරු විවේකාගාරයට ආවේ මිතුරු ගුරුවරයෙකි.

හාමුදුරුවන්ගේ ඇස් දෙක නතරව තිබෙන්නේ පොතේ ලියවුණු නිල්පාට අකුරුවල බව දුටු විට මිතුරු ගුරුවරයාගේ ඇස් දෙක උඩගියේය.

‘හාමුදුරුවො පොත බලනවද?’

ඔහු ඇසුවේ කලබලයෙනි.

‘නෑ. මම මේ මේසේ උඩ තිබුණු නිසා නිකමට අර ගත්තෙ. මම මේ ගුරු ගීතය කියෙව්වෙ  ඕලෙවල් විභාගෙ ඉවරවෙලා ගෙදර ඉන්න දවස්වල. ඒ කාලෙ නම් මේ කතාවෙ වචනයක් වචනයක් ගානෙ මතක තිබුණා’ මිතුරු ගුරුවරයා හිනැහෙන්නට උත්සාහ ගත්තේය.

‘මම ඔය පොතේ කැමතිම තැනක් තිබෙනවා. හුදෙකලා පොප්ලර් ගස් දෙකක් එකිනෙක වැළඳගන්න උත්සාහ කරන තැන’.

හාමුදුරුවෝ කීහ.

‘එහෙමද?’

ගුරුවරයා ඇසුවේය.

‘ඇයි මහත්තයා කියවල නැද්ද ගුරු ගීතය’.

‘නෑ අපේ හාමුදුරුවනේ’.

‘‘කියවන්න ආසා හිතිලද ගත්තෙ. තව ඔය චිංගීස් අයිත්මාතෙව් ලියූ ජමිලා පොතත් ලස්සනයි.  ඕක කියවල ඒ පොතත් අරන්  කියවන්න.’’

හාමුදුරුවන් කී විට ගුරුවරයා සිටියේ ඇඹරෙමිනි....

‘මහත්තයා දන්නවද ඔය පොතේ එන අල්තීනායි එයාගෙ ගුරුවරයා වන දුයිෂෙන්ට ආදරය කරනවා. ඒත් දුයිෂෙන් අල්තීනායිට ආදරය කරන්නේ තමන්ගෙ ශිෂ්‍යාවක විදිහට. ඒත් අල්තීනායිට අවශ්‍ය වුණේ එහෙම ආදරයක් නෙවෙයි. ඒත් දුයිෂෙන් නියම ගුරුවරයෙක් වගේ හැසිරෙනවා’

හාමුදුරුවෝ විස්තර කළහ.

‘එහෙමද අපේ හාමුදුරුවනේ’

‘ඇයි මහත්තයා ගුරු ගීතය ගැන දන්නේ නැද්ද?’

‘නෑ හාමුදුරුවනේ. මේක මේ මට උසස් පෙළ  පංතියෙ ඉන්න ගෑනු ළමයෙක් දුන්නු පොතක්. මට අමතකවීමකින්  මෙතන දාලා ගියේ. මං පංතියෙ උගන්න උගන්න ඉන්දැද්දී මතක්වෙලා අරන් යන්න ආවේ’

හාමුදුරුවන්ට සිනා ගියේය.

‘මට නිකමට වගේ එහෙම දෙයක් හිතුණා. මොකද මුල පිටේ ලියල තිබුණනෙ මගේ දුයිෂෙන්ට කියලා. එතකොට මහත්තයයි දුයිෂෙන්?’

ගුරුවරයා හිනැහුණේ යම්තමටය. ඔහුගේ ඒ හිනාවේ බයාදුකමක් ද විය. ඔහු වහා හාමුදුරුවන් අසල වූ පුටුවෙහි වාඩි වූවේය.

‘අනේ හාමුදුරුවනේ මට මේ මුකුත් තේරෙන්නෙ නෑ’

ඔහු කීවේය.

‘උසස් පෙළ පංතියෙ ඉන්න ළමයෙක් පාඩම අහන් ඉන්නවට වඩා කරන්නේ මගෙ දිහා බලන් ඉන්න එක. ඒ ළමයා බොහොම අහිංසක ලස්සන ළමයෙක්. දැක්ක ගමන් ආදරේ හිතෙනවා. ඒත් ඉතින් මං ගුරුවරයෙක් විදිහට ඒ ළමයට ආදරේ කරන එක වැරදිනෙ. ඉතින් මම මග හැර හැර හිටියෙ. ඒත් අද ඒ ළමයා මේ පොත මට ගෙනත් දුන්නා.

එපා කියන්නට බැරිකමට ගත්තෙ. මේකෙ එයා ලියලා ‘මගේ දුයිෂෙන්ට’ කියලා. ඒ වචන ටිකේ තේරුම මට තේරුණේ දැන් අපේ හාමුදුරුවො කිව්වට පස්සෙ’

හාමුදුරුවෝ යළි හිනා වුණහ.

‘ඔය වයසෙදි  ඕවගේ දේවල් සාමාන්‍ය දේවල්නෙ මහත්තයො’

හාමුදුරුවො කටහඬ අවදි කළහ.

‘මම මොකක්ද කරන්නෙ කියලා හිත හිත ඉන්දැද්දී තමයි මට මාරුවීම ආවේ. ඒ නිසා මං අද විතරයි මේ ඉස්කෝලෙ ඉන්නෙ. අර ළමයා මේක දැනගෙන තමා මට මේ පොත තෑග්ගක් විදිහට දෙන්න ඇත්තෙ’

හාමුදුරුවෝ ගුරුවරයාගේ අතින් ගුරු ගීතය පොත යළිත් අර ගත්තේය.

‘මේ බලන්නකො මහත්තයො ඔය පොතේ අන්තිමට තියෙන දේ’

හාමුදුරුවෝ පොතේ අන්තිම පිටුව පෙරලූහ.

‘සීත කාලය පැමිණේවි. තද සීතල කුණාටු හමාවී. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි එහෙත් වසන්තය එනවා සත්තයි’

මේ වාක්‍ය කිහිපය කහපාට පෙල්ට් තීන්තෙන් වර්ණ ගන්වා තිබිණි.

ඒ වැකි දෙක තුන කියපු ගුරුවරයා සුසුමක් හෙලූවේය.

‘ඒ කියන්නේ හාමුදුරුවනේ මේ ළමයා මට ආදරෙයි’

‘ඒ වගේ තමා පේන්නෙ. නමුත් ඉතින් ඒ ළමයා ඉස්කෝලෙන් අස්වෙනතුරු මහත්තයා මුකුත් තීරණයක් ගන්න එපා. ගුරු ගෞරවය රැුක ගැනීම ගුරුවරයකුගෙ ලොකුම වගකීම’

හාමුදුරුවෝ උපදෙස් දුන්හ.

එහෙමයි කී ගුරුවරයා ගුරු ගීතයත් අතේ ගුලි කරගෙන විවේකාගාරයෙන් නික්ම ගියේය.

මුව පුරා සිනහ මල්ගෙන

ඒ මුවින් පද අරුත් අරගෙන

කවිකාර හිතට නුඹ ආවා

ගීතයක් වගේ

ගීතයට තනුව දුන් නුඹ

හීනයක් වගේ

කඩදාසියක් පෑනක් අතට ගත් හාමුදුරුවන්ට ලියැවිණි.

උන්වහන්සේ විනාඩි ගණනාවක් ඇතුළත පදවැල ලියා අවසාන කර ගත්හ. එය තම ගමන් මල්ලේ බහාගත් හාමුදුරුවෝ පදවැල වඩාත් අරුත් සම්පන්න නිර්මාණයක් ලෙස ඔප මට්ටම් කර ගත්තේ පන්සලට වැඩම කළ පසුවය.

‘මට හිතුණා මේ පදවැල හොඳ ගීතයක් කියලා. ඉතින් පහුවෙන්ද මම අඳුනන ගුරුවරයෙක් ළඟට ගිහින් මේ පදවැල දුන්නා. ඒ ගුරු මහත්තයා බදුලූ ධර්ම¥ත විදුහලේ භෞතික විද්‍යාව උගන්වන ගුරුවරයා. නම සරත් පීරිස්.

ඔහුට සංගීතය පිළිබඳ අපූරු දැනුමක් තියෙනවා. ඔහු මේ පදවැල කියවලා ඒක හොඳ ගීතයක් කියලා කිව්වා. පස්සෙ විචිත‍්‍ර තනුවක් නිර්මාණය කළ ඔහු මේ පදමාලාවයි තනුවයි අමරසිරි පීරිස් මහත්තයාට යොමු කළා. ඒ අනුවයි මේ විචිත‍්‍ර ගීතය බිහිවුණේ’.

කැටවල බුද්ධසිරි හිමියෝ පැවැසූහ.

‘අනේ අපරාදෙ කියන්න බැහැ මහත්තයො අමරසිරි මහත්තයා පුදුම ලස්සනකට ගීතය ගායනා කරනවා’.

 

ශාන්ත කුමාර විතාන