ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්න දිවි ගමන නිම කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200112Mano-1

මෙරට වේදිකා නාට්‍ය කලාවට, ටෙලි නාට්‍ය කලාවට මෙන්ම සිනමාවට සුවිසල් මෙහෙයක් ඉටුකළ ප්‍රවීන රංගධර ආචාර්ය ජයලත් මනෝරත්න අද (12) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට එතුමා 71 වැනි වියේ පසුවිය.

එතුමාගේ දේහය මේ වනවිට බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි එතුමාගේ නිවසේ තැම්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බදාදා පස්වරුවේ බොරලැස්ගමුව පොදු සුසාන භුමියේ දී සිදු කරනු ඇත.

ජයලත් මනෝරත්න කලාකරුවා වෙනුවෙන් “ඉතින්” ෆේස්බුක් පිටුවෙහි සාගරිකා දිසානායක ජයසිංහ විසින් තැබූ සටහනක් පහතින්,

“නවසිය හැටේ දශකයේ අග බාගයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ “පේමතෝ ජායතී සෝකෝ” නාට්‍යයෙන් කරළියට පැමිණි මේ අපූරු රංගධරයා පුංචි තිරය හා පුළුල් තිරයෙහි ද ප්‍රේක්ෂක සිත් සතන්හි සදා සනිටුහන් වන චරිත රාශියකට ජීවය කවමින් රංගනයට දායක වූයේය.

රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ දී පුරා වසර පහක් දක්ෂතම රංග ශිල්පියාට හිමි සම්මානයෙන් පිදුම්ලත් හෙතෙම හොඳම නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ද සිය නාට්‍ය පිටපත් සඳහා රාජ්‍ය සාහිත සම්මානයෙන් ද කිහිප වරක්ම පිදුම් ලැබීය.

"නුවරඑළිය දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයට ආසන්න පුංචි පිටිසර ගමක් වූ දෙහිපේ ගමේ දී මා උපන්නේ නවසිය හතළිස් අටේ මැයි මාසෙ දොළොස්වැනිදා. මනෝරත්න සිය කතාව ආරම්භ කළා. අපේ තාත්තා කෙසෙල් ගස්පේ මනතුංග බණ්ඩාර. හේවාහැට රට්ලන්ඩ් වතු සමාගමේ ලොරියක රියැදුරු ලෙස පියා රැකියාව කළා. අම්මා අගලකොටුව හේරත් මුදියන්සේලා ගේ ලීලා කුමාරි ඈ දරු සය දෙනකුගෙන් යුත් අපේ පවුල රැක බලා ගත්තේ අපට හිමිව තිබූ කුඹුරු ඉඩම් කට්ටියේ තනිවම ගොවිතැන් බත් කරමින්.

කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න මගේ නම. මම පවුලේ බාලයා. මට වැඩිමල් අයියලා තුන්දෙනයි අක්කලා දෙන්නයි. අපේ ගමේ ළමයි හැමෝම ගියේ ගමේ පාසලට. ඒ දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාවට. පහේ පංතියෙන් පස්සේ ගමේ ළමයින් ගෙන් වැඩි දෙනෙක් ඉගෙනීම අත්ඇරලා අම්මා තාත්තා එක්ක හේනේ කුඹුරේ වැඩට එකතු වුණා.

ඒත් අපේ තාත්තා සුදු මහත්තුරු යටතේ වැඩ කළ නිසා ඔහුට අපිටත් හොඳට උගන්නා ගන්න, ඉංග්‍රීසි ටිකක් උගන්නා ගන්ඩ, රජයේ රැකියාවකට යවන්න වගේ ලොකු බලාපොරොත්තු රාශියක් තිබුණා. ඒ නිසාම ගමේ අනෙක් ගෙවල්වල වගේ නොවෙයි අපේ ගෙදර තරමක ඉගෙනගැනීමේ උනන්දුවක් ඒ සඳහා යෙදවුණු පරිසරයක් තිබුණා.
ඒ කාලෙත් මගේ ලොකු අයියා මහනුවර ධර්මරාජ විද්‍යාලෙට ඇතුළු කරලා. මට වැඩිමල් සහෝදර සහෝදරියොත් ගමට ආසන්නව තිබූ මධ්‍ය විද්‍යාලය වන පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලේ ඉගෙනීම ලැබුවා. ගමේ අනෙක් උදවිය මහනුවරට හඟුරන්කෙතට හේවාහැට වගේ නගරයකට ආව ගියෙ කලාතුරකින්. ඒත් අපේ තාත්තා නිතරම ඒ නගරවලට ආවා ගියා.

බොහෝ දාට යාපනය මඩකලපුව වගේ ඈත පළාත්වලටත් ගියා. දවස් දෙක තුන නැවතිලා ගම ආ දවස් තිබුණා. තාත්තා හිටියත් නැතත් අපේ කුඹුරුවල ලියැදි ටික වවාගෙන මහ පොළොවත් එක්ක හැප්පිලා එළවුළුවක් වගා කරලා අපේ බඩ කට පුරවන්න අම්මා දහ දුක් වින්දා. අගහිඟකම් තිබුණත් ඒවා අපට නොදැනෙන්න ඈ අපේ කුසගිනි නිව්වා.

අපි පුංචි කාලෙ කැමති කුඹුරෙන් ගෙනා අලුත් කැකුළු හාලේ බත් කන්නයි. අපිට ඒ හැටි විශාල කුඹුරු ඉඩම් නෑ. ලැබුණු වී ටික ඉවර වුණාම අම්මා අහල පහළ ගෙයකින් තම්බාපු හාල් ටිකක් ණයට ඉල්ලා ගෙනැවිත් අපට බත් උයා දෙනවා. කැකුළු හාලේ බත් වෙනුවට තම්බාපු හාලේ බත කන්න බෑ කියා මා අඬාපු වේලාවට අම්මා දෙනෙතේ කඳුළු සඟවාගෙන මා සනසවපු හැටි මට මතකයි” මනෝරත්න සිතින් ඒ අතීතයට පිවිසෙනවා.

ඔහු මුලින්ම ඇතුළු වුණේ දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාවට. පුංචි කාලෙ පටන්ම මනෝරත්න ඉගෙනුමට හපනා. හැබැයි පාසල් ගමනට අදිමදි කළා. බොහෝ දවසට පාසල් යන්න සූදානම් වෙනකොට හැදෙන ඉසරදේට නැත්නම් බඩේ ගායට ඉඳහිට දවසක අම්මාගෙන් සමාව ලැබෙනවා.

කොහොම ගියත් මනෝරත්න පන්තියේ පළමුවැනියා වෙනවා. ගායනයට නැටුමට ඔහුට තිබුණේ උපන් හපන්කමක්. මේ දස්කම් ඉස්මතු වෙන්න ගෙදර පරිසරය වගේම ගමේ පරිසරයත් එක වගේ බලපෑවා.

"තාත්තා හොඳ සංගීත ලෝලියා. ඔහුට ෆුට්බැලෝ සර්පිනාවකුත් ඩොල්කියකුත් තිබුණා. ලොකු අයියාට ඉංග්‍රීසි මැඩ්ලිනයක් තිබුණා. අක්කලා අයියලාට වගේම පුංචි මනෝරත්නටත් පැරැණි ග්‍රැමෆෝන් ගීත චිත්‍රපට ගීත කටපාඩම්.
දුරබැහැරක ගිහින් තාත්තා ගම ආපුදා හැන්දෑවට පවුලේ කට්ටිය එකතු වෙලා සංගීත සාජ්ජයක් දානවාමයි. අම්මා මේ වැඩවලට දක්වන්නේ හොඳ සහයක්. ගමේ බොහෝ දෙනෙක් හැන්දෑවට මේ සාජ්ජ අහන්න අපේ ගෙදරට එක්කාසු වෙනවා.

ගමේ ගොයම් කපලා ඉවර වෙලා ගම්මුන්ට පොඩි ඉස්පාසුවක් දැනෙන කාලෙට ගමේ සඳකිඳුරු, සොකරි වාගේ ජන නාට්‍යය රඟ දැක්වෙනවා. සොකරි, සඳකිඳුරු නාඩගම්වල හැම චරිතයක්ම රඟපාන්නෙ ගමේ ගොවීන්. විශේෂයෙන්ම අවුරුදු කාලෙට, බක්මහට කමත්වල නාඩගම් රඟදක්වනවා. එළිවෙනතුරු කමත වටා එක්රොක් වෙලා ගම්මු මේ නාට්‍ය නරඹනවා.

ඒ නරඹලා ගෙදර ඇවිත් මමත් සොකරි නටනවා. අම්මා පුංචි ඈයොන්ට සොකරි ඇඳුම් අන්දවලා ඔවුන් රඟපාන අපූරුව නරඹලා ඔවුන් තව තවත් දිරි ගන්වනවා. පුංචි කාලෙ ඉඳලම නළුවෙක් වෙලා නාට්‍යවල රඟපාන්න මගේ හිතේ ආශාවක් ඇති වුණේ ගමේ පරිසරයත් අම්මාගේ සහයෝගයත් නිසාමයි.

පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මම ඇතුළු වුණේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලෙට. ගමේ ඉඳලා හැතැප්ම හතරක් පහක දුර වුණාට මනෝට නේවාසිකාගාරේ නවතින්න සිදු වුණේ ශිෂ්‍යත්වය ලැබූ නිසා. ඒ කාලේ රුපියල් 22.50ක් වූ ශිෂ්‍යාධාරය විශ්වවිද්‍යාලයට යනතුරුම මට ලැබුණේ එතෙක් ඔහු එකම වරක්වත් විභාගයකින් අසමත් නොවූ නිසා.."

සුනිල් ශ්‍රියානන්ද සංගීත ගුරුතුමා තමයි මනෝරත්නගේ දස්කම් හොඳින් හඳුනාගත්තේ. ඒ මහත්තයා ඉදිරිපත් කළ පාසල් නාට්‍යවලට මනෝරත්න තෝරාගත්තා. 1966 දී පාසලෙන් ඉදිරිපත් කළ ‘අස්ස ගුඩුං’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් මනෝරත්නට හිමි වුණා. එයට ඒ වර්ෂයේ මධ්‍යම පළාතේ අන්තර් පාඨශාලීය නාට්‍ය තරගයේ ප්‍රථම ස්ථානය ලැබුණා. සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයට ඒ නාට්‍ය කණ්ඩායමත් සමඟ කොළඹ ලුම්බිනී රඟහලට ආ හැටි මනෝරත්නට තවම මතකයි. එදා තමයි ඔහු ජීවිතේ පළමු වතාවට කොළඹට ආවේ. එවර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනුවේ හොරණ විද්‍යාරත්න විදුහල ඉදිරිපත් කළ “ආඬි ටිකයි අම්බලමයි” නාට්‍යය. මනෝරත්නලාගේ නාට්‍යයට ප්‍රථම ස්ථානයක්නොලැබුණාට එදා මනෝරත්නගේ රංගනය උදෙසා “විශිෂ්ට රංග කුසලතා” සහතිකයක් ලැබුණා.

කලා වැඩ වගේම පාසලේ ක්‍රීඩා අංශයෙනුත් ඔහු විශිෂ්ට කුසලතා පළ කළා. ජවන හා පිටියේ ක්‍රීඩා අතරින් ඔහු වඩාත් පි‍්‍රය කළේ මීටර් 100 - 200 ඉසව්වලට. හැම වසරකම පැරකුම් නිවාසයේ දක්ෂතම සිසුවාට හිමි තෑගි සහ සහතිකපත් දිනා ගන්නට මනෝරත්න සමත් වුණා. මලල ක්‍රීඩා හැරුණු විට ඔහු වොලිබෝල් ක්‍රීඩාවටත් එක සේ දස්කම් පෑවා.

අමුණුගම ගුණසේන ගුරුතුමා යටතේ නැටුම් ඉගෙන ගත් මනෝරත්න වඩාත් දස්කම් පෑවේත් වඩාත් පි‍්‍රය කළේත් භූගෝල විෂයයි. සාමාන්‍ය පෙළ දක්වා හැමදාම භූගෝලයට ඔහු වැඩියෙන්ම ලකුණු ගත්තා. උසස් පෙළ කලා අංශයෙන් වැඩ කළ මනෝරත්නලාට දක්ෂ උපාධිධාරී ගුරුවරුන් ඉගැන්වූවා. ඒ ගුරුවරුන් විශ්ව විද්‍යාලේ ගැන විශේෂයෙන් පේරාදෙණිය සරසවිය ගැන කියාපු කතා අහපුවාම මනෝරත්නලාටත් විශ්ව විද්‍යාලෙට යන්න විශාල ආශාවක් ඇති වුණා.
ඒ කාලෙ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලෙ හැඳින්වුණේ ‘කන්ද උඩරට පුංචි සරසවිය’ යන අන්වර්ථ නාමයෙන්. ඒ තරමට පාසලේ ළමයි විශ්ව විද්‍යාලෙට තේරුණා. වත්මන් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක, හිටපු අගමැතිතුමාගේ බිරිය මාපා මහත්මිය, හිටපු ඇමැතිනි රේණුකා හේරත් මහත්මිය පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්.

හෙන්රි ජයසේන මහත්තයා සිය මුල්ම පත්වීම ලබාගෙන ආවෙත් ඒ පාසලට. ඔහු ඉංගී‍්‍රසි ඉගැන්නුවා වගේම ගමේ දරු දැරියන්ට නාට්‍ය හා රංග කලාවත් ඉගැන්නුවා. මනෝරත්නට ඔහුගෙන් ඉගෙන ගන්නට අවස්ථාව නොලැබුණාට ඔහුගේ වැඩිමල් සහෝදරියක් ජයසේන මහත්තයාගේ පාසල් නාට්‍යවල රඟපෑවා.

උසස් පෙළ විභාගෙන් ඉහළින්ම සමත් වුණු මනෝරත්න 1966 අගෝස්තුවේදී පේරාදෙණිය සරසවියට ඇතුළු වුණා. සරසවියට ඔහු ආවෙ අම්මත්, ලොකු අයියත් එක්ක. සරසවි බිමේ ආටක නාටක දැකලා අම්මා කලබල වේය කියල පේරාදෙණිය හන්දියේ අඳුරන ගෙදරක අම්මා නවත්තලා මනෝරත්නයි අයියයි සරසවියට ඇතුළු වුණා. මනෝරත්න නවත්තලා අයියා ගියා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය කාල් ගුණසේන හා මහාචාර්ය තම්බයියා පිල්ලේ වැනි දක්ෂතම ආචාර්යවරුන් යටතේ ඔහු අධ්‍යාපනය ලැබුවා.

සරච්චන්ද්‍ර ආචාර්යතුමා ඇමෙරිකාවේ අධ්‍යයන නිවාඩුවකට ගිහින් ආවා විතරයි ඔහුගේ නවතම නාට්‍යය වූ “පේමතෝ ජායතී සෝකෝ” නාට්‍යයට නළුවන් බඳවා ගන්නා බවට දැන්වීමක් ශිෂ්‍ය දැන්වීම් පුවරුවක සටහන් වුණා. මනෝරත්නත් ගියා සම්මුඛ පරීක්ෂණයට.

ඔහු ගායනා කළේ අමරදේව මහත්තයාගේ “වසන්තයේ මල්” සහ නන්දා මාලිනී ශිල්පිනියගේ “කරදර පොදි බැඳ” ගීත. ඔහු නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ උද්ධාල බමුණාගේ චරිතයටම තෝරා ගත්තා. මාසයක්ම පුහුණුවීම් කළා. නාට්‍යාචාරිනී මිරැන්ඩා හේමලතා මහත්මිය ගෙන්වලා නැටුම් පුහුණු කළා. නාට්‍යය මංගල දර්ශනයට පෙර මනෝරත්න හිටියේ “දැන්නම් හොඳටම පුහුණුයි” යන ලොකු විශ්වාසෙකින්. ඒත් මහාචාර්යතුමා ගේ මූණ හොඳ නෑ.

“මනෝරත්න ඉතින් ස්වර්ණතිලකාට පේ‍්‍රම කරනව ද?” මහාචාර්යතුමා අහනවා.

“ඔව් සර් මම පේ‍්‍රම කරනවානේ” ඔහු පිළිතුරු දුන්නේ දැඩි විශ්වාසෙන්.

“ඔව් ඉතින් මනෝරත්න පේ‍්‍රම කරනවා ඇති. ඒත් ඉතින් බලා ඉන්න අපිට පේන්ඩ එපායැ..” මහාචාර්යතුමා මනෝරත්නගේ මුහුණේ අභිනය මදි බව පෙන්වා දුන්නේ එහෙම. ඇත්තටම මනෝරත්න ස්වර්ණතිලකාට පේ‍්‍රම කළා.

නාට්‍යයේ පමණක් නොවෙයි තමාගේ ජීවන කරළියේත් සහායිකාව වශයෙන් රඟපාන්නට ඔහු ඈ තෝරා ගත්තා. නාට්‍යයේ ස්වර්ණතිලකා චරිතයට පණ පෙවූ මහනුවර ‘තමරා ජයන්ති’ පසු කලෙක ඔහුගේ පි‍්‍රය බිරිය බවට පත් වුණා.

1968 දී මනමේ සිංහබාහු නාට්‍යවලට රංගනයෙන් එක්වූ මනෝරත්න සරසවියේ සිංහල සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළා. 1970 දී විශ්ව විද්‍යාලෙන් පිට වුණා.
හඟුරන්කෙත තිස්සපෑල පිරිවෙනේ භූගෝල විද්‍යා ගුරුතුමා ලෙස පත්ව ගියා. මුලින්ම ලැබු වැටුප වූ රුපියල් හැට පහෙන් රුපියල් 31 ක් දීලා ඔහු රිකිල්ලගස්කඩ හන්දියේ කඩේකින් අම්මාට වොයිල් සාරියක් ඇරන් ගියා.

1972 දී මනෝරත්නට නුවරඑළිය කච්චේරියේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අංශයේ අනියම් ලිපිකරු තනතුරක් ලැබුණා. ඒ කාලේ සිංහබාහු නාට්‍යය පෙන්වන්න ඔහුගේ සමකාලීන මිත්‍ර නිශ්ශංක දිද්දෙණියලා නුවරඑළියට ආවා. එදා මනෝරත්න හමුවුණු දිද්දෙණිය ඔහුටත් කොළඹට යන්න අඬ ගැහුවා. එවර ඔහු කොළඹට මාරුවක් ඉල්ලාගෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ආවා. ඇවිත් දිද්දෙණියගේ කාමරේම නැවතුණා.
ඒ වෙනකොට දිද්දෙණිය කොළඹ නාට්‍ය නිෂ්පාදකයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වෙලා. ඔවුන් නාට්‍ය පුහුණුවීම්වලට යන විට මනෝරත්නත් ඒ පස්සෙ යනවා.

දවසක් හෙන්රි ජයසේන මහත්තයාගේ ‘මකරා’ නාට්‍යයේ පුහුණුවීම්වලට යන විට මනෝරත්නත් ගියා. හෙන්රි ජයසේන මහත්තයා ගමට බොහොම සලකාපු බව ඔහු දැනගෙන හිටියා. ළඟට ගිහින් “සර් මම; දහිපේ” කියලා කීවා.
හෙන්රි ජයසේන මහත්තයා මනෝරත්නගේ ඉහේ සිට පතුලට බැලුවා. “ඉලංදාරියා දෙහිපේ කොහෙද? කාගෙ කවුද? විස්තර ඇහුවා. මනෝරත්නගේ පැතුම ඉටුවුණා. ඔහුට මකරා නාට්‍යයේ ‘පූසා’ගේ චරිතය ලැබුණා. ඒ 1973 දී.

එදා ඇරැඹුණු නාට්‍ය චරිකාව ඔහු අද දක්වාම පවත්වාගෙන යනවා.
1974 දී එස්. ඒ. පේ‍්‍රමරත්නගේ “රතු හැට්ටකාරි” නාට්‍යයේ ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් මනෝරත්නට එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුණා. අනතුරුව 1985 දී පුත්‍ර සමාගම, 1988 තල මල පිපිලා 1990 සොක්‍රටීස් සහ 1991 ද්විත්ව යන නාට්‍යවල රංගනය උදෙසා මනෝරත්නට රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුණා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන සහ ගුණසේන ගලප්පත්ති යන නාට්‍යවේදින් පස් දෙනාගේම නාට්‍යවල අපූරු චරිත රැසකටම ජීවය දෙන්නට මනෝරත්නට අවස්ථාව හිමි වුණා.

මනෝරත්න යුග දිවි ඇරැඹුවේ 1979 මාර්තු පළමුවැනිදා. එවකට ගණිත ගුරුවරියක ලෙස සේවය කළ තමරා ජයන්ති මෙනෙවිය සමඟ. ඔවුන්ගේ පුතා භානුක 1979 අගදී පවුලට එක් වුණා. කලක් මෙරට කලා ක්ෂේත්‍රයේ සිය කුසලතා දැක්වූ භානුක විවාපත් වී ඔස්ට්‍රේලියාවේ රැකියාවක නියැලෙමින් එහි වෙසෙනවා. 1984 දී උපන් දියණිය ඉන්දිවරී බැංකුවක රැකියාව කරනවා. භානුකගේ දියණිය අද මනෝරත්න යුවළට සීයා අත්තම්මා පදවිය උරුමකර දීලා.

මනෝරත්න ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළා. ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් සමත් වුවද ඔහු එහි අවසාන සම්මුඛ පරීක්ෂණයේදී කැපී ගියා. නාට්‍ය රංගනයට හා කලාවට ඇප කැපවුණු මනෝරත්නට රැකියාවේ උසස්වීම් තනතුරු ලැබුණේම නැති තරම්.

ඔහු විසින් රචනා කරන ලද ස්වතන්ත්‍ර නාට්‍ය අතරින් තල මල පිපිලා නාට්‍ය 1988 හොඳම අධ්‍යක්ෂණය, 1988 තල මල පිපිලා හොඳම රචනය, 1993 අන්දරේලා හොඳම රචනය, 1996 ගුරු තරුව හොඳම නාට්‍ය කෘතිය යන සම්මාන හිමි කරගන්නට මනෝරත්න සමත් වුණා. ඔහු රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට සංඛ්‍යාව විශාලයි.

2002 සුමති ටෙලි සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙසත්, 2003 ජනාධිපති සම්මාන උලෙළේ හොඳම සහය නළුවා ලෙසත්, 2004 සරසවි සම්මාන උලෙළේ හොඳම සහය නළුවා ලෙසත්, 2004 සිග්නිස් සම්මාන උලෙළේ හොඳම සහය නළුවා ලෙසත්, 2004 සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම පිටපත් රචකයා ලෙසත් පිදුම් ලැබුවා.

දවස තාමත් තරුණයි නවකතාව, කෙටිකතා සංග්‍රහ කීපයක් ළමා කෘති දෙකක් සහ නාට්‍ය කෘති හතරක් රචනා කළ මනෝරත්න ගේ අන්දරේලා සහ ගුරු තරුව නාට්‍ය පිටපත් සඳහා පිළිවෙළින් 1995 සහ 96 වසරවල රාජ්‍ය සම්මාන හිමි වුණා. පුරා දශක හතරකට අධික කාලයක් මුළුල්ලේම ටෙලි, සිනමා, වේදිකා රංගනයෙහි හා නිෂ්පාද⁣නයේ නියැලුන මේ අදීන කලාකරුවා අද සිය ජීවන රංගයෙන් සමුගෙන යනවා.

'තල මල' සේ සුවඳ විහිදූ
'ගුරු තරුව' ද නිවී ගොසිනි...
දැන් ඉතින් අපට ඉතිරි
'අන්දරේලා' ය...

ඉතින්.., ඔබට සුබ ගමන්...!

සාගරිකා දිසානායක ජයසිංහ