ක්‍රසන්ඩා තමයි මගේ ජීවිතේ වෙනස් කළේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Art එකේ කැරට්ටුව..

හඬ: චන්දන වික්‍රමසිංහ

හුදෙක්ම අපි ඔහුව දන්නේ වේදිකාව මත රඟන්නෙක් ලෙසම නොවේ. විටක ඔහු නර්තනය පිළිබඳව ගුරුහරුකම් දෙන ගුරු පියෙක්...  තවත් විටක ඔහු නර්තනය, රංගනය සහ ඒ හා සබැඳි සංකල්ප ආත්මීය කරගත් නිර්මාණධරයෙක්...
චන්දන... ඔව් චන්දන කියූ පමණින් ඔහු හඳුනාගන්නට තරම් ඔබ යමක් හෙයින් තවත් ඔහු ගැන නොකිවමනාවැයි සිතේ...

 

චන්දන මේ දවස්වල කාලය ගතකරන විදිය අහලාම වැඩේ පටන් ගමු නේද?

පහුගිය දවස්වල වැඩිපුර කාලය ගතවුණේ ස්ටෝරි ඔෆ් සීතා මුද්‍රණ නාට්‍යයත් එක්ක. මීට අවුරුදු දෙකකට කලින් තමයි ස්ටෝරි ඔෆ් සීතා පටන් ගත්තෙ... අති සාර්ථක විදියට අටසැරයක් විතර ලංකාවේ මේක පෙන්නුවා. ගිය අවුරැද්දෙ සැප්තැම්බර් මාසෙත් ඔක්තෝබර් මාසෙත් මේ නාට්‍ය ලංකාවේ එළියට ගෙනියන්න පුළුවන් වුණා. මට මතක විදියට දශක දෙක තුනක ඉතිහාසය ඇතුළත අපේ මුද්‍රා නාට්‍යයක් පිටරටක පෙන්නලා නෑ. ස්ටෝරි ඔෆ් සීතා මුද්‍රානාට්‍යයෙන් කතාකරන්නෙ රාමායනය නෙමේ... රාමායනයෙන් පස්සෙ සීතා මුහුණදෙන අත්දැකීම්... කෙටියෙන්ම කිව්වොත්.. කාන්තාවන්ට වෙන පරිභවය තමයි මම මුද්‍රානාට්‍යය හරහා කතා කළේ. ඉන්දියාවේදී මේ නාට්‍යය පෙන්වද්දී අපි ගොඩක් කල්පනාකාරී වුණා... මොකද ඉන්දියාව කියන්නෙ රාමා උපන් දේශයනෙ. ලස්සනම වැඩේ තමයි... සැප්තැම්බර් මාසේ ඉන්දියාවේදී මේ මුද්‍රානාට්‍යය පෙන්නුවට පස්සේ ඒ අය පුදුම වුණා... ඒ වැඩේට අමතරව මගේ අනිකුත් නිර්මාණ කටයුතුවල නිරතවෙනවා... මගේ නර්තන පන්ති ගොඩක් තියෙනවා... මගේ යටතේ ළමයි දහස්ගාණක් ඉගෙන ගන්නවා... ඒ අය වෙනුවෙන් මේ අවුරුද්දෙ කොන්සට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා... මේ සියලු වැඩ අතරේ පවුලට මුල්තැන දීලා කාලය ගතවෙනවා.... 
ඒ තමයි චන්දනගේ කාර්යබහුල ජීවිතය...

20200109Chandana-1

චන්දන වික්‍රමසිංහ කියන නිර්මාණ ශිල්පියාගේ නිර්මාණ ගැන අපි දන්නවා... ඒවා ගැන නෙමේ... ඔබේ නොවන ඔබේම නිර්මාණයක් කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණ, ඔබේ ජීවිතයට බලපෑමක් කරපු නිර්මාණයක් ගැන කතාකරමුද... 
අපි හැමෝටම දෙන පොදු ප්‍රශ්නය චන්දනට යොමුකළා... බලමු එයාගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා...?
මෙච්චර වෙලා සැහැල්ලුවෙන් හිටපු චන්දන මොහොතට හැරුණා මගෙ පැත්තට.. 
ලොකු හුස්මක්ම අරගෙන දිග කතාවට මුලපිරුවා... 

මම කැමති නිර්මාණ කීපයක්ම තියෙනවා... ඒ අතරින් මගේ මතකය මීට වසර විස්සකට විසිපහකට එහා අතීතයකට දිවයනවා. ඒ කියන්නෙ 1994, 95, 96 අවුරුදුවල මම ඉන්දියාවේ විශ්වභාරතී විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මුණගැහෙනවා මංජු ශ්‍රී චකී සර්කාර්... ඇය ඉන්දියාවේ හිටපු ප්‍රවීණම නර්තන ශිල්පිනියක්... ඇයව අඳුනාගැනීමේ ප්‍රතිඵලයක් විදියට මමත් ඇයගේ ඩාන්සස් ගිල්ඩ් කණ්ඩායමට එකතුවෙනවා... ඇගේ දුව තමයි රත්නවිභූශන සම්මානලාභී රන්ජාබති සර්කාර්. ඇය සෑහෙන උස නර්තන ශිල්පිනියක්. ඊට කලින්ම කියන්න ඕනෙ මම ඉන්දියාවට යන්න කලින් වජිරා චිත්‍රසේන මහත්මියගේ, ඛේමා මහත්මියගේ නර්තනයන් හොඳට රසවිඳපු කෙනෙක්... ඊට සමගාමීව මම දැක්කා රන්ජාබතී සර්කාර්ගේ සම්ප්‍රදායික ඉන්දියානු නර්තනය බටහිරකරණයට නතුකරන විදිහ...  ඇය බටහිර අංගචලන ඇඟට අරගෙන රඟදක්වපු හැටි... ඉන්දියාවේ හිටියා තවත් ප්‍රවීණ නර්තන ශිල්පියෙක්... එයාගේ නම උදයසංකර්... උදයසංකර් හදපු නර්තන ශෛලීන් තමයි මීට කලින් බහුතරයක්  ඉන්දියාවේ ශිල්පීන් පාවිච්චි කළේ... ඒ ශෛලිය රන්ජාබති වෙනමම පැත්තකට අරගෙන ගියා... ඇය වෙනස් නර්තන චලන ටිකක් නිර්මාණය කරලා ලෝකයටම හඳුන්වා දෙනවා නවනිත්‍ය කියලා... මම මගේ නිර්මාණවලට පාවිච්චි කරන්නෙ ඒ නවනිත්‍ය කියන නිර්මාණ ශෛලිය. ඒ නවනිත්‍ය උපයෝගී කරගෙන රන්ජාබති විශිෂ්ඨ නිර්මාණයක් කරනවා ක්‍රසන්ඩා ගැන... මම කෙටියෙන් කියන්නම් ක්‍රසන්ඩා කියන්නෙ කවුද කියලා... ග්‍රීකයන් සහ ට්‍රෝජන්වරුන් අතර ඇතිවෙච්ච යුද්ධයෙන් ග්‍රීකයන් පරාජය වෙනවා. ග්‍රීකයන්ට බැරිවෙනවා ට්‍රෝයි නගරයට ඇතුළුවීමට. ඔවුන් උපක්‍රමයක් භාවිත කරනවා ට්‍රෝයි නගරයට ඇතුළුවෙන්න... ඔවුන් ලීවලින් අශ්වයෙක් හදලා ඒ අශ්වයා ඇතුළට යුද භටයන් යවනවා... ට්‍රෝජන්වරැන් හිතන්නෙ ඔවුන්ට යුද සමරුවක් ලෙස ලී අශ්වයෙක් තෑගිකරලා කියලා... ඔවුන් ඒක ඇතුළට ගන්නවා.. ඇතුළට ගන්න කලින් ක්‍රසන්ඩා කියන ගැහැනිය කියනවා... මේක උගුලක් මේ අශ්වයාව ඇතුළට ගන්න එපා කියලා... මිනිස්සු කියනවා මේ ගෑනිට පිස්සු කියලා... පස්සෙ ග්‍රීකයන් ඇවිත් ට්‍රෝයි නගරයම විනාශ කරනවා. රන්ජාබතී ක්‍රසන්ඩාව නිරූපණය කරන්න පටන්ගන්නෙ ක්‍රසන්ඩාගේ කුඩා අවදියේ ඉඳලා... රන්ජාබතී කියන්නෙ අවුරුදු තිස් එකක දෙකක ගැහැනියක්... ඇය ක්‍රසන්ඩාගේ කුඩා කාලේ නිරූපණය කරනවා අදහාගන්න බැරි විදියට... පුංචි ක්‍රසන්ඩා විඳින ගැහැට. ඊටපස්සේ ඇය තරුණ වියට එළඹෙනවා... තරුණියකට දැනෙන ආදරය, දුක, වේදනාව... ඉතා සියුම් ලෙස අභින ඇසුරෙන් ඉදිරිපත් කරනවා. කල්කටාවේ රවින්ද්‍ර ශදන් කියන නූර්ති නාටක ශාලාවේ පැය එකයි කාලක් පුරාම ක්‍රසන්ඩාගේ ජීවිත කතාවම නර්තනයෙන් රඟදක්වනවා... නර්තනයට ගැලපෙන සංගීතයක් ඇය නිර්මාණ කරගන්නවා... මේ පැය එකයි කාල පුරා නව රස පාවිච්චි කරලා ඇය තනියම අපූරු බැලේ රංගනයක නිරත වෙනවා... එකවෙලාවක රන්ජාබතී වේදිකාව උඩ රඟ දක්වනවා ඇය පෙම්වතෙක් සමග ආදරය කරන ආකාරය... තව වෙලාවක ලිංගිකත්වය වේදිකාව උඩ පෙන්වනවා... ඇය ලිංගිකත්වය පෙන්වන්නේ සංගීතය සහ අභිනයන් තුළින්... ඒ අභිනයන් හරිම තාත්විකයි... ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ කිසිවෙක් ඇගේ ඇඟ මත ගැවසෙනවා කියලා... මේ ගැහැනිය මානව හැඟම් සියල්ල රස බවට පත් කරලා ඇගේ මුළු ශරීරයෙන්ම ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කරනවා... මේ සියල්ල රඟන්නෙ ඇය තනියම වීම තමයි විශේෂම කාරණය... මට මතක් වෙද්දිත් හිරිගඩු පිපෙනවා... මට හිතාගන්න බැහැ තනි ගැහැනියක් මෙවැනි රංගනයක් කළේ කොහොමද කියලා... ඒ තරම්ම විශිෂ්ඨ නර්තනයක ඇය නියලුනා...  

ඇත්තටම ඒ වෙලාවේ මට මතක් වුණේ රවිබන්දු විද්‍යාපතිව... එයාගෙත් මෙවැනි රංගන සහ නර්ථනයන් මම දැකලා තියෙනවා... ඒ වගේම වජිරා චිත්‍රසේනයන් චරිතවලට ආරෑඨ වෙන හැටි මම දැකලා තියෙනවා... නැටුමට එහා ගිය රඟපෑම් ශෛලියක් ඔවුන් එළියට දානවා... ක්‍රසන්ඩා නැරඹීම මගේ ජීවිතේ අදටත් කම්පනයට පත්කරපු සිද්ධියක්... අවාසනාවකට රන්ජාබතී සර්කාර් ඊට වසර කිහිපයකට පසුව සියදිවි නසා ගන්නවා.. 

20200109Chandana-2

මේ නිර්මාණය නරඹද්දී චන්දන වැඩියෙන්ම සංවේදී වෙච්ච තැන් කිහිපයක්ම මුණගැහෙන්න ඇති. එකක් දෙකක් මතක් කරමුද...?

ඔව් මම කැමතිම තැනක් තියෙනවා.. මේ ක්‍රසන්ඩා කියන ගැහැනියට මිනිස්සු අභූත චෝදනා කරනවා... ගැහැනියක ලෙස අන්ත අසරණ වෙන තැනක් තමයි අභූත චෝදනා කරන එක.. උඹ නරක ගැහැනියක් කියන එක... මේ චෝදනා කරන්නෙ එක මිනිහෙක් දෙන්නෙක් නෙමේ... මිනිස්සු පන්සියයක් විතර... ප්‍රජාව තමන්ට පිස්සුයි කියලා කියන කොට ඇය වේදිකාව උඩ විවිධ හඬවල් ඔස්සේ නර්තනයෙන් දෙන උත්තර හරිම අපූරුයි.. මම ඒ කොටසට පුදුම විදියට කැමතියි... 

නිර්මාණ ශිල්පියෙක් විදියට මේ නිර්මාණය තුළින් ඔබ ඔබේ ජීවිතයට මොන වගේ දෙයක්ද එකතු කර ගත්තේ?

මගේ නිර්මාණ ජීවිතේ ටාගට් හතරක් තියෙනවා... එකක් තමයි මයුර සංදේශය නිර්මාණය  කරන එක... ඒක මම කළා දෙදහස් පහ වර්ෂයේදී.... ස්ටෝරි ඔෆ් සීතා ගිය අවුරුද්දෙ නිර්මාණය කළා... මේ දවස්වල මම සැලසුම් කරනවා පඬුවස්දෙව් රජුගේ කතාව නිර්මාණය කරන්න.... ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයත් එක්ක එකතුවෙලා තමයි මම ඒක කරන්නෙ... කුවේනි ගැන අපි දන්න කතාවට එහා ගිය නිර්මාණයක් තමයි මම ඒකෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ... ඊළඟට මම කරන්නෙ පැබ්ලෝ පිකෝසෝ... ඒ තමයි මගේ ටාගට් හතර..... වෘත්තීය වශයෙන් නිර්මාණ කළාට ජීවිතේ ගොඩක් දේවල් කරන්න මගේ අදහසක් නෑ... මේ තැනට මම එන්නෙ ක්‍රසන්ඩා නිසා... ක්‍රසන්ඩා තමයි මගේ ජීවිතේ වෙනස් කළේ.... 

චන්දන දැනට කී වතාවක් මේ බැලේ නර්තනය බැලුවද?

මගේ ජීවිතයටම එකපාරයි ක්‍රසන්ඩා බලලා තියෙන්නෙ... ඒ එකපාර මගේ මුළු ජීවිතයම වෙනස් කළා..

මේ නිර්මාණය අවසානයේ චන්දනට ඇතිවෙච්ච හැඟීම වචනවලට පෙරළමුද?

ලෝකයේ ගැහැනියක් තමයි මිනිහෙකුට උපත දෙන්නෙ.. බිලිඳියක් තමයි තරුණියක් වෙන්නෙ. තරැණියක් තමයි ගැහැනියක් වෙන්නෙ.. මවක් තමයි තව කෙනෙකුට ජීවය දෙන්නෙ..  කොච්චර ලෝකය දියුණු වුණත් අපේ සමාජයේ තාමත් වෙන්නෙ කාන්තාව පරිභවයට ලක්කරන එක.. ක්‍රසන්ඩාගේ කතාව ඇතුළේ කතා කරන්නෙ ට්‍රෝජන් කාන්තාව ගැන විතරක් නෙමේ.. මුළු මහත් සමස්ථ කාන්තාවම ගැනමයි.. ක්‍රසන්ඩා නියෝජනය කරන්නෙ ගෑනු සංහතියම... ආසියාවේ විතරක් නෙමේ.... යුරෝප සමාජය පවා කාන්තාව පෑගුවා... ඒක තමයි ඇත්ත..  අඩුම තරමේ වර්තමාන සමාජය ඇතුළේ පවා තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් හරි කාන්තාව හිංසනයට ලක්වෙනවා... ඕක තමා කටුක යථාර්ථය... නැත්නම් විහාර මහාදේවියව තලියක පා කරලා මුහුදට බිහිකරයිද? අපි ඒ ඉතිහාසය උජාරුවෙන් තලුමරනවා... 

 

► Text - Danushka Wijesiri   /   Pic - Sumudu