හුදෙකලාවෙලා බණ දහමට නැඹුරුවෙන්නයි හිත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191212Sunil-1

හැත්තෑව

දෙසැම්බර් 19

පනහ

සුනිල සිරිත

මේ සියලූ වචන සමග ඊළඟට බැඳෙන නම?

සුනිල් එදිරිසිංහ.....

මේ මොන විකාරයක් දැයි ඔබට සිතෙන්නට ඇත. එහෙත් මෙය විකාරයක් නොවේ. පුංචි ප‍්‍රහේලිකාවක් පමණි.

දැන් මා හදන්නේ ඒ ප‍්‍රහේලිකාව පුරවා ඔබේ කුතුහලය සංසිඳවන්නටය.

විශාරද සුනිල් එදිරිසිංහ යනු වත්මන් ලංකාවේ වෙසෙන අග‍්‍රගණ්‍ය ගායන ශිල්පීන් අතරෙහි කෙනෙකි. මේ දෙසැම්බර් 19 වැනිදාට සිය ජීවන ගමනේ 70 වැනි වසරට පිය ඔසොවන ඔහු වසර පනහක් තිස්සේ ඔබට මට සැනසෙනු පිණිස ගී හත්සියයකට වැඩි ගණනක් ගායනා කර තිබේ. සුනිලූන්ගේ 70 වැනි උපන් දින සැමරුම වෙනුවෙන් ‘සුනිල සිරිත’ සහ ‘දේශයේ අව්‍යාත්මික ස්වරය’ යන පොත් දෙක එළිදකී. ඒ වෙනුවෙන් පැවැත්වෙන උත්සවය මේ 19දා සවස කොළඹ පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ ඉඩහසර සුනිල් එදිරිසිංහයන් වෙනුවෙනි.

ගීත ලෝකෙ වසර පනහක්.

ඇත්තම කිව්වොත් මම කරල තියෙන නිර්මාණ ගැන මම තෘප්තිමත්. වයසට යනකොට අපිව සතුටින් ජීවත් කරවන්නේ අන්න ඒ සතුටයි.

පුංචි දවස් ගැන මතකය?

මගෙ තාත්තයි අම්මයි දෙන්නම සංගීතයට ලැදි අය. අම්මා කතෝලික ආගමේ. ඉතින් එයා පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ගීත ගායනා කරලා තියෙනවා. ඒ නිසා අම්මා නිතරම වගේ මං ලවා කවි ගායනා කෙරෙව්වා. තාත්තා ඒ කවි අහගෙන ඉඳලා මාව අගය කළා. ඔය අතරේ මගෙ අයියලා ධර්මසිරි, නිමල් වගේම සතිස්චන්ද්‍රත්  අක්කලත් මගේ ගායනා ගැන සතුටින් හිටියේ. ඒ හැමෝම මාව අගය කළා. මගෙ මුල්ම පේ‍්‍රක්ෂකාගාරය තමයි මගේ ගෙදර.

   ළමා වියේ පාසල් මතක?

කැලණිය ධර්මාලෝකයේ ඉගෙන ගත්තු අවදියේදී මගේ දෙවැනි පේ‍්‍රක්ෂකාගාරය හමුවුණා. පංති පොතේ කවි උගන්නද්දි ගුරුවරු මට තමයි කියන්නේ තාලෙට ලස්සනට කවි කියන්න කියලා. එතකොට සාහිත්‍ය රැුස්වීම්වලදී සාහිත්‍ය උත්සවවලදී මගේ ගායනයක් අනිවාර්යයි. ඉස්කෝලෙ විවිධ තරගවලදී ගායනයට මාව තමයි තෝරලා යවන්නේ.   ගැටවර මතක?

එතකොට මට වයස අවුරුදු දාසයයි. ඒ කාලෙ තිබුණෙ ගුවන්විදුලිය විතරනෙ. ඒකෙ ප‍්‍රචාරය වුණා මැලිබන් ගුවන් තොටිල්ල කියලා වැඩසටහනක්. මැලිබන් ගුවන් තොටිල්ලට ගිය මම අමරදේව සර්ගෙ තොලින් තොලට කියන ගීතය ගායනා කළේ. ඒ ගීතය පරසතු මල් චිත‍්‍රපටයෙ ඇතුළත් වූවක්. මේ තරගයෙන් තුන්වැනි තැන අරගෙන ආව මගෙ ළඟට සතිස් අයියා ආවා.

‘චූටි මල්ල,ි මම ළඟදී චිත‍්‍රපටයක් හදන්න හිතාගෙන ඉන්නවා. ඒකෙ ගීතයක් ගායනා කරන්න මම ඔයාට අවස්ථාව දෙනවා’ කියලා කිව්වා.

 පළමු චිත‍්‍රපට ගීතය?

එතකොට මට අවුරුදු දහඅටයි. අවුරුද්ද 1970. සතිස් අයියගෙ පළවෙනි සිනමා නිර්මාණය තමයි ‘මාතර ආච්චි’. මේ චිත‍්‍රපටයෙ සංගීතය බාරදීලා තිබුණෙ වික්ටර් රත්නායකට. ගීතය ලියලා තිබුණෙ වොලී නානායක්කාර. බලනකොට මේ ඔක්කොම ක්ෂේත‍්‍රයට අලූත් අය. ඉතින් ‘සඳකඩ පහණක’ කියන මේ ගීතය මා ලවා ගායනා කරනවාට වඩා වෙනත් ප‍්‍රවීණයෙක් ලවා ගායනා කරවීම හොඳයි කියලා හුඟාක් අය කිව්වා.

‘මම මල්ලිට පොරොන්දු වෙලයි ඉන්නේ. එයාට කියන්න බැරිවුණොත් වෙන කෙනෙකුට දෙමු’. සතිස් අයියා කිව්වා.

මම රෙකෝඩින්වලට ගියේ ගීතය හුඟාක් වතාවක් ගායනා කරල පුරුදු වෙලා. ඒත් ස්ටුඩියෝ එකට ගියාම මට බයයි. ගීතය හරියට ගායනා කරන්න බැරිවෙයිද කියන බය පපුවේ තිබුණා.

‘චූටි මල්ලි, ඔයාට කියන්න පුළුවන්’. සතිස් අයියා මගෙ ඔලූව අතගෑවා.

‘සුනිල් මල්ලි ඔයා බොහොම ලස්සනට ගායනා කළා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. හැබැයි සංගීතය හොඳට ඉගෙනගෙන ඉන්න.’ වික්ටර් අයියා මගෙ ළඟට ඇවිත් මට කිව්වා.

‘පී.වී. නන්දසිරි දැන් අපේ ගෙවල් ළඟටම ඇවිත් ඉන්නේ. ඔයා ගිහින් එයාගෙන් සංගීතෙ ඉගෙනගන්න.’ සතිස් අයියත් කිව්වා.

ඉතින් මම පී.වී. නන්දසිරි සර් ළඟට ගියා. පස්සෙ භාත්කණ්ඬේ විශ්වවිද්‍යාලෙටත් ගිහින් සංගීතය පරතෙරට ඉගෙන ගත්තා.

ගුවන් විදුලි ගී

මගෙ පළමුවැනි ගුවන්විදුලි ගීතය ප‍්‍රබුද්ධ ගීතයක්. ඒත් මේ වෙනකොට මම ගුවන්විදුලියෙ සරල ගීත පරීක්ෂණයෙන් සමත් වෙලා නැහැ. ඒ නිසා ප‍්‍රබුද්ධ ගී නිෂ්පාදිකා ජී.ඇස්.බී. රාණි පෙරේරා මහත්මියගේ විශේෂ අවසරයක් යටතේයි මට මගේ පළමුවැනි ගුවන්විදුලි ගීතය ගයන්න ලැබෙන්නේ.

‘වාදකයාණෙනි ඔබේ සිතාරය

කැසට් ලොවට...

කැසට් රෙකෝඩරය ලංකාවට ආවට පස්සෙ මහ කලබැගෑණියක් වුණා. කැසට්පට බිහිවෙන්න පටන් ගත්තෙ උණු කැවුම් වගේ. මේ නිසා අලූත් ගීත බිහිවෙන්න පටන් ගත්තෙ සිය ගණනින්. ඔය අතරේ සිංග්ලංකා කියන ආයතනය බිහිවෙලා තිබුණා. කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ මේ ආයතනයේ ප‍්‍රධාන නිලතලවල හිටියෙ. කුලරත්න ආරියවංශ තමයි මට ආරාධනා කළේ කැසට්පටයක් කරන්න. මගෙ පළවෙනි කැසට් පටය වුණේ ‘චන්ද්‍රමඩල’.

පස්සෙ අවුරුද්දකට එක ගානෙ කැසට් බිහිවුණා. පිනිබර යාමේ, සඳකඩ පහන, අමල් බිසෝ වගේ නම්වලින්.

20191212Sunil-2

පළමු ප‍්‍රසංගය?

මම හා හා පුරා කියලා ප‍්‍රසංග වේදිකාවට නැග්ගේ පත්තලගෙදර ගුරු විදුහලට. එදා තිබුණෙ පණ්ඩිත් අමරදේව සහ ආචාර්ය නන්දා මාලිනී කියන අපේ රටේ අග‍්‍රගණ්‍ය ගායක ගායිකා යුවළගෙ ගී ප‍්‍රසංගයක්. එදා ගීත දෙකක් ගයන්න මට අවස්ථාව සලසලා දුන්නෙ මගෙ හිතවතෙක්. එදා මම ගායනා කළේ ‘වාදකයාණෙනි’ සහ ‘සඳකඩ පහණ’. ඒ වෙද්දි මට තිබුණෙත් ඒ ගීත දෙක විතරයි.

ජනප‍්‍රියත්වයත් එක්ක එළිමහන් ප‍්‍රසංගවලටත් ආරාධනා ආවා. මම මුලින්ම සහභාගි වුණු එළිමහන් ප‍්‍රසංගය, ඇඹිලිපිටියෙ මහවැලි ක‍්‍රීඩාංගණයෙ පැවැති ගී ප‍්‍රසංගයක්. පයිසාල් කියන මගේ මිතුරෙක් තමයි මේ ප‍්‍රසංගයට මාව යොමු කළේ. සියැක් වාදක මණ්ඩලයේ සංගීතයට එදා මම ගායනා කළ ගී අතරෙ ‘පාට දේදුනු සේදිලා’ ගීතයත් ‘චන්ද්‍ර මඩල බැද්ද වටින්’ ගීතයත් තිබුණු වග මතකයි. එදා මට ලැබුණු අත්පොළසන් ප‍්‍රසාදය මේ දැනුත් මට ඇහෙනවා වගේ.

මංගල විදෙස් සංචාරය

ඒ කාලෙ ප‍්‍රියවිජය පොන්සේකාලගෙ සිංහල කලාකවය හරි ශක්තිමත්. ඔය ප‍්‍රියවිජය, අපේ රෝහණගෙ ගජ මිත‍්‍රයෙක්. ඉතින් රෝහණ වීරසිංහ තමයි ඉස්සෙල්ලාම මාව විදෙස් ප‍්‍රසංගයකට එක්කගෙන ගියේ. එංගලන්තය, පැරීසිය, ඉතාලිය, ජර්මනිය කියන රටවල් හතරෙම ප‍්‍රසංග තිබුණා. රෝහණගෙ සංගීතයට ගීත ගායනා කළේ ටී.එම්. ජයරත්නයි, මාලිනී බුලත්සිංහලයි, මමයි. විජේරත්න රණතුංග, තිස්සසිරි පෙරේරා, එච්.එම්. ජයවර්ධන, ලක්ෂ්මන් විජේසේකර වාදක මණ්ඩලය විදිහට ගියා.

සඳකඩ පහණ

මගෙ සංගීත ජීවිතයේ සුවිශේෂම ප‍්‍රසංගය තමයි ‘සඳකඩ පහණ’. මගේ පළමු ගීතය වගේම එදා මෙදාතුර එක වගේම ජනප‍්‍රිය ගීතය වන ‘සඳකඩ පහණ’ නමින්ම නම් කළ මේ ප‍්‍රසංගය පටන්ගත්තේ 1992 දී ලූම්බිණි රඟහලේ. එක ළඟ දින දෙකක්ම මේ මංගල ප‍්‍රසංගය පැවැත්තුවා. එතැන් පටන් අවුරුදු දහයක් එක දිගටම පවත්වපු මේ ප‍්‍රසංගය නතර කළා. ඊට පස්සෙ රසික ඉල්ලීම් අහක දාන්න බැරි තරමට ආයෙමත් පටන් ගත්තා. අදටත් මේ ප‍්‍රසංගය රට පුරා යනවා. ලොව පුරා යනවා.

අඩ සියවසක ගී සඳඑළිය

මගේ සංගීත ජීවිතයට පනස් වසක් පිරීම නිමිත්තෙන් පවත්වපු මේ ප‍්‍රසංගයේ විශේෂත්වය තමා මගේ පුතා සංඛත්, මගේ දුව සංඛනීත් ගීත ගායනා කිරීම. පුතා අද එංගලන්තයේ ජීවත් වෙනවා. දුව මගේ නිවසේ ජීවත් වෙනවා. ඇය පාසල් ගුරුවරියක්. නමුත් මේ දෙදෙනාටම ගායනා හැකියාව තිබෙනවා.

විවාහය

මෙච්චර වෙලා කතා කළේ පනස් අවුරුද්දක සංගීත ජීවිතේ පියසටහන්. ඒත් මගේ ජීවිතේට සෙවනැල්ල වුණු මගේ බිරිඳ ගැන කිසිවක් කිව්වේ නැහැ. ඇය මට මුණගැහුණේ මගේ අක්කා සමග ඇගේ යෙහෙළියකගේ නිවෙසකට ගිය ගමනකදී. දුටු සැණින් හිත බැඳුණු පේ‍්‍රමයක් මේ. අපේ විවාහය සිද්ධ වුණේ 1979 දී.

හැත්තෑවෙන් පස්සෙ?

ජීවිත ගමනේ අවුරුදු හැත්තෑවක් කියන්නෙ දීර්ඝ කාලයක්. ගෙවුණු යුගය ගැන සතුටක් තිබුණත් දැන් මගේ වැඩි ඇල්ම හුදෙකලාවට. හුදෙකලාව ඉඳගෙන දහම් පොතපත කියවන්නයි මට අවශ්‍ය. ඒත් තවමත් ඒකට ඇති ඉඩකඩ අඩුයි. රසිකයො මගෙන් ගීත ඉල්ලනකල් මට ගායනා කරන්න පුළුවන් තාක්කල් ගීත ගයා රසිකයන් පිනවීමටත් මගේ යුතුකමක් තියෙනවා.

 

ශාන්ත කුමාර විතාන

20191212Sunil-320191212Sunil-4