රත්න ශ්‍රී විජේසිංහගේ ගී පද චාමර නානායක්කාරගේ හඬින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නියං ආධාර අරගෙන

කොළොම්තොටින් නුඹ එන විට

චාරු වසන්තියේ

මං හිටියේ දූවිල්ලේ

ලූණුගම්වෙහෙරේ

 

විජ්ජුලතාවක් වාගේ

දුවන පනින කොට කඩිසර

 නිලට නිලේ නිල් ඇස් දෙක

වැස්සක් වාගෙයි සිරිපොඳ

වසන්තියේ නුඹෙ ලස්සන

 

මහ වරුසාවක් වාගේ

තෑගි අරන් නුඹ ආවම

දලූ දමාවි එක රැයකින්

දා ගිය මේ මුළු යායම

කොයින් ද සාගත හාමත

 

” උඹට අපූරුවට සිංදු කියන්න පුළුවන් පුතේ’

චාමර නානායක්කාරට ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහගේ ප‍්‍රසාදය හිමි වූයේ ප‍්‍රාදේශීය සභා අතර පැවැති ගායනා තරගයක දී ජයග‍්‍රහණය ලද මොහොතේය. එම තරගයේ විනිශ්චය මණ්ඩලයේ රත්න ශ්‍රී ද වාඩි වී සිටියේය.

 ඊට මාසයකට දෙකකට පසු දවසක රත්න ශ්‍රී කිසියම් සාහිත්‍ය දෙසුමකට ලූණුගම්වෙහෙරට ගිය දවසක චාමරගේ ගෙදරට ද ගොඩ විය. එදා රාත‍්‍රියේ සතුටු සාමීචියේදී චාමර ගීත කිහිපයක් ද ගායනා කළේය.

”ඔහොම අනුන්ගේ සිංදු කිය කියා ඉඳල හරියන්නේ නෑ. උඹේම කියලා සිංදු ටිකක් කරගනින් පුතේ.”

රත්න ශ්‍රී කීවේය

”සර්ට බැරි ද මට හොඳ සිංදුවක් ලියලා දෙන්න.”

චාමර ඇසුවේය.

 මොකද බැරි මේ දැනුත් මගේ ඔළුවේ සිංදුවක් කැකෑරි කැකෑරී තියෙන්නේ.”

රත්න ශ්‍රී කීවේය.

 මං එනකොට තිස්සමහාරාමෙ දී දැක්කා නියං ආධාර බෙදන්න ආපු කට්ටියක්. ඔතන හිටිය එක ලස්සන ගෑනු දැරිවියක්. එහාට මෙහාට පැන පැන නියං ආධාර බෙදපු හැටි හරි අපූරුයි. ඒත් ඉතින් මේ නියගෙන් බැටකන පිච්චුනු ඉසව්වට නියං ආධාර සොච්චමක් දුන්නට වැඩක් වෙනව ද? ඒ ලමිස්සිගෙ ලස්සනට සාගතේ නතර වෙන්නෙවත් හාමත නැතිවෙන්නෙවත් නෑ නේ ද?”

”ඒක නම් සහතික ඇත්ත සර්.. මේ ඊයේ පෙරේදා අපේ ලූණුගම්වෙහෙරටත් නියං ආධාර පුරවාගත්තු ලොරියක් ආවා. වියළි ආහාර ද්‍රව්‍ය වතුර බෝතල් එහෙම අරගෙන. එක්කෙනෙකුට හම්බ වුණේ වියළි ආහාර මල්ලයි වතුර බෝතලයයි. මෙච්චර නියගෙන් දැවෙන මේ ඉස්වවට ඒ එක මල්ලක් සෑහෙනව ද?”

චාමර ද කතාවට එකතු විය.

20200109Song-1

”සර්ට කියන්න හැම අවුරුද්දකම මාස ගණනාවක් මෙහාට නියගෙ බලපානවා. ඒ කාලෙට රස්නෙ ඉවසන්න බෑ. මිනිස්සුන්ට විතරක් නෙවේ වනේ සතුන්ටත් වතුර නැතුව ඉබාගතේ දුවන්න වෙනවා. යාල කැලේ මාස දෙකක් වහල දාන්නෙත් ඒකනේ සර්. මේ ජලාශේ තිබුණත් ඒකෙත් වතුර මට්ටම පහළට වැටෙනවා. කෙරෙන්න  ඕනෙ ඒ වතුර ප‍්‍රශ්නෙට ස්ථීර විසඳුමක් හොයා ගැනීම මිස නියං කාලෙට නියං ආධාර ගෙනත් දෙන එක නෙවේ.”

ඒ රාත‍්‍රිය පුරාවටම ඇදී ගියේ මේ කතාබහය.

 පාලොස්වක පෝය ළංවෙමින් තිබුණු බැවින් සඳ අහසේ නැගී තිබිණි. වියළි බව නිසාම ඉහින් කණින් දහදිය බේරෙන්නට විය. එබැවින් රත්න ශ්‍රීත් චාමරත් මිදුලට ගොස් පුටු තබාගෙන වාඩි වූහ. සඳ එළිය ලස්සනට පොළවට වැටිණි.

 ”ගෙනෙන් පුතේ කොළේකුයි පෑනකුයි”

රත්න ශ්‍රී එක්වරම හඬ අවදි කළේය.

චාමර වහා පොතකුත් පෑනකුත් ගෙනත් රත්න ශ්‍රී අත තබා ඒ රාත‍්‍රියේ නිහඬ බව විඳින්නට ඉඩ දී නික්ම ගියේය. ඒ නිහැඬියාව තුළ රත්න ශ්‍රී ගේ කවි සිත අවදි විය. ඔහු ලියාගෙන ලියාගෙන ගියේය.

”බලපං කොල්ලො මේක උඹට හොඳද කියලා.”

රත්න ශ්‍රී කීවේ විනාඩි දහයකට පහළොවකට පමණ පසුවය.

චාමර, රත්න ශ්‍රීගේ අකුරු දිගේ නෙත් දිවෙව්වේය.

 නියං ආධාර අරගෙන

 කොළොම්තොටින් නුඹ එන විට

චාරු වසන්තියේ

 මං හිටියේ දූවිල්ලේ

 ලූණුගම්වෙහෙරේ

එය වෙනස්ම පද මාලාවකි.

 මෙතුවක් කලකට කිසිම ගායකයකුට ගයන්නට නොලැබුණු අන්දමේ ගී පද වැලකි.

 ”හරිම ෂෝක් සර්”

චාමර කීවේය.

 ”එහෙනම් ඉතින් සිංදුවක් කරගනින්”

”මෙලඩිය එහෙම කොහොමද සර්. මට මේ කිසි දෙයක් ගැන දැනීමක් නෑ.”

”හිටපන් මං දර්ශනට කතා කරන්න. ඌ උඹට හොඳ මෙලඩියක් දාලා දෙයි.”

 රත්න ශ්‍රී ඒ මොහොතේම දර්ශන වික‍්‍රමතුංගට කතා කළේය. ගී පද වැල ඔහුට කියාගෙන ගියේය.

නියං ආධාර අරගෙන නම් වූ මනරම් ගීතය බිහි වූයේ ඒ අනුවය.

මම මේ ගීතය ගැන වැඩිදුරටත් අහන්නට රත්න ශ්‍රී විජේසිංහට කතා කළෙමි.

 ”මම මේ වචන වලින් කරන්නෙ පොඩි හින්ට් එකක් ගහන එක. නියං ආධාර බෙදුවට වැඩක් නෑ. නියඟයට විසඳුමක් දෙන්න බැරිව කියන එක.’

රත්න ශ්‍රී හිනාවකින් පැවසුවේය.

 එහෙත් චාරු වසන්තියගෙ හිනාවත් බැල්මත් නියඟයෙන් දා ගිය ගොවි ජනතාවගේ නෙත් සිත්වලට මොහොතකට හෝ මිහිරක් වූවාට සැක නැත.

 

ශාන්ත කුමාර විතාන